“මට IPL කණ්ඩායම් දෙකකින් කතා කළා” – වනිඳු හසරංග

839
Wanindu Hasaranga

ශ්‍රී ලංකා පා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග අද (8) සවස ලසිත් මාලිංගගේ නිල YouTube නාලිකාව හරහා සංවාදයකට එක්වුණා. ඔහු එහි දී ඔහු ඉදිරියේ තිබෙන IPL තරගාවලිය සඳහා තිබෙන ඇරයුම් සහ ඉදිරි ක්‍රිකට් මඟ සැලසුම් කරගෙන තිබෙන ආකාරය ගැන යම් අදහස් දැක්වීමක් කළා.

එහි දී වනිඳු පවසා සිටියේ Imran Tahir සහ Rashid Khan වැනි ක්‍රීඩකයින් පන්දු යවන ආකාරය වෙත ඔහු සිය වැඩි අවධානය යොමු කරන බවයි.

“ලෝකයේ පා දඟපන්දු යවන්නන් ගොඩක් ඉන්නවා. හැබැයි මගේ වේගය සහ ඉරියව්ව අරගෙන බැලුවහම Imran Tahir සහ Rashid Khan වගේ පන්දු යවන්නන් පන්දු යවන ආකාරය ගැන හොඳින් නිරීක්ෂණය කරනවා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ රටට හරි වෙනත් ලීග් ක්‍රිකට් තරගාවලි හරි සෙල්ලම් කරනකොට පුළුවන් හැම වෙලාවකම වගේ ඒ අය පන්දු යවන විදිහ බලනවා. සමහර වෙලාවට ඒ ඒ තරගය තියෙන ස්වභාවය අනුව ඒගොල්ලෝ පන්දු යැවීම කරන්නේ කොහොමද මොනවද කරන වෙනස්කමක් කියලා බලල පුරුදු වෙන එක ගොඩක් වැදගත්. අපි කාලෙන් කාලෙට පොඩි පොඩි හරි අලුත් දේවල් කරන්න ඕනේ නැතිනම් මේ දියුණු වෙන ක්‍රිකට් එකේ ඉස්සරහට යන්න. ගොඩක් අමාරුයි” යැයි වනිඳු පැවසුවා.

ගෙවී ගිය තරගාවලි 4 පළමු තරගාවලි දෙක තුල කඩුලු අවම ලෙස දවා ගැනීම සහ අවසන් තරගාවලි දෙකේ දී නැවතත් කඩුලු දවා ගැනීමට හැකියාව ලැබුණු එක ගැන වනිඳු පැවසුවේ මෙවැනි දෙයක්.

තවත් ක්‍රිකට් පුවත්

“අන්තිම තරගාවලි 4 (එක්දින සහ විස්සයි විස්ස) අරගෙන බැලුවහම පිතිකරුවන් මගේ පන්දුවාර කිහිපය කඩුලු නොදී හිමින් ලකුණු ලබාගන්න උත්සහ කරනවා. ලොකු ලොකු ප්‍රහාරවලට යන්නේ නැතිව මගේ පන්දුවලට කඩුලු දෙන්නේ නැතිව ක්‍රීඩා කරන්න බලනවා. ඒක නිසා මට කඩුලු දවා ගන්න ලැබුණේ නැහැ. 

හැබැයි මගේ පන්දුවාර 4 හෝ පන්දුවාර 10 අවසානයේ ඉතාමත් අඩු ලකුණු ප්‍රමාණයක් තමයි මම පිතිකරුවන්ට ලබා දුන්නේ. හැබැයි නිමාවුණු ඉන්දීය තරගාවලියේ දී මම මගේ පන්දු යැවීමේ රටාවේ වෙනසක් කළා. මගේ stock ball එක මම කඩුලු දවා ගන්න ඕනෙම වෙලාවට විතරයි භාවිතා කළේ. ඒ සැලසුම නිමා වුණු ඉන්දීය තරගාවලියේ දී ගොඩක් දුරට සාර්ථක කරගත්තා කියලා මම හිතනවා. 

මම මේ දවස් ටිකේ නම් පොඩි විවේකයක් අරගෙන ටිකක් ගෙදරට වෙලා ඉන්නවා. ඊළඟට අපිට තියෙන්නේ දකුණු අප්‍රිකානු තරගාවලිය ඊට පස්සේ ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියත් තියෙනවා.”

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුල නිත්‍ය දඟපන්දු යවන පුහුණුකරුවෙක් ලෙස පියල් විජේතුංග මහතා කටයුතු කිරීම ගැන වනිඳු පැවසුවේ මෙවැනි දෙයක්.

“අවසන් තරගාවලි 4 පළමු තරගාවලිවල දී අපි දඟපන්දු පුහුණුකරුවෙක් නැතිව තමයි තරගවලට ගියේ. ඒක ගොඩක් ලොකු පාඩුවක් වුනා අපිට. මොකද දඟපන්දු යවන්නෙක් විදිහට අපිට උපදෙසක් අවශ්‍ය වුනාම අහන්න කවුරුත් හිටියේ නැහැ. හැබැයි පියල් සර් (පියල් විජේතුංග) ගොඩක් කල් ඉඳලා අපේ දඟපන්දු යවන්නන් එක්ක වැඩ කරලා තියෙනවා. ඒ වගේම මම මේ දවස්වල පියල් සර් එක්ක එකතු වෙලා මගේ පන්දු යැවීමේ වේගය සහ පන්දු යැවීමේ රටාවන් වල පොඩි පොඩි වෙනස්කම් වගයක් කරනවා.”

එළඹෙන IPL තරගාවලියට තිබෙන ආරාධනාවන් ගැන වනිඳු කිව්වේ මේ වගේ කතාවක්,

“මගේ ක්‍රිකට් දිවියේ තව හැබෑ කරගන්න හීන දෙකක් තියෙනවා. එකක් IPL තරගාවලියක් ක්‍රීඩා කරන එක, අනික් එක එංගලන්තයට ගිහින් කවුන්ටි ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කරන එක. ඉන්දීය තරගාවලිය ඉවර වුනු ගමන් මට දැනට IPL කණ්ඩායම් දෙකකින් කතා කරලා තියෙනවා. හැබැයි කවුරුත් හරි අන්තිම වචනයක් දීලා නැහැ. මම හිතනවා මට මෙවර IPL යන්න අවස්ථාවක් ලැබෙයි කියලා. ඒක මගේ ක්‍රිකට් දිවියට ලොකු අත්දැකීම් ප්‍රමාණයක් ලබාගන්න හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා. 

ඒ වගේම මීළඟ විස්සයි විස්ස ලෝක කුසලානය තියෙන්නේ UAE වල, ඒකට කලින් ඒ තණතීරු වල යම් අත්දැකීමක් ලබා ගන්න එක අපේ කණ්ඩායමට වගේම මට ලොකු හයියක් වෙයි කියලා මම හිතනවා. මම ඩුබායි වල තරග වැඩිය සෙල්ලම් කරලා නැහැ. T10 තරගාවලියේ තරග කිහිපයක් මම එහි දී සෙල්ලම් කරා, ඒකත් පන්දුවාර 10යි නේ කණ්ඩායමට සෙල්ලම් කරන්න තියෙන්නේ” යැයි වනිඳු සිය IPL තරග බලාපොරොත්තු සහ ඉදිරි විස්සයි විස්ස ලෝක කුසලාන බලාපොරොත්තු ගැන පැවසුවා.

“මම ඉස්සර වේගපන්දු යවලා තමයි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදිහට මගේ සහය පාසල් කණ්ඩායමට ලබා දුන්නේ. හැබැයි අවුරුදු 17 දී වගේ ඒක වෙනස් කරලා මාව පා දඟපන්දු යවන්නෙක් විදිහට මගේ පාසල් පුහුණුකරුවන් මාව වෙනස් කළා. සමහර විට ඒ වෙනස්කම එදා කළේ නැතිනම් අද මම මේ ඉන්න තැන නැති වෙන්නත් තිබුණා. එදා ඉඳලා අද වෙනකන් මව මේ තැනට ගේන්න මහන්සි වුන හැම කෙනෙක්ටම මම ස්තුතිවන්ත වෙන්න මේක අවස්ථාවක් කරගන්න කැමතියි” යැයි වනිඳු අවසන් ලෙස පැවසුවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<