මලල ක්‍රීඩා පිටියේ බිහි වූ වේගවත්ම මිනිසුන්

393

ලොව වේගවත්ම ඉසව්ව එසේත් නොමැති නම් මලල ක්‍රීඩා පිටියේ වේගවත්ම ඉසව්ව ලෙස සැලකෙන මීටර් 100 ඉසව්වේ කැපී පෙනෙන දක්ෂතා වාර්තා කරමින් ජයග්‍රහණය දිනා ගන්නා ක්‍රීඩකයන් ලොව වේගවත්ම මිනිසා යන අනුවර්තීය නාමයෙන් පිදුම් ලබයි.

මලල ක්‍රීඩා පිටියේ වේගවත්ම ක්‍රීඩකයින් පිළිබඳව කතා බහ කිරීමේ දී අවිවාදයෙන්ම සැමගේම සිතට පැමිණෙන්නේ, කෙටි දුර ධාවන පිටිය තම අත්ල මත තබා ගත් ජැමෙයිකානු සුපිරි ක්‍රීඩක Usain Bolt යැයි කිවහොත් නිවැරදිය.

එසේ නමුත් එදා මෙදා තුර මලල ක්‍රීඩා පිටියේ වේගවත්ම කාලයන් රැසක් වාර්තා වී ඇති නමුත් ඒවා අතරින් පහත ක්‍රීඩකයින්ගේ දක්ෂතා සඳහා සුවිශේෂී තැනක් හිමි වේ.

ජස්ටින් ගැට්ලින් (Justin Gatlin) – තත්පර 9.74 

කෙටි දුර ධාවන පථයේ රජු ලෙස සැලකෙන Usain Bolt හට සිටි ප්‍රබලතම ප්‍රතිවාදියා ලෙස සැලකෙන ඇමරිකානු කෙටි දුර ධාවන ශූර ජස්ටින් ගැට්ලින්, 2004 වසරේ පැවති ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 ඉසව්ව තත්පර 9.85ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය.

Image Courtesy: Getty Images

එම තරගාවලියෙන් අනතුරුව 2005 වසරේ පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 සහ 200 ඉසව් ද්විත්වයම ජයග්‍රහණය කරන්නට සමත් වූ ඔහු, 2006 වසරේ පැවති “IAAF Super Tour meeting” තරගාවලියේ මීටර් 100 ඉසව්ව තත්පර 9.77ක කාලයකින් අවසන් කරමින් එවකට තිබූ ලෝක වාර්තාව අලුත් කිරීම ද සමත් විය.

ඉන්පසුව තහනම් උත්තේජක නිසා පැනවූ තහනමක් නිසාවෙන් වසර ගණනාවක් පිටියෙන් ඈත්ව සිටිමින් 2010 වසරේ දී නැවතත් ක්‍රීඩා පිටියට පිවිසි ගැට්ලින් 2015 වසරේ පැවති “Qatar Athletic Super Grand Prix” තරගාවලියේ මීටර් 100 ඉසව්ව තත්පර 9.74ක කාලයකින් අවසන් කරමින් 2012 වසරින් පසුව ලොව වාර්තා වූ වේගවත්ම කාලය මෙන්ම ලොව වේගවත්ම කාලයන් අතර පස්වැනි වේගවත්ම කාලය වාර්තා කිරීමට සමත් විය.

අසාෆා පවෙල් (Asafa Powell) – තත්පර 9.72

ජැමෙයිකාව නියෝජනය කරමින් කෙටි දුර ධාවන පිටියේ සුපිරි දස්කම් දැක්වීමට සමත් වූ අසාෆා පවෙල් 2004 වසරේ දී මීටර් 100 ඉසව්ව තත්පර 9.77ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වට අදාළ ලෝක වාර්තාව පිහිටුවීමට සමත් විය.

Image Courtesy: Getty Images

පසුව එම වාර්තාව 2006 වසරේ දී ජස්ටින් ගැට්ලින් විසින් බිඳ හෙළීමෙන් අනතුරුව එම වසරේම නැවතත් මීටර් 100 වාර්තාව තත්පර 9.77ක කාලයකින්න් එම ලෝක වාර්තාව සමකිරීමට සමත් වූ පවෙල් 2007 වසරේ පැවති “IAAF Grand Prix in Rieti” තරගාවලියේ මීටර් 100 ඉසව්ව තත්පර 9.74ක කාලයකින් අවසන් කරමින් නැවතත් එම ඉසව්වේ ලෝක වාර්තාව තම නාමය යටතට ගැනීමට සමත් විය.

පසුව ආබාධයක් නිසාවෙන් ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට සිදුවීම සහ Usain Bolt මලල ක්‍රීඩා පිටියේ සිය ආධිපත්‍ය පැතිර වීමට සමත් වීමත් නිසාවෙන් යම් පසුබෑමකට පත්වීමට පවෙල් හට සිදු වූවත්, 2008 වසරේ පැවති “Grand Prix in Lausanne” තරගාවලියේ දී 100m ඉසව්ව තත්පර 9.72ක කාලයකින් අවසන් කරමින් තම හොඳම කාලය මෙන්ම මලල ක්‍රීඩා පිටියේ සිව්වැනියට වේගවත්ම කාලය වාර්තා කිරීමට ද සමත් විය.

ටයිසන් ගේ (Tyson Gay) – තත්පර 9.69 & 9.71 

ඇමෙරිකාව නියෝජනය කරමින් කෙටි දුර ධාවන පිටියට පිවිසි ටයිසන් ගේ 2007 වසරේ පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත්වූවත්, 2008 වසරේ පැවති ඔලිම්පික් තරගාවලියේ දී කැපී පෙනෙන දස්කමක් දැක්වීමට හැකිවන්නේ නැත.

Image Courtesy: Getty Images

එම පරාජයෙන් පසුව 2009 වසරේ දේශීය පිටියේ පැවති තරගවල දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ ඔහු එම වසරේම පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්ව තත්පර 9.71කින් අවසන් කරමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත්වූයේ එවකට එම ඉසව්වට වාර්තා වූ දෙවන හොඳම කාලය වාර්තා කරමිනි (මේ වන විට තෙවැනි වේගවත්ම කාලය).

පසුව එම වසරේම පැවති “Shanghai Golden Grand Prix” තරගාවලිය සඳහා සහභාගි වූ ඔහු එම තරගාවලියේ මීටර් 100 ඉසව්ව තත්පර 9.69 ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගත්තේ, මීටර් 100 ඉසව්ව සඳහා වාර්තා වූ දෙවන හොඳම කාලය නැවත වරක් අලුත් කරමිනි. 

යොහාන් බේලේක් (Yohan Blake)- තත්පර 9.69

ජැමෙයිකාව නියෝජනය කරමින් කෙටි දුර ධාවන පිටියේ යොවුන් වියේ සිටම දස්කම් දැක්වීමට සමත් වූ යොහාන් බේලේක්, 2009 වසරේ පැවති” Reebok Grand Prix” තරගාවලියේ මීටර් 100 ඉසව්ව තත්පර 9.96ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්ව තත්පර 10.00කට අඩු කාලයකින් නිමා කළ ළාබාලතම ක්‍රීඩකයා (වයස අවුරුදු 19 දී) ලෙස ඉතිහාස ගත විය.

Image Courtesy: Getty Images

කෙටි දුර ධාවන පිටියේ දැක්වූ දස්කම් නිසාවෙන් “The Beast” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ ඔහු, 2011 වසරේ පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් ඉසව්වේ 100 රන් පදක්කම දිනා ගනිමින් ලෝක ශූරතාවයක් ජය ගත් ළාබාලතම ක්‍රීඩකයා බවට පත්වීමට සමත් වූ අතර එම වසරේම පැවති “IAAF Diamond League” තරගාවලියේ දී මීටර් 200 ඉසව්ව තත්පර 19.26ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වට වාර්තා වූ දෙවන හොඳම කාලය වාර්තා කිරීමට සමත් විය.

එම දස්කම් නිසාවෙන් 2012 ඔලිම්පික් තරගාවලියට තේරී පත්වූ ඔහු Usain Bolt හට පමණක් දෙවැනි වෙමින් මීටර් 100 සහ 200 ඉසව්වල රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වූ අතර එම වසරේම අවසානයේ දී පැවති “Athletissima Diamond League” තරගාවලියේ දී මීටර් 100 ඉසව්ව තත්පර 9.69ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වට වාර්තා වී ඇති දෙවන හොඳම කාලය වූ ඇමරිකානු ක්‍රීඩක ටයිසන් ගේ සටහන් කර තිබූ කාලය සමකිරීමට සමත් විය.

Usain Bolt- තත්පර 9.58

ජැමෙයිකාව නියෝජනය කරමින් කෙටි දුර ධාවනයට පිවිසි Usain Bolt 2008 වසරේ පැවති “Reebok Grand Prix” තරගාවලියේ දී මීටර් 100 ඉසව්ව තත්පර 9.72ක කාලයකින් අවසන් කරමින් එවකට තිබූ ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් විය.

Image Courtesy: Getty Images

එම ජයග්‍රහණයෙන් පසුව ලොව පුරා අවධානය දිනා ගැනීමට සමත් වූ ඔහු, 2008 වසරේ පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්ව තත්පර 9.69ක කාලයකින් ද, මීටර් 200 ඉසව්ව තත්පර 19.30ක කාලයකින් ද අවසන් කරමින් එම ඉසව්වන්හී ලෝක වාර්තාවන් අලුත් කිරීමට සමත් විය.

එම ජයග්‍රහණවලින් අනතුරුව කෙටි දුර ධාවන පිටිය තම නාමය යටතට ලියා ගැනීමට සමත් වූ ඔහු 2009 වසරේ පැවති ලෝක ශූරතාවලියේ මීටර් 100 ඉසව්ව තත්පර 9.58ක කාලයකින් ද, මීටර් 200 ඉසව්ව තත්පර 19.19ක කාලයකින් ද අවසන් කරමින් එම ඉසව්වන් සඳහා ඔහු විසින් පිහිටුවා තිබූ ලෝක වාර්තා අලුත් කිරීමට සහ එම ඉසව්වන් සඳහා මෙතෙක් වාර්තා වී ඇති වේගත්වම කාලයන් වාර්තා කිරීමට සමත් විය.

එම ජයග්‍රහණවලින් අනතුරුව කෙටි දුර ධාවන පිටියේ ආධිපත්‍ය සිය නාමය යටතට ගැනීමට බෝල්ට් සමත් වූ අතර දශකයට ආසන්න කාලයක් කෙටි දුර ධාවන පිටියේ දැක්වූ දස්කම් නිසාවෙන් ලොව වේගවත්ම මිනිසා මෙන්ම එතෙක් මෙතෙක් කෙටි දුර ධාවන පිටියේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා ලෙස ද ඔහුව හඳුන්වනු ලබයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<