SLASC, SLAC, MIC සහ GW කණ්ඩායම් අවසන් පූර්ව වටයට

223
SLASC, SLAC, MIC & GW into semi finals

2017 ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු තරගාවලියේ පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරග ජය ගත් ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය (SLASC), ශ්‍රී ලංකා සන්නාහ හා සන්නද්ධ බලකා කණ්ඩායම (SLAC), බුද්ධි අංශ සේවා බලකා කණ්ඩායම (MIC) සහ ගැමුණු හේවා බලකා කණ්ඩායම (GW) තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

අන්තර් රෙජිමේන්තු තරගාවලියේ පළමු වටය අවසන්

සති 3ක කාලයක් පුරා පැවති ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු තරගාවලියේ පළමු වටය අවසන් කරමින් කණ්ඩායම් 8ක් එහි අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය.

SLASC – SLLI (පළමු අර්ධ අවසන් පූර්ව තරගය)

ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම (SLLI) ගෝල 1-0ක් ලෙස පරාජයට පත්කළ ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකා කණ්ඩායම (SLASC) තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. තරගය පැවැත්වුණේ කැලණිය පාපන්දු සංකීර්ණයේ දී ය.

තරගයේ ආරම්භක මිනිත්තු කිහිපයේ දී ම ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකා කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කර ගන්නට තුවාන් සමීල් සමත් විය. ඉන් අනතුරුව තරගයේ ලකුණු තත්වය සම කරන්නට ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම දැඩි උත්සාහයක නිරත වුවත් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ද ක්‍රීඩා කරන ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකා කණ්ඩායම ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් ලබා දුන්නේ නැත.

ගෝල ලාභීන්

SLASC – තුවාන් සමීල් 6’


SLAC – SLAOC (දෙවන අර්ධ අවසන් පූර්ව තරගය)

ශ්‍රී ලංකා සන්නාහ හා සන්නද්ධ බලකා කණ්ඩායම (SLAC) සහ ශ්‍රී ලංකා යුදෝපකරණ බලකා කණ්ඩායම (SLAOC) අතර කැලණිය පාපන්දු සංකීර්ණයේ දී පැවති අර්ධ අවසන් පූර්ව තරගයේ නියමිත කාලය තුළ දී කණ්ඩායම් දෙකම ගෝල රැස්කර ගැනීමට අපොහොසත් වූ අතර ඒ අනුව එහි දී පැවති දඬුවම් පහර වටය ගෝල 4-3ක් ලෙස ජය ගත් ශ්‍රී ලංකා සන්නාහ හා සන්නද්ධ බලකා කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

තරගයේ ආරම්භයේ පටන්ම ශ්‍රී ලංකා සන්නාහ හා සන්නද්ධ බලකා කණ්ඩායම අනුගමනය කරනු ලැබුවේ ආරක්‍ෂාකාරී ක්‍රීඩා විලාශයකි. ඒ අනුව ශ්‍රී ලංකා යුදෝපකරණ බලකා කණ්ඩායමට කිසිදු ගෝලයක් වාර්තා කර ගැනීමට ඔවුන් අවස්ථාවක් ලබා නොදුන් අතර අත්දැකීම් බහුල ගෝල රකින ක්‍රීඩකයෙක් වූ මොහොමඩ් අජිමාල් ඔවුන් සතුව සිටීම නිසා තරගය දඬුවම් පහර වටය වෙත රැගෙන යාම ඔවුන්ට වාසිදායක විය.

ඒ අනුව දඬුවම් පහර වටයේ දී අජිමාල් ප්‍රතිවාදී කණ්ඩායමේ උත්සාහයන් දෙකක් වළකාලීමට සමත් වූයේ ඔවුන්ගේ සැලසුම් සාර්ථකත්වයට පත් කරමිනි. ගෝල 4-3ක් ලෙස දඬුවම් පහර වටය ජය ගත් ශ්‍රී ලංකා සන්නාහ හා සන්නද්ධ බලකා කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ගෝල ලාභීන්

  • SLAC – ඩී. අබේරත්න (P), ඩී. විනෝදන් (P), එච්. බණ්ඩාරගොඩ (P), ඒ. ඩී. ප්‍රියන්ත (P)
  • SLAOC – එල්. ඩී. රුක්ෂාන් (P), පී. ජී. වික්‍රමතන්ත්‍රි (P), සුරාජ් බර්නාඩ් (P)

MIC – SLNG (තෙවන අර්ධ අවසන් පූර්ව තරගය)

ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව (SLNG) ගෝල 1-0ක් ලෙස පරාජයට පත්කළ බුද්ධි අංශ සේවා බලකා කණ්ඩායම (MIC) තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. එමෙන්ම මෙම තරගයේ දී ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු කණ්ඩායමේ ක්‍රීඩකයෙක් රතු කාඩ්පතකට ද ලක්විය.

පසුගිය වසරේ ශූරයින් බවට පත්වූ බුද්ධි අංශ සේවා බලකා කණ්ඩායම තුළ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම නියෝජනය කරන ඉදිරිපෙළ ක්‍රීඩකයින් දෙදෙනෙක් ක්‍රීඩා කළ අතර ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු කණ්ඩායම තුළ ද යුද හමුදා කණ්ඩායම නියෝජනය කරන පසුපෙළ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම ක්‍රීඩා  කළේය.

තරගයේ පළමු අර්ධයේ දී කණ්ඩායම් දෙකම කිසිදු ගෝලයක් වාර්තා කර ගැනීමට අපොහොසත් වූ අතර දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 5ක කාලයක් ගතවෙද්දී තරගයේ ජයග්‍රාහී ගෝලය වාර්තා කර ගන්නට බුද්ධි අංශ සේවා බලකා කණ්ඩායමේ එම්. සී. ප්‍රියදර්ශන සමත් විය. අනතුරුව ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු කණ්ඩායමේ ‘Center-back’ ස්ථානයේ ක්‍රීඩා කළ අසිකුර් රහුමාන් හට ඔහු සිදු කළ දෙවන වරදට විනිසුරුවරයා රතු කාඩ්පතක් නිකුත් කිරීම හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත්ව යාමට සිදු විය.

ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් වුවද තරගයේ ලකුණු තත්වය සම කරන්නට ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු කණ්ඩායම දැඩි උත්සාහයක් දැරුවත් ප්‍රතිවාදීන් ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් ලබා දුන්නේ නැත.

ගෝල ලාභීන්

  • MIC – එම්. සී. ප්‍රියදර්ශන 50’

GW – CES (සිව්වන අර්ධ අවසන් පූර්ව තරගය)

ඉංජිනේරු සේවා බලකා කණ්ඩායම (CES) ගෝල 3-0ක් ලෙස පහසුවෙන් පරාජයට පත්කළ ගැමුණු හේවා බලකා කණ්ඩායම (GW) තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.  

තරගයේ පළමු අර්ධය අවසානයේ ගෝල 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට ගැමුණු හේවා බලකා කණ්ඩායම සමත් විය. එහි දී එච්. ජී. ශාන්ත සහ ඩී. එස්. ගුණසිංහ ගෝල වාර්තා කර ගන්නා ලදි. අනතුරුව තරගයේ දෙවන අර්ධයේ දී තම දෙවන ගෝලය වාර්තා කර ගත් ඩී. එස්. ගුණසිංහ පසුගිය වසරේ අනුශූරයින් බවට පත්වූ ගැමුණු හේවා බලකා කණ්ඩායමට පහසු ජයග්‍රහණයක් හිමි කර දීමට සමත් විය.

ගෝල ලාභීන්

  • GW – එච්. ජී. ශාන්ත 29’, ඩී. එස්. ගුණසිංහ 31’ & 75’

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට