ආණ්ඩුකාර කුසලානය United Southern කණ්ඩායමට

ආණ්ඩුකාර කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

271

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වූ ‘2022 ආණ්ඩුකාර කුසලාන’ (Governor’s Trophy) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) පැවැත්වුණේ මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දීයි.

එම අවසන් මහා තරගයේ දී Leo ක්‍රිකට් සමාජය කඩුලු 5කින් පරාජය කරමින් 2022 ආණ්ඩුකාර කුසලානය ජයග්‍රහණය කරන්නට United Southern ක්‍රීඩකයින් සමත් වුනා.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී Leo කණ්ඩායම විසින් පසුගිය තරගාවලියේ අනුශූරයින් වූ ආදි ධර්මපාල ක්‍රීඩකයින් පරාජය කරමින් සහ United ක්‍රීඩකයින් පසුගිය වතාවේ ශූරයින් වූ මැලේ ක්‍රීඩා සමාජය පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

අවසන් මහා තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් Leo කණ්ඩායමට සුපුරුදු දස්කම් දැක්වීමට නොහැකි වූ අතර ඔවුන් පන්දුවාර 46.1 අවසානයේ සියල්ලන් දැවී ලබා ගත්තා ලකුණු 169ක් පමණයි.

Leo ක්‍රීඩා සමාජය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් නායක ගිහාන් ද සොයිසා පන්දු 46ක් තුළ ලකුණු 31ක් ලබා ගැනීමට සමත් වූ අතර හංසජ විශ්වජිත් පන්දු 52ක්  තුළ ලකුණු 27ක් ලබා ගත්තා.

ඔවුන්ට අමතරව ප්‍රිමාශ් ඔබ්‍රිස් ලකුණු 25ක්, රසින්ඳු ප්‍රනාන්දු ලකුණු 22ක් සහ නිශාන් ජයමාල් ලකුණු 21ක් ලබා ගත් අතර වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසු කිරීමට හැකි වුනේ නැහැ.

පන්දු යැවීමේ දී United වෙනුවෙන් රුසිර සිල්වා ලකුණු 17කට කඩුලු තුනක් සහ අතුළ සෙනරත්න ලකුණු 30කට කඩුලු තුනක් දවා ගැනීමට සමත් වූ අතර රුසිරු රාජපක්ෂ ලකුණු 29කට කඩුලු දෙකයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 170ක ඉලක්කයක් හඹා ගිය United ක්‍රීඩකයින් පන්දුවාර 41.1ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ලකුණු සීමාව පසු කරන්නට සමත් වුනා.

United කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් මෙන්ඩිස් පන්දු 90ක් තුළ හතරේ පහර 9ක් සමඟින් ලකුණු 61ක් ලබා ගනිද්දී, කණ්ඩායමේ අනෙක් අර්ධ ශතක ලාභියා වූ වෝශිත අමරසිංහ පන්දු 69ක් තුළ ලකුණු 51ක් ලබා ගත්තා.

එමෙන්ම සිය කණ්ඩායම වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ නායක තරිඳු නිර්මාල් නොදැවී ලකුණු 31ක් ලබා ගැනීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී Leo ක්‍රීඩා සමාජය වෙනුවෙන් හංසජ විශ්වජිත් ලකුණු 30කට කඩුලු දෙකක් දවා ගනිද්දී, ගිහාන් ද සොයිසා සහ ශෙහාන් ප්‍රනාන්දු අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව තරගය කඩුලු 5කින් ජයග්‍රහණය කරමින් 2022 ආණ්ඩුකාර කුසලානය ජයග්‍රහණය කිරීමට United Southern කණ්ඩායමට හැකි වුනා.

Leo CC – 169/10 (46.1): ගිහාන් ද සොයිසා 31, හංසජ විශ්වජිත් 27, ප්‍රිමාශ් ඔබ්‍රිස් 25, රුචිර සිල්වා 3/17, අතුළ සෙනරත්න 3/30.

United Southern CC – 170/5 (41.1): පැතුම් මෙන්ඩිස් 61, වෝශිත අමරසිංහ 51, තරිඳු නිර්මාල් 31*, හංසජ විශ්වජිත් 2/30.

United Southern කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<