මෙතෙක්‌ මෙරට ක්‍රීඩාවේ තිබූ අඩුපාඩුවකට පිළියම් සපයමින්, ජාත්‍යන්තර පදක්‌කම් ඉලක්‌ක කරගත් දීර්ඝ කාලීන පුහුණ සංචිතයක්‌ ගොඩනැගීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා සංවර්ධන අංශය සුවිශේෂී වැඩසටහනක්‌ දියත් කිරීමට සැරසේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා සංවර්ධන නිලධාරී (වොලිබෝල්) සහ ජාතික කණ්‌ඩායමේ හිටපු පුහුණුකරු සිසිර කුමාර වෙන්ඩකෝන් මහතාගේ සංකල්පයක්‌ සහ සම්බන්ධීකරණය මත ක්‍රීඩා අමාත්‍යංශය මෙන්ම වොලිබෝල් සම්මේලනයේද දායකත්වය සහිතව ක්‍රියාත්මකවීමට නියමිත මෙම වැඩසටහනේදී ඉදිරි වසරවල පැවැත්වෙන ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලි දෙකක්‌ ඉලක්‌ක කරමින් දීර්ඝ කාලීන පුහුණු සංචිත පිහිටුවීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව 2017 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් වොලිබෝල් තරගාවලි සහ 2018 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු පාසල් තරගාවලි ඉලක්‌ක කරමින් බාලක සහ බාලිකා දෙඅංශයෙන්ම සංචිත තෝරාගෙන අඛණ්‌ඩව ඉදිරියට රැගෙන යැමට සැලසුම් සකසා ඇත.

මේ සඳහා තෝරාගැනෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සෑම මසකම අවසන් සති අන්තයේ දින දෙක බැගින් ජාතික මට්‌ටමේ ප්‍රවීණ පුහුණුකාර මණ්‌ඩලයක්‌ යටතේ පුහුණුවට යොමුකිරීමට නියමිතය.

අදාළ සංචිත සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම මෙම සති අන්තයේ කොළඹ රාජකීය විදුහල් එළිමහන් ක්‍රීඩාංගණයේදී පැවත්වෙන අතර2000/2001 වර්ෂවල උපන් බාලකයන් මෙම 28 වෙනි සෙනසුරාදාද 2001/2002 වර්ෂවල උපන් බාලිකාවන් මෙම 29 වෙනි ඉරිදාද පෙ.ව 8.30 වන විට අදාල ක්‍රීඩාංගණයට වාර්තා කළ යුතු වේ. මෙම තෝරාගැනීම් පාසල් වොලිබෝල් ක්‍ෂේත්‍රයේ කැපීපෙනෙන මණ්‌ඩලයක්‌ විසින් සිදුකරනු ලැබේ.

මෙහිදී බාලක අංශයේ තේරීම් කමිටුව ජයතිලක බණ්‌ඩාර මහතාගේ සභාපතිත්වයෙන් යුතු වන අතර කීර්ති ජයසේකර, චාල්ස්‌ තිලකරත්න, චමින්ද ලක්‍ෂ්මන් සහ ගැමුණු කුමාර යන මහත්වරු ඇතුළත් වෙති. රන්තිලකා ජයවීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් බාලික අංශයේ තේරීම් කමිටුව උදේනි ප්‍රියදර්ශනී, සුමේධ විමලවීර, සනත් බණ්‌ඩාර සහ සමන් කුමාර සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් යුක්‌තවේ.

“අපි මෙතැනදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා අනුව වගේම, උස අනුවත් තෝරාගැනීම් කරන්න බලාපොරොත්තු වෙනවා. සෙන්ටිමීටර 176 ට වැඩි බාලකයින් සහ සෙන්ටිමීටර 169ට වැඩි බාලිකාවන් වීම මෙහිදී එක්‌ නිර්නායකයක්‌. ඒත් ලිබරෝ ක්‍රීඩකයන් සහ පන්දු සකසන්නන් වෙනුවෙන් මේ උසේ බලපෑමක්‌ නෑ. හොඳ උසක්‌ තියෙනවා නම් වොලිබෝල් ක්‍රීඩාවේ මින් පෙර යෙදිලා නැතත් ඒ අයට අවස්‌ථාව තියෙනවා. අපි හැමදාමත් ජාත්‍යන්තර තරගාවලියකට ගියේ ඉතා කෙටි කාලයක්‌ සංචිතගතව ඉඳලයි. එතැනදී බොහෝවිට අපි සහභාගීත්වයකින් එහාට යන්නේ නැහැ. නමුත් මේ වැඩසටහන සහමුලින්ම පදක්‌කමක්‌ ඉලක්‌ක කරගෙන යන දෙයක්‌. අධ්‍යාපන අමාත්‍යංශය මෙයට මුල් වුණාට, ක්‍රීඩා අමාත්‍යංශය වගේ අදාළ සියලු අංශ අපි දායක කරගෙන ඒ ඉලක්‌කයට යනවා. මේ ගැන දැනටමත් පළාත් ක්‍රීඩා අධ්‍යක්‍ෂවරු සහ කලාප ක්‍රීඩා අධ්‍යක්‍ෂවරුන්ව දැනුවත් කරලයි තියෙන්නේ. ඒත් පැවැති ගංවතුර තත්ත්වය නිසා ඒ පණිවුඩය පාසල් වෙත ගියාද කියන එක හරියටම කියන්න බැහැ. මෙය ඉතාම හොඳ අවස්‌ථාවක්‌. ඒ සඳහා බාලක බාලිකාවන් ඉදිරිපත් කරවන්න පාසල් උනන්දුවෙන් ක්‍රියා කරයි කියලා අපි හිතනවා” යෑයි සිසිර කුමාර වෙන්ඩකෝන් මහතා දිවයිනට පවසා සිටියේය.

මේ සම්බන්ධයෙන් වැඩි විස්‌තර දුරකථන අංක 0714334761 ඔස්‌සේ විමසිය හැක.

තවත් පුවත් සදහා පිවිසෙන්න