රංගනගේ රංගනයට අකිලගෙන් ජවය; ශ්‍රී ලංකාවට ජය

1335

තනිකරම දඟපන්දු යවන්නන්ගේ තරගයක් බවට පත් වූ අවසාන ටෙස්ට් තරගයේ දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 215ක ජයක් ලැබූ සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දෙරට අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙසින් ජය ගැනීමට අද (10) සමත් වූයේ තරගය නිමා වීමට තවත් දින දෙකක් ඉතිරිව තිබිය දී ය.

[rev_slider LOLC]

මිර්පුර් ක්‍රීඩාංගණ තණතිරූවට දින දෙකක විවේකයක් ලබා දුන් තරගයේ අවසාන දිනයේ දෙපිළේ කඩුලු 12ක් බිඳ වැටුණ අතර ඒ සියල්ලේම හිමිකාරීත්වය දඟපන්දු යවන්නෝම සතු විය.

දෙවැනි ඉනිමේ තෙවැනි දිනයේ දී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 339ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 123ක් පමණි. තරගයේ තෙවැනි දිනය ආරම්භ වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 200ක්ව තිබිය දී ය. ඒ වන විට ද  ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වාසවන්තම පිතිකරුවා බවට පත් වෙමින් සිටි රොෂේන් සිල්වා සමඟ පිටියේ රැඳී සිටියේ සුරංග ලක්මාල් ය. ඔවුන් දෙදෙනා අතර නව වැනි කඩුල්ලේ සබඳතාව  48ක්ව තිබිය දී සුරංග ලක්මාල් (21) තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ ගැටීම නිසා දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 226ක්ව තිබුණි.

අනතුරුව පිටියට පිවිසි රංගන හේරත් තමන් මුහුණ දුන් පළමු පන්දුවේ දී ම දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමිනි. ශ්‍රී ලංකා ඉනිම එතෙකින් අවසන් වෙන විට රොෂේන් සිල්වා පන්දු 145කට මුහුණ දී හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 70ක් ලබා සිටියේය.

පිතිකරණයට අසීරු තණතිල්ලක ඉනිම දෙකේ දී ම අර්ධ ශතක රැස් කළ රොෂේන් සිල්වා අවසන් ටෙස්ට් තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණි. පෙර තරගයේ දී ද ශතකයක් රැස් කිරීම ද හේතු කාරණා වෙමින් ඔහු තරගාවලියේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ය.

රොෂේන් නැවත ගැලවුම්කරු වෙයි; ශ්‍රී ලංකාව ලකුණු 312ක් ඉදිරියෙන්

මිර්පූර් පිටිය නැවත වතාවක් පන්දු යවන්නන්ටම යෝග්‍ය පිටියක් බැව් අනාවරණය කරමින් බංග්ලාදේශ – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ……

බංග්ලාදේශ දෙවැනි ඉනිමේ විනාශකාරීන් වූයේ රංගන හේරත් සමඟ අකිල ධනංජය ය. පළමු ඉනිමේ කිසිදු කඩුල්ලක් නොමැතිව ලතැවෙමින් සිටි රංගන හේරත් බංග්ලාදේශ ඉනිමේ පළමු පෙළ විනාශ කරමින් පන්දු යැවීමේ නිරත වූයේ තම කෝඩුකාර දඟපන්දු යවන්නාට ද අපූරු උපදෙස් සේ ම සහයෝගයක් ලබා දෙමිනි. අකිල බංග්ලාදේශ මැද පෙළ සහමුලින්ම විනාශ කර දමමින් දිනයේ කැපී පෙණෙන ශ්‍රී ලාංකික පන්දු යවන්නා විය.

බංග්ලාදේශ දෙවැනි ඉනිමේ ලකුණු පුවරුව 3ක්ව තිබිය දී පළමු කඩුල්ල දවා ගැනීමට දිල්රුවන් සමත් විය. ඒ  තමීම් ඉක්බාල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමිනි. එම දැවී යෑමෙන් අනතුරුව ඉම්රුල් කයිස් සහ මොමිනුල් හක් එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 46ක් සබඳතාවක් ගොඩ නැගුවේ ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ලෙසිනි. කයිස් පන්දු 22ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟ ලකුණු 17ක් ලබා සිටිය දී රංගන හේරත්ගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක නිරෝෂණ් දික්වැල්ල අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය.

එම ආකාරයෙන් ම තෙවැනි කඩුල්ල ලෙසින් මොමිනුල් හක් දවා ගැනීමට රංගන සහ නිරොෂණ සමත් විය. බංග්ලාදේශ දෙවැනි ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ මොමිනුල් ලබාගත් ලකුණු සංඛ්‍යාව 33කි. ඒ සඳහා ඔහු පන්දු 47කට මුහුණ දී හතරේ පහර 3ක් එල්ල කර තිබුණි.

රංගන හේරත් සමඟ හරි හරියට පන්දු යැවූ කෝඩුකාර අකිල ධනංජය දෙවැනි ඉනිමේ කඩුලු දඩයම ආරම්භ කළේ ලිටන් දාස් දවා ගනිමිනි. ඊට පසුව දෙවැනි ඉනිමේ දී ද බංග්ලාදේශ නායක මහමුදුල්ලා ගොදුරු කර ගැනීමට අකිල ධනංජය සමත් විය.

තරගයේ 25 වැනි පන්දු වාරයේ අවසන් පන්දුවේ දී එතෙක් කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ක්‍රීඩා කළ මුස්ෆිකර් රහීම්ගේ ඉනිම අවසන් කිරීමට රංගන හේරත් සමත් විය. ඒ වෙද්දී ඔහු පන්දු 51කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 25ක් ලබා සිටියේය.

ඊට පසුව අකිල ධනංජය විසින් යැවුණ පළමු පන්දුවේ දී සබීර් රහමන් (01) දවා ගත් අකිල එම පන්දු වාරයේම සිව්වැනි පන්දුවේ දී අබ්දුර් රසාක් (02) ද දවා ගැනීමට සමත් විය. ඉන් අනතුරුව මෙහෙදි හසන් (07) සහ තයිජුල් ඉස්ලාම් (06) ගේ කඩුලු ද රංගන සහ අකිල අතර බෙදී ගියහ.

බංග්ලාදේශ ඉනිමේ දැවී ගිය සෑම කඩුල්ලකම හිමිකාරිත්වය දඟපන්දු යවන්නන් වීම විශේෂත්වයක් ගත්තේය.  ඒ අකිල ධනංජයට කඩුලු 5ක්, රංගන හේරත්ට 4ක් සහ දිල්රුවන් පෙරේරාට කඩුල්ලක් ලෙසිනි.

අකිල ධනංජය සිය මංගල ටෙස්ට් තරගයේ දී ම කඩුලු 5ක් දවා ගනිමින් එම දක්ෂතාව කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් අතර තෙවැනියා බවට අද තරගයේ දී පත්විය. මීට පෙර මංගල තරගයේ දී ම එවැනි දක්ෂතාවක් දක්වා තිබුණේ 1986 වසරේ දී පාකිස්තානයට එරෙහි වූ කෝසල කුරුප්පුආරච්චි සහ 1999 වසරේ දී පාකිස්තාන කණ්ඩායමටම එරෙහිවූ උපුල් චන්දනයි. තරගය අවසානයේ අකිලගේ පන්දු යැවීම සටහන් වූයේ 5-1-24-5ක් ලෙසිනි.

ඉදිරිපෙළ පිතිකරුවන් තිදෙනෙක් සහ පසු පෙළ පිතිකරුවෙක් දවාගත් රංගන හේරත් අද ටෙස්ට් වාර්තා පොතේ අංක එක බවට පත් වූයේ වමත් පන්දු යවන්නෙක් විසින් ලබා ගත් වැඩිම කඩුලු ප්‍රමාණයේ වාර්තාව තමන් සන්තක කර ගනිමිනි. රංගන හේරත් අද ලබා ගත් කඩුලු 4ත් සමඟින් කඩුලු 415ක් ලබා ගත්තේය. මීට පෙර මෙම වාර්තාවේ හිමිකාරිත්වය පාකිස්තානයේ වසීම් අක්‍රම් සතුවය. ඒ කඩුලු 414ක් ලබා ගනිමිනි.

ඉන්දියාවට 2021 ශූරයින්ගේ කුසලානයේ සත්කාරකත්වය අහිමි වන ලකුණු

ඊයේ (09) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පැවති කමිටු රැස්වීමකින් අනතුරුව ඔවුන් නිවේදනය කර සිටියේ 2021 වසරේ…..

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මේ මස 15දා ආරම්භ වීමට නියමිත ය.

ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 222 (65.3) : කුසල් මෙන්ඩිස් 68, ධනංජය ද සිල්වා 19, රොෂේන් සිල්වා 56, දිල්රුවන් පෙරේරා 31, අකිල ධනංජය 20, අබ්දුර් රසාක් 4/63, තයිජුල් ඉස්ලාම් 4/83, මුස්ටෆිසුර් රහමන් 2/17

බංග්ලාදේශය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 110 (45.4) : ඉම්රුල් කයිස් 19, ලිටන් ඩාස් 25, මෙහෙදි හසන් 38,  සුරංග ලක්මාල් 3/25, දිල්රුවන් පෙරේරා 2/32, අකිල ධනංජය 3/20

ශ්‍රී ලංකාව; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 226 (73.5) : දිමුත් කරුණාරත්න 32, ධනංජය ද සිල්වා 28, දිනේෂ් චන්දිමාල් 30, රොෂේන් සිල්වා නොදැවී 70, සුරංග ලක්මාල් 21, මුස්ටෆිසුර් රහමන් 3/49, තයිජුල් ඉස්ලාම් 4/76, මෙහෙදි හසන් 2/37

බංග්ලාදේශය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 123 (29.3) :මොමිනුල් හක් 33, මුෂ්ෆිකුර් රහීම් 25, රංගන හේරත් 4/49, අකිල ධනංජය 5/24

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<