අවසන් තරගයට පිවිසීමේ අවසන් අවස්ථාව

Asia Cup 2023

804

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සහ පාකිස්තාන කණ්ඩායමේ ඉදිරි ගමන තීරණය කෙරෙන තීරණාත්මක තරගය හෙට (14) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

මෙම තරගය කණ්ඩායම් දෙකේ ම මෙම වටයේ අවසන් තරගය වන අතර මේ වෙද්දී සුපිරි 4 වටයේ ප්‍රසාද ලකුණු පුවරුව අනුව ශ්‍රී ලංකාව -0.200ක් වන ලකුණු ලබා ගැනීමේ දල වේගය මත දෙවැනි ස්ථානයේ ද, පාකිස්තානය -1.892ක් වන ඒ ආකාරයේ ගණනය කිරීම් මත තෙවැනි ස්ථානයේ ද රැඳී සිටිමින් මෙම තරගය හා එක් වෙනවා.   

ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, මහීෂ් පතිරණ, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, කසුන් රාජිත, දුශාන් හේමන්ත, බිනුර ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුශාන්. 

පාකිස්තාන සංචිතය: Babar Azam (නායක), Shadab Khan (උප නායක), Abdullah Shafique, Agha Salman, Faheem Ashraf, Fakhar Zaman, Iftikhar Ahmed, Imam-ul-Haq, Mohammad Haris, Mohammad Nawaz, Mohammad Rizwan (කඩුලු රකින්නා), Mohammad Wasim, Saud Shakeel, Shaheen Shah Afridi, Shahnawaz Dahani, Usama Mir සහ Zaman Khan. 

දෙරට ක්‍රීඩකයෝ මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරගය 155කට මුහුණ දී ඇති අතර ඉන් තරග 92ක් පාකිස්තානය ජයග්‍රහණය කරද්දී තරග 58ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව සතු වෙනවා. අනෙක් තරග අතරින් එක් තරගයක් ලකුණු සම වීමෙන් ද අනෙක් තරග 4 විසඳුමකින් තොරව ද අවසන් වෙනවා. 

මෙම කණ්ඩායම් 2 එක්දින ජාත්‍යන්තර තරගයක් සඳහා එක් වෙන්නේ 2019 වසරේ සැප්තැම්බරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයෙන් අනතුරුව වීම ද කැපී පෙනෙනවා. තරග 3කින් සමන්විත එම තරගාවලියෙන් ශ්‍රී ලංකාව 2-0කින් පරාජයට පත් කිරීමට පාකිස්තානය සමත් වෙනවා. 

කෙසේ වෙතත් ආසියානු එක්දින කුසලාන තරගමාලාවන් හී එකතුවේ දී ශ්‍රී ලංකාව, පාකිස්තානය අභිබවා දක්ෂතා දක්වා තිබීම කැපී පෙනෙනවා. ඔවුනොවුන් ආසියානු කුසලානයේ දී මෙතෙක් තරග 14ක දී එකිනෙකා හමු වී ඇති අතර ඉන් තරග 10ක ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වෙද්දී පාකිස්තානය සතු වෙන්නේ තරග 4ක ජයග්‍රහණයි.  

මේ අතර ඔවුනොවුන් 1986, 2000 සහ 2014 වසර ත්‍රිත්වයේ දී අවසන් මහා තරගවල දී හමු වී ඇති අතර එම තරග ත්‍රිත්වයේ ම ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වෙන්නේ ද ශ්‍රී ලංකාවයි.   

1990/91 වසරේ සහ අවසන් වරට පැවති 2018 වසරේ දී ඔවුන් එකිනෙකා හමු වෙන්නේ නැහැ. 

එක්දින ආසියානු කුසලානයේ දෙරට හමුවූ තරග සාරාංශය 
  වසර  සත්කාරකත්වය  තරගයේ තීරණය  තරගයේ වීරයා 
1  1984  UAE  ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්.  රෝයි ඩයස්  
2  1986  ශ්‍රී ලංකාව  

 

පාකිස්තානයට ලකුණු 81ක ජයක්.  Mohsin Khan 
ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්.   Javed Miandad 
3  1988  බංග්ලාදේශය  ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්.   රොෂාන් මහානාම 
4  1990/91  ඉන්දියාව   
5  1995  UAE  ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්.  සනත් ජයසූරිය 
6  1997  ශ්‍රී ලංකාව  ශ්‍රී ලංකාවට ලකුණු 15ක ජයක්.  මාවන් අතපත්තු 
7  2000  බංග්ලාදේශය  පාකිස්තානයට කඩුලු 7ක ජයක්.  Yousuf Youhana 
පාකිස්තානයට ලකුණු 39ක ජයක්.  Moin Khan 
8  2004  ශ්‍රී ලංකාව   ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්.   නුවන් සොයිසා 
9  2008  පාකිස්තානය  ශ්‍රී ලංකාවට ලකුණු 64ක ජයක්.  කුමාර් සංගක්කාර 
10  2010  ශ්‍රී ලංකාව  ශ්‍රී ලංකාවට ලකුණු 16ක ජයක්.  Shahid Afridi  
11  2012  බංග්ලාදේශය  පාකිස්තානයට කඩුලු 6ක ජයක්.  Aizaz Cheema 
12  2014  බංග්ලාදේශය  ශ්‍රී ලංකාවට ලකුණු 12ක ජයක්.   ලසිත් මාලිංග 
ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්.  ලසිත් මාලිංග 
13  2018  UAE   

 

2018 වසරේ පැවති ආසන්ත ම ආසියානු එක්දින කුසලානයේ හිමිකරුවන් වන පාකිස්තානය, මෙවර ආසියානු කුසලානය සඳහා එක් වෙන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී  සිටියේ පළමු ස්ථානයේයි. නමුත් මේ වන විට එම ස්ථානයට ඔස්ට්‍රේලියාව පිවිස ඇති අතර පාකිස්තානය දෙවැනි තැනට වැටෙමිනුයි මෙම තරගය හා එක් වෙන්නේ 

ශ්‍රී ලංකාව සුපුරුදු ලෙසින් 8 වැනි ස්ථානයේ රැඳී සිටිනවා. 

ශ්‍රී ලංකාවේ සහ පාකිස්තානයේ අවසන් තරග 5 ප්‍රතිළුල 
රට  1  2  3  4  5 
ශ්‍රී ලංකාව   පරාජය 

(IND) 

ජය 

(BAN) 

ජය 

(AFG) 

ජය 

(BAN) 

ජය  

(NET) 

පාකිස්තානය   පරාජය 

(IND) 

ජය 

(BAN) 

නොවිසඳුණ 

(IND) 

ජය 

(NEP) 

ජය 

(AFG) 

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම 

තරග 13ක් අඛණ්ඩව ජයග්‍රහණ කර සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයට පිවිසෙන්නේ ඊයේ (12) ඉන්දියාව සමඟ පැවති තරගයේ දී ලකුණු 41කින් පරාජය වූ උණුසුමේමයි. 

එම තරගයේ දී පන්දු යවන්නන් විසින් ප්‍රබල ඉන්දීය පිතිකරුවෝ අසරණ කරමින් ශ්‍රී ලංකා පිතිකරුවන්ට පහසු ඉලක්කයක් ලබා දුන්න ද, ජයග්‍රහණයේ වාසනාව ඔවුන් විසින් විනාශ කර දැම්මේ ඉදිරි පෙළ පිතිකරුවන්ගේ ස්ථිර නොවන දුර්වලතාවන් කදිමට ප්‍රදර්ශනය කරමින්. ඒ හේතුවන් ම පසුපෙළින් ද එම තරගයේ දී එතරම් ම තල්ලුවක් ලැබුණේ නැහැ.  

නමුත් ක්‍රීඩකයන් ලෙසින් දුනිත් වෙල්ලාලගේ, චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා පෑ දක්ෂතා අගය කළ යුතුයි. 

විශේෂයෙන් ම පන්දු යවන්නෙක් ලෙසින් කණ්ඩායමට එක් ව සිටින 20 හැවිරිදි වියේ පසුවන දුනිත් වෙල්ලාලගේ ඉන්දීය ඉදිරි පෙළ විනාශ කර දැමීමට පෙරමුණ ගත් අයුරුත් සහ පිතිකරුවෙක් ලෙසින් ද තම කණ්ඩායම අවසන් මොහොත දක්වා ම ගොඩ ගැනීමට ගත් වෙහෙසත් ප්‍රශංසනීයයි. 

එමෙන් ම තරග 22කට පසුව පන්දු යැවීමට එක් වූ චරිත් අසලංක පෑ දක්ෂතා ද විශේෂයෙන් ම ඇගයිය යුතුයි. කෙසේ වෙතත් පිතිකරුවෙක් ලෙසින් ද ඔහුට ඊට වැඩිය දෙයක් කිරීමට ලැබුණා නම් මේ තරගයේ තත්ත්වය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුණා. 

සුපුරුදු ලෙසින් ම ධනංජය ද සිල්වා කණ්ඩායම වෙත ඉටු කරන සේවය තව දුරටත් ඒ ආකාරයෙන් ම ලබා දෙමින් කණ්ඩායමේ විශ්වාසවන්ත ම ක්‍රීඩකයා තමන් බවට මෙම තරගයේ දී ද සාක්ෂාත් කළා.   

නමුත් පරිණත ක්‍රීඩකයන් ලෙසින් කණ්ඩායමට එක් ව සිටින නායක දසුන් ශානක සහ දිමුත් කරුණාරත්නට මීට වැඩිය දෙයක් තම කණ්ඩායම වෙනුවෙන් කළ යුතුව තිබුණා. විශේෂයෙන් ම දැවැන්ත කණ්ඩායම් හමුවේ අපේ ක්‍රීඩකයන් හැකිළෙනවා යන දුර්මතය  මකා දැමීමට නම් ඔවුන්ගේ වහා නැගී සිටීමක් සිදු විය යුතුයි.  

නොමැති නම් ඔවුන් දෙදෙනාගෙන් කෙනෙක් වෙනුවෙන් සංචිතයට එක් ව සිටින කුසල් පෙරේරා වෙත අවස්ථාවක් ලබා දිය යුතුයි.  

ඒ කුමන වෙනස්කම සිදු වූවත්, විශේෂයෙන් ම ඉන්දියාව සමඟ වූ තරගයේ අඩු-පාඩු නැවත ඇති නොවීමට මේ ක්‍රීඩකයන් වගබලා ගත යුතුයි. එය එසේ නොවන්නේ නම් මෙම තරගය මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය ද විය හැකි. 

පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරතැයි අනුමාන කෙරෙන ශ්‍රී ලංකා කණ්ඩායම: දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න / කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත සහ මතීෂ පතිරණ. 

පාකිස්තාන කණ්ඩායමේ සූදානම 

පාකිස්තාන කණ්ඩායම ද මෙම තරගයට පිවිසින්නේ අවදානමක සිටිමින්. ඔවුන්ට මෙම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නම් මෙම තරගයේ ජයග්‍රහණය අනිවාර්යයෙන් ම අවශ්‍ය වෙනවා.  

ඊට ඔවුන්ට තිබෙන උත්තේජනය වන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ දී පළමු පිතිකරුවන් 10 දෙනාගෙන් තිදෙනෙක්ගෙන් ම සමන්විත වඩාත් ප්‍රබල කණ්ඩායමක් ලෙසින් වන නාමකරණයයි.  

එම ශ්‍රේණිගත කිරීමේ දී පළමු ස්ථානය තව දුරටත් පාකිස්තාන නායක Babar Azam හිමිකරගෙන සිටින අතර, ඊට පෙර තෙවැනි ස්ථානයේ සිටි Imam-ul-Haq 4 වැනි ස්ථානයට පසු බසිමිනුත් සහ පෙර 5 වැනි ස්ථානයේ සිටි Fakhar Zaman 7 වැනි ස්ථානය දක්වා පහත බසිමිනුත් මෙම තරගය හා එක් වෙනවා. 

එම ශ්‍රේණිගත කිරීම් කෙසේ වෙතත් ඔවුන් සහභාගී වූ ආසන්නත ම තරගය වූ ඉන්දීය කණ්ඩායම හමුවේ ලත් පරාජය ඔවුන්ගේ මනස තුල මේ වන විට ද කැකෑරුම් දෙනු නියතයි. එබැවින් ඔවුන් එම තරගයේ දී වූ අඩු-පාඩු මෙම තරගයේ දී මතු වීමට ඉඩ නොතබන බවට විශ්වාස කළ හැකි 

මෙම තරගයේ දී පාකිස්තානයට තරගයට පිවිසීමට සිදු වෙන්නේ එරට වෙනුවෙන් ඉහළින් ම දක්ෂතා දක්වා සිටින දකුණතින් මද වේගපන්දු යවන Haris Rauf සහ Naseem Shah නොමැතිවයි. ඔවුන් දෙදෙනා ම මේ වන ආබාධිත ලැයිස්තුවට එක් ව සිටින අතර ඒ වෙනුවෙන් මෙම තරගයේ දී Shahnawaz Dahani සහ Zaman Khan කැඳවීමට වැඩි ඉඩ කඩක් පවතිනවා.  

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරතැයි අනුමාන කෙරෙන පාකිස්තාන කණ්ඩායම: Babar Azam (නායක), Fakhar Zaman, Imam-ul-Haq, Mohammad Rizwan (කඩුලු රකින්නා), Agha Salman, Iftikhar Ahmed, Shadab Khan, Faheem Ashraf, Shaheen Shah Afridi, Shahnawaz Dahani, Zaman Khan 

අවධානය යොමු කළ යුතු පාකිස්තාන ක්‍රීඩකයෝ  

Babar Azam 

පාකිස්තාන කණ්ඩායමේ නායකයා ද වන Babar Azam, ශ්‍රී ලංකාවට එරෙහි තරගයේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙසින් හැඳින්විය හැකි 

ඔහු ක්‍රියාත්මක මෙම තරගාවලියේ දී නේපාලයට එරෙහිව පන්දු 131කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 151ක් ලබා ගන්නවා. එය මෙවර තරගාවලියේ පිතිකරුවෙක් ලෙසින් ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලෙසයි සටහන් වෙන්නේ. 

එම ඉනිමත් සමඟින් ඔහු මේ දක්වා තරග 4ක ඉනිම් 3ක දී ලබා ඇති ලකුණු ප්‍රමාණය 178ක්. එය දැනට දෙවැනි තරගාවලියේ පිතිකරු ලැයිස්තුවේ තෙවැනි අසුනට හිමිකම් කියන දක්ෂතාවයි.  

මේ දක්ෂතාත් සමඟින් Babar Azam මේ දක්වා එක්දින තරග 107ක ඉනිම් 104කට සහභාගී වෙමින් ශතක 19ක් සහ අර්ධ ශතක 28ක් සමඟින් ලකුණු 5380ක් ලබා සිටිනවා. ඒ අතරින් ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් එක්දින තරග 10ක ඉනිම් 9ක දී පිටියට පිවිසෙමින් ශතක 3ක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 496ක් ලබා සිටිනවා. එහි සාමාන්‍ය 62.00 වැනි ඉහළ අගයකින් තබා ගැනීමට ඔහු සමත් වෙනවා.  

Imam-ul-Haq 

27 හැවිරිදි වියේ පසුවන කණ්ඩායමේ ආරම්භක වමත් පිතිකරු Imam-ul-Haq ද වේලාසනින් ම පිටියෙන් ඉවත් කළ යුතු ක්‍රීඩකයෙක්. ඔහු මෙම තරගාවලියේ මේ දක්වා සහභාගී වූ ඉනිම් 3 දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 92ක් ලබා සිටිනවා.  

එක්දින ජාත්‍යන්තර තරග 66ක ඉනිම් 65ක දී ශතක 9ක් සහ අර්ධ ශතක 19ක් සමඟින් ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 2976ක්. එහි සාමාන්‍ය 50.44ක් ලෙසින් ඉහළ අගයකින් පවත්වා ගැනීමට ද ඔහු සමත් වෙනවා.  

ශ්‍රී ලංකාවට එරෙහිව තරග 4කට සහභාගී වී ඇති Imam ශතකයක් සමඟින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 178ක්.  

Mohammad Rizwan 

කඩුල්ල පිටුපස වගකීම් පැවරී ඇති 31 හැවිරිදි වියේ පසුවන Mohammad Rizwan මැදපෙළින් පිටියට පිවිසෙන ලකුණු පිපාසිත පිතිකරුවෙක් ලෙසින් හැඳින්විය හැකි. ඔහු මෙම තරගාවලියේ මේ දක්වා තරග 4ක ඉනිම් 3කට සහභාගී වෙමින් බංග්ලාදේශයට එරෙහිව නොදැවී වාර්තා කරන ලද අර්ධ ශතකයත් සමඟින් ලකුණු 109ක් ලබා සිටිනවා. එහි සාමාන්‍ය 54.5ක්. 

ඔහුගේ එක්දින තරග ඉතිහාසය තරග 64ක්, ඉනිම් 58ක්, ශතක 2ක් සහ අර්ධ ශතක 11ක් සමඟින් ලකුණු 1607කින් සමන්විතයි. ඉන් ලකුණු 136ක් ඉනිම 4ක දී ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කරන Rizwan එහි සාමාන්‍ය 68.0ක් ලෙසින් පවත්වා ගන්නවා.  

Shaheen Shah Afridi 

තම කණ්ඩායමේ ප්‍රධානතම පන්දු යවන්නන් දෙදෙනා ම ආබාධිත තත්ත්වයේ පසුවීම හේතුවෙන් මෙම තරගයේ දී වැඩි කාර්යභාරයක් කිරීමට වමතින් වේග පන්දු යවන Shaheen Shah Afridi සිදු වෙනවා.  

ඔහු මේ දක්වා නිමා වූ තරගවල දී කඩුලු 8ක් දවා ගනිමින් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ සැලකිය යුතු මට්ටමකට ද සිටිනවා.  

එක්දින තරග 43ක දී කඩුලු 84ක් දවාගෙන සිටින ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව තරග පිටියට පිවිසෙන්නේ පළමු වතාවටයි.  

Fakhar Zaman 

33 හැවිරිදි වියේ පසුවන පාකිස්තානයේ ආරම්භක වමත් පිතිකරු Fakhar Zaman මෙම තරගාවලියේ දී තවමත් සැලකිය යුතු මට්ටමේ ඉනිමක් ක්‍රීඩා නොකළ ද පාකිස්තානයේ විශ්වාසය දිනා සිටින ක්‍රීඩකයෙක්. 

ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 77ක ඉනිම් 76කට ක්‍රීඩා කරමින් ශතක 10ක් සහ අර්ධ ශතක 15ක් සමඟින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 3268ක්. එහි සාමාන්‍ය 46.02ක් ලෙසින් දැක්වෙනවා. 

ශ්‍රී ලංකාවට එරෙහිව තරග 8කට එක් වී ඇති ඔහු අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 328ක් ලබා ගනිමින් මෙම තරගය හා එක් වීමට නියමිතයි.  

මේ සියලු දක්ෂතාත් සමඟින් දෙරටේ ක්‍රීඩකයෝ වඩාත් තීරණාත්මක තරගයකටයි මේ, එළඹ ඇත්තේ. ඒ මෙම තරගයේ ජයග්‍රාහකයන්ට 2023 ආසියානු එක්දින කුසලානයේ අවසන් මහා තරගයේ අසුනක් වෙන් වෙන බැවිනුයි 

පෙර දක්ෂතා කුමන මට්ටමක වූවත් තරගයේ තීරණය ක්‍රියාත්මක තරගයේ දක්ෂතා මතයි තීරණය වෙන්නේ. ඒ උණුසුම ඒ ආකාරයෙන් ම ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<