ලක්නව් ආ ගමන නිමයි; මුම්බායෙන් අලුත් තරුවක්!

IPL 2023

1907
Lucknow Super Giants vs Mumbai Indians

මෙවර IPL තරගාවලියේ Mumbai Indians කණ්ඩායම විසින් සිදු කළ වටිනා ම සොයා ගැනීම තමන් බව තහවුරු කළ Akash Madhwal විසින් ඊයේ (24) දිනයේ Lucknow Super Giants කණ්ඩායමට එරෙහි ව අග්‍රගණ්‍ය පන්දු යැවීමක නිතර වුනා.

2023 IPL තරගාවලියේ Play-Off තරග වටයේ දෙවැනි තරගය ලෙස Mumbai Indians සහ Lucknow Super Giants කණ්ඩායම් ඊයේ එකිනෙකා මුණ ගැසුණු අතර මෙම තරගය ජයග්‍රහණය කරනා කණ්ඩායමට තවදුරටත් තරගාවලියේ රැඳී සිටීමට අවස්ථාව හිමි වී තිබුණා.

ඒ අනුව චෙන්නායි හි MA Chidambaram ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තීරණාත්මක තරගයේ පළමුව පන්දුවට පහර දීමට කාසියේ වාසිය දිනා ගත් මුම්බායි නායක Rohit Sharma විසින් තීරණය කළා.

SKY සහ Greenගෙන් වේගවත් ආරම්භයක්.

මෙහි දී සුපුරුදු මුම්බායි ආරම්භක පිතිකරු යුගලය විසින් වෙනදා මෙන් ම වේගවත් ආරම්භයක් කරා මාන බැලූ නමුත්, ඊයේ Ishan Kishanගේ හෝ Rohit Sharmaගේ දවස නොවන බවට ඉඟි කරවමින් ඔවුන් දෙදෙනා ම මුම්බායි ඉනිමේ පස්වැනි පන්දුවාරය වන විට නැවත ක්‍රීඩාගාරයට හවා යැවීමට ලක්නව් වේගපන්දු යවන්නන් විසින් සමත් වුනා.

නමුත් ඔවුන්ගේ දැවී යාමෙන් පසුව පිටියේ එක් වූ Cameron Green සහ Suryakumar Yadav විසින් ඉතා පහසුවෙන් ලකුණු ලබා ගනිමින් සාර්ථක සබඳතාවකට මුල පිරුවා. මීට පෙර මුම්බාය සහ හයිද්‍රාබාදය එකිනෙකා මුණ ගැසුණු තරගයේ දී නොදැවුණු ශතකයක් රැස් කිරීමට සමත් වූ Green විසින් සිය ඉනිම තව දුරටත් ඉදිරියට ගෙන යන අයුරු පෙනී ගිය අතර එදා තරගයේ දී ඔහුගේ සහයකයා වූ Suryakumar Yadav විසින් ද සුපුරුදු ලෙස ම පන්දු යවන්නන්ව පීඩනයට පත් කරවන අන්දමේ පිතිකරණයක නිරත වීමට සමත් වුනා.

ඔවුන් දෙදෙනා විසින් ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක සබඳතාවක් පිහිටුවා තිබූ මොහොතේ ලක්නව් නායක Krunal Pandya විසින් සිදු කළ පන්දු යැවීමේ වෙනස සාර්ථක එකක් බවට පත් කළ Naveen-ul-Haq විසින් මෙම ප්‍රබල පිතිකරුවන් දෙදෙනා ම පන්දු තුනක් තුල දවා ගැනීමට සමත් වුනේ කිසිවෙකුත් නොසිතූ විරූ ලෙසයි.

මුම්බායෙන් විශිෂ්ට උපායක්!

SKY- Green යුගලයේ දැවී යාම මුම්බායි ඉනිමට මරු පහරක් එල්ල කළ අතර, එතැන් පටන් ලක්නව් පන්දු යවන්නන් විසින් දිගින් දිගට ම එල්ල කළ පීඩනය නිසා ඉන්පසුව පිටියේ එක් වූ Tim David සහ Tilak Varma තරමක් අපහසුවෙන් යුතු ව පන්දුවට පහර දෙන ආකාරයක් ද පෙනී ගියා. මුම්බායි ඉනිමේ ලකුණු සංඛ්‍යාව 148ක් වන විට Davidගේ ඉනිම නිමා වූ අතර, මේ මොහොතේ දී මුම්බාය විසින් තීරණාත්මක උපක්‍රමයක් ක්‍රියාවට නැංවුවා.

පළමු වරට මෙවර තරගාවලිය වෙනුවෙන් හඳුන්වා දුන් Impact Player නීතියේ උපරිම ප්‍රයෝජනය ගත් මුම්බාය විසින් Davidගේ දැවී යාමත් සමඟ ම Suryakumar Yadav වෙනුවට තවත් පිතිකරුවෙකු ලෙස Nehal Wadheraව කණ්ඩායමට ආදේශ කළේ ඒ වන විට ඉනිමේ ඉතිරි ව තිබූ පන්දු 21න් උපරිම ප්‍රයෝජන ගැනීමේ අරමුණෙනුයි.

එම උපක්‍රමය අතිශය සාර්ථක එකක් බවට පත් කළ Nehal Wadhera විසින් පන්දු 12ක් පමණක් වැය කරමින් ලකුණු 23ක් ලබා ගැනීමට සමත් වුනේ හතරේ සහ හයේ පහර දෙක බැගින් සිය ඉනිමට එකතු කර ගනිමිනුයි.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ Mumbai Indians කඩුලු 8ක් දැවී ලකුණු 182ක් ලබා ගැනීමට සමත් වූ අතර පන්දු 23කින් ලකුණු 41ක් ලබා ගත් Greenගේ නම ඉනිමේ ඉහළ ම ලකුණු ලාභියා ලෙස සටහන් වුනා.

එමෙන්ම මේ දිනවල වැඩියෙන් ම කතාබහට ලක් වන ක්‍රීඩකයෙකු වන ලක්නව් වේගපන්දු යවන්නා Naveen-ul-Haq විසින් සිය පන්දුවාර 4 තුල ලකුණු 38කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා.

ලක්නව් වෙනුවෙන් Stoinis නැගී සිටී.

මේ අනුව මුම්බාය විසින් ලබා දුන් දැවැන්ත ඉලක්කය හඹා යාමේ බලාපොරොත්තුවෙන් පිටියට පිවිසි ලක්නව් ආරම්භක පිතිකරු යුගලයට ද බලාපොරොත්තු වූ තරම් සාර්ථක වීමට ඉඩක් ලැබුණේ නැහැ. මුම්බායි පන්දු යැවීම හමුවේ අසරණ වූ Kyle Mayers සහ Prerak Mankad දෙදෙනා ම ලකුණු 23ක් වන විට නතර වී සිටියේ ලක්නව් ක්‍රීඩාගාරය තුළයි. නමුත් එතැන් පටන් පිටියේ එක් වූ Marcus Stoinis සහ නායක Krunal Pandya විසින් සිය ඉනිම ස්ථාවර කිරීමට වටිනා උත්සාහයක යෙදුණා.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාට ලක්නව් ඉනිමේ තෙඇනි කඩුල්ල වෙනුවෙන් එක් කිරීමට ලැබුණේ ලකුණු 46ක් පමණයි. ලකුණු 8 පමණක් ලබා සිටි නායක Krunal Pandyaව පිටියෙන් ඉවත් කිරීමට Piyush Chawla විසින් සමත් වුනේ Stoinisව පිටියේ තනි කරවමිනුයි. නමුත් කුමන බාධා පැමිණිය ද තනිව ම හෝ මේ සටන තවදුටරත් ඉදිරියට ගෙන යාමට Stoinis උත්සාහ කරන බවයි පෙනී ගියේ.

Akash Madhwal එක් පන්දුවාරයකින් ගස් 2500ක් සිටුවන්න සහය දෙයි!

මෙවර IPL තරගාවලියේ Play-Off තරග වටය ආරම්භ වන විට තරගාවලි සංවිධායකයින් විසින් සඳහන් කළේ Play-Off වටයේ යොමු කෙරෙන සෑම නිලකුණු පන්දුවක් වෙනුවෙන් ම ගස් 500ක් බැගින් රෝපණය කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව ඊයේ තරගය තුල සංවිධායකයින්ගේ මෙම අදහසට විශාල වටිනාකමක් එක් කළ පන්දුවාරයක් යැවීමට මුම්බායි වේගපන්දු යවන Akash Madhwal විසින් සමත් වුනේ ලක්නව් ඉනිමේ 10 වැනි පන්දුවාරය තුල නිලකුණු පන්දු පහක් යොමු කරමිනුයි.

එමෙන් ම මෙම පන්දුවාරය තරගයේ දිශානතිය සම්පූර්ණයෙන් ම පාහේ වෙනස් කිරීමට ද සමත් වූ එකක් වූ අතර, ඔහු විසින් මෙම පන්දුවාරයේ පිට පිට යොමු කළ පන්දු දෙකකින් Ayush Badoni සහ Nicholas Pooranගේ කඩුලු දවා ගැනීමට ද සමත් වුනා.

මේ අතර මෙම කඩුලු දෙක දැවී යාමේ පීඩනය පිටියේ ස්ථාවර වී සිටි Stoinis හට ද දැඩි ලෙස එල්ල වූ බව පෙනී ගිය අතර, Cameron Green විසින් යොමු කළ ලක්නව් ඉනිමේ 12 වැනි පන්දුවාරයේ පස්වැනි පන්දුවට පහරක් එල්ල කල Stoinis විසින් Deepak Hooda සමඟ ලකුණක් කරා දිව ගොස් දෙවැනි ලකුණ කරා නැවත දිව යන අවස්ථාවේ එකිනෙකා හා ගැටීමෙන් ලකුණ ලබා ගැනීමට බාධා එල්ල වුනා.

ඒ සමඟම ක්‍රියාත්මක වූ Ishan Kishan විසින් Stoinisව දුවද්දී දවා ගැනීමට සමත් වුනා. ඒ වන විට ඔහු විසින් පන්දු 27කින් ලකුණු 40ක් ලබා සිටි අතර ඔහුගේ කඩුල්ල ලක්නව් ඉනිමේ 6 වැනි කඩුල්ල බිඳ වැටුණේ ලකුණු පුවරුවේ ලකුණු 89ක් සටහන් ව තිබිය දීයී.

මේ දැවී යාමෙන් අනතුරුව ලක්නව් ඉනිමේ තවත් කඩුලු දෙකක් දුවද්දී දවා ගැනීමට මුම්බායි පන්දු රකින්නන් විසින් සමත් වූ අතර ලක්නව් ඉනිමට නැවත ගොඩ ඒමේ මාර්ගයක් පෙනෙන තෙක් මානයක හෝ ඉතිරි ව තිබුණේ නැහැ.

එමෙන් ම ඊයේ දිනය සම්පූර්ණයෙන්ම තමන්ගේ නමට ලියා ගැනීමට සමත් වූ මුම්බායි වේගපන්දු යවන්නා Akash Madhwal විසින් ලක්නව් ඉනිමේ 17 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවෙන් Moshin Khanගේ කඩුල්ල දවා ගනිමින් සිය හොඳම IPL පන්දු යැවීම සටහන් කර ගැනීමට ද සමත් වුනා.

Akash විසින් මෙම තරගයේ පන්දුවාර 3 පන්දු 3ක් යොමු කරමින් ප්‍රතිවාදී කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වුනේ ලකුණු 5ක් පමණක් ලබා දෙමිනුයි. එමෙන් ම ඔහු විසින් ඊයේ දිනයේ යොමු කළ පන්දු 21න් 17ක් ම නිලකුණු පන්දු ලෙස යොමු කිරීමට සමත් වීම ද විශේෂත්වයක්.

ඒ අනුව ලක්නව් පිතිකරුවන් විසින් සියල්ලන් ම දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 101ක් පමණක් වන අතර එහි දී ලකුණු 40 රැස් කළ Marcus Stoinisට අමතරව ලකුණු 10 සීමාව හෝ ඉක්මවා යෑමට සමත් වුනේ තවත් පිතිකරුවන් දෙදෙනෙකු පමණයි.

  • Mumbai Indians 182/8 (20) Cameron Green 41, Suryakumar Yadav 33, Naveen-ul-Haq 4/38, Yash Takur 3/38
  • Lucknow Super Giants 101/10 (16.3) Marcus Stoinis 40, Akash Madhwal 5/5, Chris Jordan 1/7

නිලකුණු පන්දු 17ක් සමඟින් පැල 8500ක් රෝපණය කිරීමට සහය දුන් මෙන් ම, කඩුලු 5ක් ද බිඳ හෙළු Akash Madhwal තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා.

මේ අනුව කණ්ඩායම් දහයක් විසින් මාස දෙකකට ආසන්න කාලයක් පුරා තරග වැදුණු 2023 IPL තරගාවලියේ මේ වන විට ඉතිරි ව ඇත්තේ කණ්ඩායම් තුනක් පමණයි. ඒ අතරින් Chennai Super Kings මේ වන විටත් ලබන ඉරිදා (28) පැවැත්වීමට නියමිත අවසන් මහා තරගය වෙත සුදුසුකම් ලබා ඇති අතර, ලබන සිකුරාදා (26) Gujarat Titans සහ ඊයේ තරගය ජයග්‍රහණය කළ Mumbai Indians කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත Qualifier 2 තරගයෙන් ජයග්‍රහණය කරනා කණ්ඩායම චෙන්නායි සමඟ අවසන් තරගය ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබනු ඇත.

මෙතෙක් කල් තරගාවලියේ සියලු ම තරගවල උණුසුම සජීවීව ඔබ හා බෙදා ගත් සේ ම තරගාවලියේ ඉතිරි තරග දෙක ද සජීවී ව ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<