කවුරුත් නොදන්න බ්‍රෝඩ්ගේ inhaler එකේ කතාව

441

එංගලන්ත පන්දු බලඇණියේ ප්‍රබලම අවියක් වන ස්ටුවර්ට් බ්‍රෝඩ් පාකිස්තානය සමඟින් පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී ශ්වසන ආබාධ සඳහා යොදාගන්නා inhaler උපකරණයක් භාවිතා කරන අයුරු කැමරා කාචවල සටහන්ව තිබුණා. 

ඉන් අනතුරුව ඒ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය අවධානය යොමු කළ අතර බ්‍රෝඩ්ගේ කතාව එළියට එන්නේ ඒත් සමඟින්. 

සවුත්හැම්ප්ටන් හි Ageas Bowl ක්‍රීඩාංගණයේ මේ වන විට පැවැත්වෙන එංගලන්ත පාකිස්තාන දෙවන ටෙස්ට් තරගයේ දී බ්‍රෝඩ් මෙසේ ශ්වසන අපහසුතාවයක් පෙන්වූ අතර තරගයේ විවේක කාලයේ දී ක්‍රීඩක කාමරයේ තිබූ inhaler උපකරණයක් ගෙන්වා ගැනීමට බ්‍රෝඩ් ක්‍රියා කළේ ඒ අනුවයි. 

එදින බ්‍රෝඩ් යැවූ සිව්වැනි පන්දුවාරයේ ඔහු තරමක අපහසුතාවයක් පෙන්වූ අතර ඉන් පසු ඔහු සිය පන්දු යැවීම මදකට නැවතීමට ද තීරණය කළා. 

එංගලන්ත ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට බ්‍රෝඩ්ගේ මේ inhaler උපකරණය එතරම් ආගන්තුක නොවේ. නමුත් ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය ඒ වෙත යොමු වූයේ මෙම තරගයේ දීයි. 

ස්ටුවර්ට් බ්‍රෝඩ් පසුගිය මාසයේ පැවති කොදෙව් ටෙස්ට් තරගාවලියේ දී ටෙස්ට් කඩුලු 500 සීමාව පසුකර යාමට සමත්වූයේ එංගලන්ත වාර්තා පොත් අලුත් කරමින්.

ජාත්‍යන්තර මාධ්‍ය මේ පිළිබඳව වාර්තා කිරීමෙන් අනතුරුව ස්ටුවර්ට් බ්‍රෝඩ් ඒ පිළිබඳව අතීත කතාව පිළිබඳව සිය මතකය අවධි කළා. 

“මම අඩු වයසින් ඉපදුණේ. ඒ නිසා පොඩි කාලේ ඉඳන් ඇදුම තිබුණා. මම ඉපදෙනකොට ගොඩක් දුර්වලයි. කෙතරම් දුර්වලයි ද කියනවා නම් මගේ එක පෙණහැල්ලක් සම්පූර්ණයෙන් වර්ධනය වෙලා නැහැ. ඒ කියන්නේ මගේ එක පෙණහැල්ලක් බාගයක් විතරයි තියෙන්නේ” ස්ටුවර්ට් බ්‍රෝඩ් 2015 වසරේ අළුබඳුන තරගාවලියට පෙර පැවති පුහුණු සැසියක දී සිය කණ්ඩායම් සගයන් වෙත පවසා තිබුණා. 

“අපේ පුහුණු සැසියේ එක දවසක් අපිට කොල කෑල්ලක් දීලා කිව්වා අපි ගැන කවුරුත් දන්නේ නැති දෙයක් කියන්න කියලා. ඒක කලේ අපේ යාළුකම වැඩි කරන්න” Daily Mail වෙත අදහස් දක්වමින් ස්ටුවර්ට් බ්‍රෝඩ් පවසා සිටියා. 

“මම මගේ කතාව කිව්වම හැමෝම පුදුම වුනා. මම ඔවුන්ට කිව්වා මට පෙණහළු එකයි භාගයයි තියෙන්නේ කියලා. මම මාස තුනක් අඩු වයසින් ඉපදුනේ.” 

“මම ඉපදෙනකොට ගොඩක් පොඩියි. ඇත්තම කියනවා නම් මම මරණයේ දොර ළඟ හිටියේ. මගේ එක පෙණහැල්ලක් සම්පූර්ණයෙන් වර්ධනය වුනේ නෑ. ඒ නිසා මට ශ්වසන අපහසුතාවයක් තියනවා. ඇදුමත් තියනවා. ඒ නිසා මම හැමවෙලේම inhaler එකක් තියාගෙන ඉන්නේ. මට ක්‍රීඩකයෙක් විදියට මේ දේවල් කවදාවත් බලපෑමක් වුනේ නෑ. ඒත් මම මගේ ඉලක්කවලට ගියා. පෙණහළු බාගයක් නැතුව මම මේ වගේ ක්‍රීඩා කරන එක ගොඩක් අයට පුදුමයක්.” 

තවත් ක්‍රිකට් පුවත් 

නියමිත දිනට සති 12කට පෙර ඉපදුණු මේ කුඩා දරුවාගේ ජීවිතය බේරාගැනීමට නොටින්හැම් රෝහල උත්සුක විය. වසර 5ක් එංගලන්ත ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වන ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ පියා වූ ක්‍රිස් බ්‍රෝඩ් තම දරුවා බේරාගැනීමට නොකළ දෙයක් නැත. 

කෙසේ වෙතත් මහත් පරිශ්‍රමයකින් අනතුරුව මරණය අතින් ගෙන ආ මේ කුඩා දරුවා බේරාගැනීමට රෝහල් වෛද්‍යවරුන් හා හෙදියන් සමත් වුනා. එම ක්‍රියාවට කෘතගුණ දැක්වීමක් ලෙස ස්ටුවර්ට් බේරාගැනීමට ප්‍රධාන කාර්‍යභාරයක් ඉටු කළ වෛද්‍යවරයා වන ජෝන්ගේ නම ස්ටුවර්ට්ගේ නමට එක් කිරීමට ක්‍රිස් බ්‍රෝඩ් තීරණය කර තිබුණා. 

ලෝක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව තුල කඩුලු 500 සීමාව පසුකරයාමේ භාග්‍ය හිමිව ඇත්තේ ක්‍රීඩකයන් හත් දෙනෙකුට පමණයි. එම ලැයිස්තුවට එක්වූ අලුත්ම ක්‍රීඩකයා බවට බ්‍රෝඩ් පසුගිය මාසයේ දී පත්වුනා. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<