කිරුළු නොපළන් ඉන්දීය කුමරු මතින් ගුජරාටය තවත් අවසන් මහා තරගයකට!

IPL 2023

2396
Gujarat Titans vs Mumbai Indians

2023 IPL තරගාවලියේ අවසන් මහා තරගයේ දී Chennai Super Kings කණ්ඩායම සමඟ ක්‍රීඩා කරන්නට අවස්ථාව උදා කර ගන්නා කණ්ඩායම පිළිබඳ ව මෙතෙක් දවසක් තිබූ ගැටලුවට ඊයේ (26) රාත්‍රියේ පැවැත්වුණු Mumbai Indians සහ Gujarat Titans අතර තරගයෙන් විසඳුමක් හිමි වුනා.

තරගාවලියේ Qualifier 2 තරගය ලෙස අහමදාබාද් හිදි පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මුම්බායි නායක Rohit Sharma විසින් මෙවර තරගාවලියේ තම පිතිකරුවන් ඉහළ ලකුණු හඹා යමින් පෑ පෙළහර පිළිබඳ විශ්වාසය තබමින් පළමුව පන්දුවට පහර දීමට ගුජරාටයට ඇරයුම් කළා.

Saha සහ Gillගෙන් ශක්තිමත් අඩිතාලමක්

Rohitගේ ඇර‍යුමෙන් පිටියට පිවිසි සුපුරුදු ගුරජාට් ආරම්භක පිතිකරු යුගලය වන Shubman Gill සහ Wriddhiman Saha විසින් තරමක් සෙමෙන් සිය ඉනිමට ආරම්භය ලබා ගත්ත ද, නව පන්දුවේ ඔපය ඉවත් ව යත් ම ඔවුන් සිය සුපුරුදු පිතිකරණ රටාවට එළඹුණා.

ඒ අනුව ඔවුන් දෙදෙනා විසින් පන්දුවාර 6 පන්දු 2ක් තුල ගුජරාට් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 54ක් එකතු කිරීමට සමත් වූ අතර ඉනිමේ පළමු කඩුල්ල ලෙස Wriddhiman Saha දැවී යන විට ඔහුගේ පිත්තෙන් ලකුණු 18ක් වාර්තා වී තිබුණා. කෙසේ වෙතත් ගුජරාට් ඉනිමේ 8 වැනි පන්දුවාරය අවසන් වන විට ගුරාටය විසින් රැස් කිරීමට සමත් වී තිබුණේ ලකුණු 64ක් පමණයි.

Gill ගියරය මාරු කරයි!

ගුජරාට් ඉනිමේ 8 වැනි පන්දුවාරය වන විට කඩුල්ලේ රැඳී සිටි Shubman Gill විසින් පන්දු 26කින් ලකුණු 37ක් ලබා ගැනීමට සමත් වී තිබුණා. එමෙන් ම ගුජරාට් ඉනිමේ 5 වැනි පන්දුවාරයේ දී Chris Jordan යැවූ පන්දුවකට ලකුණු 30ක් ලබා සිටි Gill විසින් එල්ල කළ පහරක් තරමක් අසීරු උඩපන්දුවක් ලෙස රැක ගැනීමේ අවස්ථාව Tim David අතින් ගිලිහී ගියා.

මෙම උඩපන්දුව ගිලිහී යාම කෙතරම් බරපතළ දැයි මුම්බායට වැටහෙන්න පටන් ගන්නේ ඉනිමේ 9 වැනි පන්දුවාරයේ දීයි. එම පන්දුවාරයේ දී සිය ගියරය මාරු කිරීමට පියවර ගත් Gill විසින් පන්දු 32කින් සිය අර්ධ ශතකය ලබා ගැනීමට සමත් වුනා. නමුත් එතකින් පවා නොනැවතුණු ඔහු තවත් පන්දු 17ක ඇවෑමෙන් සිය තෙවැනි IPL ශතකය ද වාර්තා කිරීමට සමත් වුනේ මෙවර තරගාවලියේ සාර්ථක ම පිතිකරුවා තමන් වග නැවත වරක් ඔප්පු කරමිනුයි.

එමෙන් ම ඔහු විසින් සිය අවසන් විස්සයි විස්ස ඉනිම් 4 තුල ශතක තුනක් ලබා ගැනීමට සමත් වී තිබීම ද විශේෂත්වයක්. සිය ශතකයෙන් පසුව ද ලකුණු ලබා ගැනීමේ වේගයේ කිසිදු වෙනසක් සිදු නොකළ Gill විසින් තවත් පන්දු 11කට මුහුණ දෙමින් ලකුණු 29ක් රැස් කිරීමට සමත් වුනා.

මේ අනුව ගුජරාට් ඉනිමේ 16 වැනි පන්දුවාරයේ පස් වැනි පන්දුවෙන් නැවතත් David අතට ම උඩ පන්දුවක් ලබා දීම නිසා Gill හට සිය ඉනිම නිමා කිරීමට සිදු වන අතර ඒ වන විට ඔහු විසින් පන්දු 60කින් ලකුණු 129ක් ලබා ගැනීමට සමත් වී තිබුණා. එමෙන්ම මේ ඉනිම වෙනුවෙන් ඔහු හතරේ පහර 7ක් සහ දැවැන්ත හයේ පහර 10ක් ද එකතු කර ගැනීමට සමත් වුනා.

එමෙන්ම Gillගේ කඩුල්ල දැවී යන විට ගුජරාට් ලකුණු පුවරුවේ ලකුණු 192ක් සටහන් ව තිබුණා. ඒ අනුව ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් Gill සහ Sai Sudharsan විසින් පන්දු 63ක් තුල ලකුණු 138ක දැවැන්ත සබඳතාවක් පිහිටුවීමට ද සමත් වුනා.

මේ අතර Gillගේ දැවී යාමෙන් අනතුරුව නායක Hardik Pandya පිටියට පිවිසුණු අතර ඔහු විසින් ගුජරාටයේ ලකුණු ලබා ගැනීමේ වේගය අඩු වීමට ඉඩක් ලබා දුන්නේ ම නැහැ. ඒ අතරතුර දී Gill සමඟ විශිෂ්ට සබඳතාවක් පිහිටුවීමට සහය ලබා දුන් Sai Sudharsan විසින් ඉනිමේ 20 වැනි පන්දුවාරය ආරම්භයේ පන්දු 31කින් ලකුණු 43ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් ව යෑමට තීරණය කළේ (Retired Hurt) Rashid Khan හට පිටියට පිවිසෙමින් තවත් දැවැන්ත පහරවලට යොමු වීමට අවස්ථාව ලබා දෙමිනුයි.

මේ අනුව නියමිත පන්දුවාර 20 අවසන් වන විට ගුජරාටය විසින් කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 233ක් ලබා ගැනීමට සමත් වුනා. මෙහි දී කිසිදු මුම්බායි පන්දු යවන්නෙකුට පන්දුවෙන් සාර්ථක වීමට ඉඩක් ලැබුණේ නැහැ. විශේෂයෙන් ම මීට පෙර Lucknow Super Giants සමඟ මුම්බාය ක්‍රීඩා කළ Eliminator තරගයේ දී ලකුණු 5කට කඩුලු 5ක් බිඳ හෙළූ Akash Madhwalගේ පන්දුවාර 4 තුළ ලකුණු 52ක් ලබා ගැනීමට ගුජරාටය විසින් සමත් වී තිබීම විශේෂත්වයක්.

එමෙන්ම මීට පෙර ගුජරාටය සමඟ තරග තුනක් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ව ඊයේ තරගය වෙනුවෙන් එක් කර නොගැනීමට ද ගුජරාටය විසින් පියවර ගෙන තිබුණා. ඔවුන් ඒ වෙනුවට විශේෂඥ වේග පන්දු යවන්නෙකු වන අයර්ලන්තයේ Josh Littleව සිය කණ්ඩායමට එකතු කර ගෙන තිබුණා.

අවාසනාවේ තෝරා ගැනීම මුම්බාය ද?

මෙම තරගයේ ගුජරාට් ඉනිම අතරතුර සිය කණ්ඩායම් සගයෙකු වන Chris Jordanගේ අත මුම්බායි ආරම්භක පිතිකරු සහ කඩුලු රකින්නා වන Ishan Kishanගේ වම් ඇසේ වැදීම නිසා ඔහුට ක්‍රීඩා පිටියෙන් ඉවත් ව යාමට සිදු වුනා. එමෙන් ම ඔහුට මුම්බායි ඉනිම ආරම්භ කිරීමට ද පිටියට පිවිසීමට අවස්ථාවක් හිමි නොවූ අතර එම නිසා නායක Rohit Sharma සමඟින් මෙවර මුම්බායි ඉනිමට ආරම්භය ලබා ගැනීමට Nehal Wadhera පිටියට පිවිසුණා.

නමුත් ඔවුන් දෙදෙනාට බලාපොරොත්තු වූ තරම් දෙයක් සිය කණ්ඩායම වෙනුවෙන් සිදු කිරීමට අවස්ථාවක් හිමි වුනේ නැහැ. Nehal විසින් ලකුණු 4ක් ලබා සිටිය දී සිය ඉනිම නිමා කළ අතර, ඉන්පසුව පිටියට පිවිසුණු Cameron Green හට ද ඉනිමේ දෙවැනි පන්දුවාරයේ දී ම පිටියෙන් ඉවත් වීමට සිදු වුනේ Hardik Pandyaගේ පන්දුවක් අතේ වැදීම නිසායි. එමෙන් ම ඉන් මොහොතකට පසුව නායක Rohit Sharma ද සිය කඩුල්ල පූජා කරමින් පිටියෙන් ඉවත් වුනා.

නමුත් එතැන් පටන් පිටියේ එක් වූ Tilak Varma සහ Suryakumar Yadav විසින් මුම්බාය වෙනුවෙන් ලකුණු 51ක වේගවත් සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා. මෙහි දී අධිවේගී ඉනිමක් දියත් කළ Tilak Varma විසින් පන්දු 14කට පමණක් මුහුණ දෙමින් ලකුණු 43ක් ලබා ගැනීමට සමත් වූ අතර ගුජරාටයට අවශ්‍ය ඕනෑම මොහොතක ක්‍රියාත්මක වීමට සූදානම් ව සිටින Rashid Khan හමුවේ ඔහුට දැවී යාමට සිදු වුනා. නමුත් ඉන්පසුව සිය අතේ ආබාධ තත්වය ද සහිත ව නැවතත් පිටියට පිවිසීමට Cameron Green විසින් තීරණය කරනවා.

Green සහ Surya මුම්බායට බලාපොරොත්තුවක් එක් කරයි?

ඒ අනුව පිටියේ එක් වූ Green සහ Surya විසින් පන්දු 32කින් තවත් ලකුණු 51ක් මුම්බායි ඉනිමට එක් කිරීමට සමත් වූ අතර ලකුණු 30ක් ලබා සිටි Greenගේ කඩුල්ල දැවී යාමෙන් පසුව එම සබඳතාව නිමාව දුටුවා. නමුත් එතැනින් නතර වීමට Suryaට කිසිදු උවමනාවක් නොතිබූ අතර ඔහු සිය සුපුරුදු ප්‍රහාරය දියත් කිරීම නොකඩවා කරගෙන ගියා.

නමුත් මෙවර තරගාවලියෙන් නැවත කරළියට පිවිසි ගුජරාට් ප්‍රවීණයා Mohit Sharma විසින් Suryaගේ ඉනිම නිමා කළ අතර එතැන් පටන් මුම්බායට නැවත නැඟී සිටීමට කිසිඳු ඉඩක් ලබා නොදීමට ගුජරාටය පියවර ගත්තා.

මුම්බායි ලකුණු පුවරුව ලකුණු 155ක් වන විට පන්දු 38කින් ලකුණු 61ක් ලබා සිටි Suryaගේ කඩුල්ල දැවී ගිය අතර ඉන්පසුව මුම්බායි ඉනිමට තවත් ලකුණු 16ක් එකතු වද්දී ඉතිරි කඩුලු 5ම දවා ගැනීමට ගුජරාටය විසින් සමත් වුනේ නොකඩවා දෙවැනි වරටත් IPL අවසන් මහා තරගයකට සුදුසුකම් ලබමිනුයි.

මෙහි දී මුම්බායි ඉනිමේ දැවී ගිය අවසන් කඩුලු 5න් 4ක ම වගකීම Mohit Sharma සතු වූ අතර ඔහු සිය පන්දු යැවීම නිමා කළේ පන්දුවාර 2 පන්දු 2ක් තුල ලකුණු 10කට කඩුලු 5ක් බිඳ හෙළමිනුයි. එමෙන් ම Rashid Khan විසින් ලකුණු 33කට කඩුලු 2ක් බිඳ දැමීමට සමත් වුනා.

මේ අනුව පන්දුවාර 18 පන්දු 2ක දී ලකුණු 171කට Mumbai Indians ඉනිම නිමා වූ අතර, තරගය ලකුණු 62කින් ජයග්‍රහණය කිරීමට Gujarat Titans සමත් වුනා.

  • Gujarat Titans 233/3 (20) Shubman Gill 129, Sai Sudharsan 43, Piyush Chawla 1/45
  • Mumbai Indians 171/10 (18.2) Suryakumar Yadav 61, Tilak Varma 43, Mohit Sharma 5/10, Rashid Khan 2/33

තරගයේ වීරයා සම්මානය ශතකලාභී ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ කුමාරයා Shubman Gill හට හිමි වුනා.

ඒ අනුව 2023 IPL තරගාවලියේ අවසන් මහා තරගය ලබන ඉරිදා (29) Chennai Super Kings සහ Gujarat Titans කණ්ඩායම් අතර අහමදාබාද් හිදි පැවැත්වීමට නියමිතයි.

මෙතෙක් කල් මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ IPL උණුසුම ඔබ වෙත සජීවී ව රැගෙන ඒමට ThePapare.com සමත් වූවා සේ ම අවසන් මහා තරගයේ උණුසුම ද සජීවී ව විඳ ගැනීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<