ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ වීරයා බවට පත් වූයේ Moors කණ්ඩායම නියෝජනය කළ යෙසිත් රූපසිංහ. තවමත් 22 හැවිරිදි වියේ පසුවෙන යෙසිත් ThePapare.com සමඟ හමු වී කළ කතා බහක් මේ.
“තරගාවලිය ආරම්භයේ දී ම ලොකු වුවමනාවක් තිබුණා දීර්ඝ ඉනිම් කිහිපයක් ක්‍රීඩා කරන්න ඒ සමඟින් වැඩි කඩුලු ප්‍රමාණයක් දවා ගන්න. ඒ වෙනුවෙන් විශාල ලෙස මහන්සි වුණා. ඒ ගමන යෑමට සුවිශේෂී දායකත්වයක් දැක් වූවේ වගේ ම ඒ ගමන සැලසුම් කළේ පුහුණුකරු ගිහාන් රූපසිංහ අයියා. ඒ වගේ ම Moors කණ්ඩායමේ අනෙකුත් පුහුණුකාරී මඩුල්ල, සහෝදර ක්‍රීඩකයන් වගේ ම ක්‍රීඩා සමාජයේ සියලුම දෙනාමත් මගේ මේ සාර්ථකත්වයත් සමඟ සිටිනවා. ඒ සියලුම දෙනාට මම ස්තූතිවන්ත වෙනවා.” යෙසිත් කතාව පටන් ගත්තේ ඒ ආකාරයෙන්.
යෙසිත් මෙවර නිමා වූ තරගාවලියේ දී වමත් පිතිකරු භූමිකාවේ දී තරග 10ක ඉනිම් 13ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 400ක් ද සහ පන්දු යැවීමේ දී කඩුලු 35ක් ද දවා ගනිමින් තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වනවා. තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර පළමු වැන්නා බවට පත් වෙන යෙසිත් තරගාවලියේ වැඩිම ලකුණු ලැබූ පිතිකරු ලැයිස්තුවේ 8 වැනි ස්ථානය හිමිකර ගන්නවා.
යොවුන් ක්‍රිකට් පිටියේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් සම්මානයට පත් යෙසිත් ගේ ක්‍රිකට් ආරම්භය සිදු වෙන්නේ ඔහු උපන් ගම වන පේරාදෙණියෙන්. එවකට ඔහු මහනුවර ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේ ඉගෙන ගන්නා අවදිය.
“එතකොට මට වයස අවුරුදු 9ක් විතර වෙන්න ඇති. මගේ නිවුන් අයියල දෙන්න ඒ වෙද්දී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙනවා. මේ නිසා ලැබෙන විවේකයේ දී අපි තුන් දෙනාගේ වැඩේ ක්‍රිකට් ගහන එක. එතැන දී ඉතිං මට තමයි වැඩියෙන් ම අවස්ථාව හිමි වෙන්නේ. මොකද මම ඉතිං පවුලේ බාලයා නේ. අම්මත් ඉතිං මගේ පැත්තෙ. දෙපාරක් විතර මං අවුට් වුණහම තමයි අයියලට අවස්ථාව ලැබෙන්නේ. පන්දු යැව්වත් ඉතිං මට එපා වුණාට පස්සේ තමයි ඒ අයට චාන්ස් එක ලැබෙන්නේ. මේ නිසා රන්ඩු වුණ අවස්ථාත් ඕන තරම් තිබුණා.”
ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේ ක්‍රිකට් ඇකඩමියෙන් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රගුණ කළ යෙසිත් එහි වසය අවුරුදු 13න් පහළ කණ්ඩායමට නැතිව බැරි ක්‍රීඩකයෙක් වුනා. එම වයස් කාණ්ඩයේ අවසන් වසරේ කණ්ඩායමේ නායකත්වය දැරීමට ද ඔහුට අවස්ථාව හිමි වෙනවා.
යෙසිත් කුඩා කාලයේ දී
“ඒ දවස්වල සිට ම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් දක්ෂතා දැක් වූවා. මේ නිසා ම මට 13න් පහළ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායමට ද ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වුණා. ඒ වගේ ම වයස අවුරුදු 15න් පහළ ක්‍රීඩා කළ පළමු අවුරුද්දේ ම මධ්‍යම පළාත් කණ්ඩායමට ක්‍රීඩා කිරීමටත් සහ ඊට පස්සේ වයස අවුරුදු 15න් පහළ පළමු වෙනි අවුරුද්දේ ම මධ්‍යම පළාත් කණ්ඩායමටත් ක්‍රීඩා කිරීමට හැකි වෙනවා. ඒ වගේ ම එම වසරේ දී වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මැලේසියා සංචාරයට තෝරා ගැනීමේ කණ්ඩායමේ පළමු 30 අතරට පැමිණීමටත් මට හැකි වෙනවා.”
මේ දක්ෂතාත් සමඟින් යෙසිත් ට 2017 වසරේ දී කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට එක් වීමට අවස්ථාවක් උදා වෙනවා. ලැබූ මේ අවස්ථාව යෙසිත් ගේ නිවැසියන්ට සති දෙක තුනක් තිස්සේ කතා වෙන මාතෘකාවක් බවට පත් වෙනවා.
අම්මා, සුනීතා නිල්මිණි කුලරත්න ගුරුවරියක් ලෙසින් ගමේ ම සේවය කළ අතර නිවුන් සහෝදරයන් වූ කසුන් තාරක රූපසිංහ සහ ධනුක විරාජ් රූපසිංහ ඒ වෙද්දී උසස් අධ්‍යාපනය වෙනුවෙන් විශ්වවිද්‍යාලය වරම් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනුයි සිටියේ. ඔවුන්ට තම පවුලේ බඩපිස්සාට ලැබූ එම අවස්ථාව ලෙහෙසියෙන් බැහැර කිරීමේ හැකියාවක් තිබී නැහැ. ඒ ඔවුන් තිදෙනා ඒ වෙද්දී යෙසිත් ගේ ක්‍රිකට් ක්‍රීඩාවට තදින් ම බැඳී සිටි බැවිනුයි.
“ඔය අතර අයියල දෙන්නට විශ්වවිද්‍යාලය වරම් හිමි වුණා. ඔවුන්ගේ පළමු තේරීම වුණේ කොළඹ පැමිණිම. මේ නිසා ම අම්මත් මාව අරගෙන කොළඹ එන්න තීරණය කරනවා. ඒ ආපු ගමන අපිට අපේ ගම කොළඹ වුණා. අම්ම දෙමටගොඩ සාන්ත අන්තෝනි විද්‍යාලයේ ගුරුවරියක ලෙසින් සේවය කරන අතර අයියල දෙන්න පෞද්ගලික ආයතනවල සේවය කරනවා.”
යෙසිත් තම ආදරණීයයන් සමඟ
කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට පැමිණි පළමු අවුරුද්දේ ම යෙසිත්ට වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් මැලේසියා සංචාරයට එක් වීමට අවස්ථාව උදාවෙනවා. ඒ පවන් රත්නායක ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම හා එක් වෙමින්.
“එම තරගාවලියේ දී මට විශේෂ යමක් කරන්න හැකි වුණේ නැහැ. නමුත් තරගාවලිය අපි හොඳින් නිමා කරනවා.”
ඊට පසුව දිගින් දිගට ම සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම් නියෝජනය කළ යෙසිත් වරෙක ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ දක්ෂතම කණ්ඩායම ලෙසින් තේරී පත් වූ සාන්ත ජෝසප් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ප්රමුඛ පෙළේ සාමාජිකයෙක් ද වූවා.
“පාසල් කාලයේ දි ලොකුවට ම මතක හිටින දෙයක් කරන්න බැරි වුණා. ඒ ගැන ලොකු පසුතැවීමක් සිටියේ. නමුත් මම අවසන් වරට සහභාගී වූ සාන්තුවරයන් ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගැනීමට මට හැකි වෙනවා. ඒක මගේ ඉදිරි ජීවිතයට වැදගත් තරගයක් වුණා.”
ඒ දක්ෂතාත් සමඟින් යෙසිත්, BRC කණ්ඩායමට එක් වෙමින් පළමු වරට, පළමු පෙළ එක්දින තරග සඳහා එක් වෙනවා. ඊට පසුව Lanka CC, Kalutara Town Club සහ Baduraliya SC කණ්ඩායම් හා එක් ව ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියන් නියෝජනය කරමින් තම දක්ෂතා මුදා හරිනවා.
“පොඩි දවස්වල නම් පන්දු යැවීමට වඩා පිතිකරුවෙක් ලෙසින් ඉදිරියට ඒමටයි උත්සාහ කළේ. නමුත් පන්දු යැවීමත් අතහැරියෙ ම නැහැ. කොහොම නමුත් මම සෑම විට ම උත්සාහ කරන්නේ තුන් ඉරියව්වෙන් ම දක්ෂතා දක්වමින් ඉදිරියට යන්න. මේ ක්‍රීඩා කරපු සෑම තැනක දී ම මම මගේ උපරිමයෙන් කළා. නමුත් ඒ සියල්ල අභිබවා මෙවර Moors කණ්ඩායම හා එක් වෙමින් මට මගේ ඉලක්කයන් කරා යෑමට හැකි වුනා.”
යෙසිත් 23න් පහළ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගනිමින්
යෙසිත් ගේ මේ ගමනේ මෙම දක්ෂතා එක් කඩඉමක් පමණක් බවයි ඔහු පවසන්නේ. ලකුණු සහ කඩුලු පිපාසාවෙන් සිටින යෙසිත් වඩාත් වැඩි දක්ෂතා සහගත පළමු පෙළ තරගාවලියක් නිමා කිරීමේ බලාපොරොත්තුවෙන් මේ දිනවල පුහුණුවීම්වල නිරත වෙමින් සිටිනවා.
“කිසි දෙයක් ලෙහෙසියෙන් ලැබෙන්නේ නැහැ. මහන්සි වෙන්න ඕන. කැපවීම තියෙන්න ඕන. ඒ වගේ ම ඉලක්කයක් තියෙන්න ඕන. ඕන ම ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වෙන්න. ඒ ගමන යන්න තවත් කඩඉම් කිහිපයක් ම පසු කරන්න ඕන. ඒ සියල්ලටත් හොඳින් මුහුණ දෙමින් තවත් වසර දෙකක් තුනක් ගත වෙද්දි ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වෙමින් මගේ දක්ෂතා රට වෙනුවෙන් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.” යෙසිත් රූපසිංහ පවසනවා.
මේ ගමනේ දී වත්මන් කණ්ඩායමේ සෑම තරාතිරමක අයගෙන් ලැබෙන සහයෝගය මෙන් ම නිවැසියන්ගෙන් සහ හිතවතුන්ගෙන් ලැබෙන සහයෝගයත් කෘතවේදීව යසිත් සිහිපත් කළා.
ක්‍රිකට් පිටියේ දිගු ගමනක් යෑමට බලාපොරොත්තු වෙන යසිත් රූපසිංහට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්!
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<