ගැමුණු හේවා බලකාය සහ සේවා බලකාය අවසන් මහා තරගයට

815

බුද්ධි අංශ සේවා බලකා කණ්ඩායම (MIC) පරාජයට පත්කරමින් ගැමුණු හේවා බලකා කණ්ඩායමත් (GW), ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායම (SLAC) පරාජයට පත්කරමින් ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකා කණ්ඩායමත් (SLASC) 2017 ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

SLASC, SLAC, MIC සහ GW කණ්ඩායම් අවසන් පූර්ව වටයට

2017 ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු තරගාවලියේ පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරග ජය ගත් ශ්‍රී ලංකා යුද හමුදා…

SLASC – SLAC (පළමු අවසන් පූර්ව තරගය)

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පැවතියේ ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකා කණ්ඩායම (SLASC) සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායම (SLAC) අතරයි. කැලණිය පාපන්දු සංකීර්ණයේ දී පැවති මෙම තරගය ඉතා තියුණු තරගයකින් අනතුරුව ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය කරනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකා කණ්ඩායම යි.

ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකා කණ්ඩායම තරගාවලියේ පළමු වටය ලකුණු 10ක් ලබා ගනිමින් A කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගනිමින් අවසන් කිරීමට සමත් විය. එහි දී ඔවුන් තරග 3ක් ජයග්‍රහණය කළ අතර එක් තරගයක් ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. ඉන් අනතුරුව තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී ඔවුන් ඉතා තියුණු තරගයකින් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම (SLLI) ගෝල 1-0ක් ලෙස පරාජයට පත්කිරීමට සමත් විය. එහි දී ජයග්‍රාහී ගෝලය වාර්තා කර ගනු ලැබුවේ සමීල් තුලායිබ් විසිනි.

අනෙක් පසින් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායම ද පළමු වටයේ දී ජයග්‍රහණ 3ක් සමඟින් ලකුණු 9ක් වාර්තා කර ගනිමින් B කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගැනීමට සමත් විය. අනතුරුව ඔවුන්  අර්ධ අවසන් පූර්ව වටයේ දී ශ්‍රී ලංකා යුදෝපකරණ බලකා කණ්ඩායම (SLAOC) දඬුවම් පහර වටයේ දී ගෝල 4-3ක් ලෙස පරාජයට පත්කරනු ලැබීය.

Photos : SLASC v SLAC – SF1 (Army Inter Regiment Football Tournament 2017)

තරගයේ ආරම්භයේ පටන් ප්‍රතිවාදීන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරන්නට ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකා කණ්ඩායම සමත් වූ නමුත් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයේ දී මෙන් දැඩි ආරක්‍ෂාකාරී ක්‍රීඩා විලාශයක් අනුගමනය කරනු ලැබුවේ තරගය දඬුවම් පහර වටයට රැගෙන යාමේ අරමුණිනි.

මිනිත්තු 60ක පමණ කාලයක් දක්වා ඔවුන්ගේ එම උපක්‍රමය සාර්ථක වුවත්  ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකා කණ්ඩායමේ විමුක්ති බණ්ඩාර ඔවුන්ගේ ආරක්‍ෂක ක්‍රීඩකයින් පසුකර යමින් ගෝලයක් වාර්තා කර ගැනීමට සමත් විය.

ඉන් අනතුරුව තරගයේ 74 වන මිනිත්තුවේ දී ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායමේ කේ. සී. මදුසංක හට සිය දෙවැනි කහ කාඩ්පත නිකුත් වූ අතර ඒ අනුව ඔහුව පිටියෙන් ඉවත් කෙරුණේ ඔවුන්ට තරගයේ ලකුණු තත්වය සම කිරීමට තිබූ අවස්ථාවන් තවත් අවම කරමිනි. ඒ අනුව තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ තරගයේ ලකුණු තත්වයේ කිසිදු වෙනසක් සිදුවූයේ නැත.

ගෝල ලාභීන්

  • SLASC – විමුක්ති බණ්ඩාර 60’

GW – MIC (දෙවන අවසන් පූර්ව තරගය)

තරගාවලියේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගය පැවතියේ ගැමුණු හේවා බලකා කණ්ඩායම (GW) සහ බුද්ධි අංශ සේවා බලකා කණ්ඩායම (MIC) අතරයි. පසුගිය වසරේ දී තරගාවලියේ අවසන් මහා තරගයේ දී ගැමුණු හේවා බලකා කණ්ඩායම පරාජයට පත්කරමින් ශූරතාවය දිනා ගන්නට බුද්ධි අංශ සේවා බලකා කණ්ඩායම සමත් වූ අතර ඒ තත්වය වෙනස් කරමින් මෙම තරගය ගෝල 3-0ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කරන්නට ගැමුණු හේවා බලකා කණ්ඩායම සමත් විය.

බුද්ධි අංශ සේවා බලකා කණ්ඩායම තරගාවලියේ පළමු වටයේ දී ජයග්‍රහණ 2ක් සහ එක් ජය පරාජයෙන් තොර තරගයක් සමඟින් ලකුණු 7ක් වාර්තා කර ගනිමින් B කාණ්ඩයේ දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය. අනතුරුව අර්ධ අවසන් පූර්ව වටයේ දී ඔවුන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව (SLNG) ගෝල 1-0ක් ලෙස පරාජයට පත්කරන්නට සමත් විය.

අනෙක් පසින් ගැමුණු හේවා බලකා කණ්ඩායම පළමු වටයේ දී තරග 3කින් 2ක් ජයග්‍රහණය කරමින් ලකුණු 6ක් සමඟින් D කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය. අනතුරුව ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයේ දී ඉංජිනේරු සේවා බලකා කණ්ඩායම (CES) ගෝල 3-0ක් ලෙස පහසුවෙන් පරාජයට පත්කරන ලදි.

Photos : MIC v GW – SF2 (Army Inter Regiment Football Tournament 2017)

බුද්ධි අංශ සේවා බලකා කණ්ඩායම තුළ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම මෙන්ම ප්‍රිමියර් ලීග් තරගාවලිය ද නියෝජනය කරන ක්‍රීඩකයින් කිහිප දෙනක්ම ක්‍රීඩා කළ නිසා තරගයේ වැඩි වාසිය ඔවුන් සතු විය. කෙසේ නමුත් නිසි සැලැස්මකට අනුව මුළු තරගයම ක්‍රීඩා කළ ගැමුණු හේවා බලකා කණ්ඩායම පසුගිය වසරේ ශූරතාවය දිනාගත් බුද්ධි අංශ සේවා බලකා කණ්ඩායම පහසුවෙන් පරාජයට පත්කරන්නට සමත් විය.

ගැමුණු හේවා බලකා කණ්ඩායමේ ආර්. කේ. රාමනායක තරගයේ 30 වන මිනිත්තුවේ දී ලකුණු ලබා ගැනීම ආරම්භ කරමින් තරගයේ පළමු ගෝලය වාර්තා කරගත් අතර ඉන් මිනිත්තු 5කට අනතුරුව ඔහු තරගයේ දෙවන ගෝලය ද වාර්තා කර ගැනීමට සමත් විය. කෙසේ නමුත් තරගයේ දෙවන අර්ධයේ දී බුද්ධි අංශ සේවා බලකා කණ්ඩායම ඔවුන්ගේ සැලසුම් වෙනස් කරනු ලැබුවත් ඒවා සාර්ථක වූයේ නැත. ඒ අනුව ඔවුන් අතින් සිදු වූ අතපසු වීමකින් ප්‍රයෝජන ලබාගත් ගැමුණු හේවා බලකා කණ්ඩායමේ එස්. පී. සිරිසෝම තම කණ්ඩායමේ තෙවැනි ගෝලය වාර්තා කර ගත්තේ ගැමුණු හේවා බලකා කණ්ඩායමට තරගයෙන් පහසු ජයග්‍රහණයක් හිමිකර දෙමිනි.

ගෝල ලාභීන්

  • GW – ආර්. කේ. රාමනායක 30’ සහ 35’, එස්. පී. සිරිසෝම 65’

තරගාවලියේ අවසන් මහා තරගය මෙම මස 9 වන දින ප.ව. 6.30 ට තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට