පිළියන්දල මැදි විදුහල 06 වන වරටත් එක්දින ශූරයන් වෙයි

125

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය අතර ‘සල්පිටි රයිගම් කෝරළ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවති 07 වැනි එක්දින තරගය කඩුලු 7කින් ජය ගැනීමට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය ඊයේ (01) දින සමත් විය. 

ඒ අනුව පැවති එක්දින තරග 7න් 6ක ජය පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට හිමි වූ අතර එක් තරගයක් වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන්ව තිබේ. 

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් හොරණ තක්‍ෂිලා මැදි විදුහලට පන්දුවාර 47.3 ක දී සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 199ක් පමණි. දේශාන් දිල්මිත් අර්ධ ශතකයක් වාර්තා කර ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර චමිඳු රන්විනු, එරන්ද ජයකොඩි සහ සෙනෙත් වින්විනු ද පිළියන්දල මධ්‍ය විද්‍යාල පන්දු යවන්නට එරෙහිව තක්‍ෂිලා මැදි විදුහල් ලකුණු පුවරුව ඉහළ දැමීමට දායක වූහ. 

සඳුන් සත්සර සිය නියමිත පන්දුවාර දහය තුළ ලකුණු 31ක් පමණක් ප්‍රතිවාදී කණ්ඩායමට ලබා දෙමින් කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. ඔහුට සහය වූ සසංක ලක්ෂාන් පන්දුවාර 8කුත් පන්දු 3ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 30කට කඩුලු 3ක් දවා ගනිමින් තක්‍ෂිලා මැදි විදුහල් ඉනිම අඩපණ කිරීමට දායක විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 200ක ඉලක්කයක් හඹා ගිය පිළියන්දල මැදි විදුහල් පිතිකරුවෝ පන්දුවාර 41කුත් පන්දු 4ක් අවසානයේ දී කඩුලු 3ක් පමණක් දැවී පහසුවෙන්ම සිය ඉලක්කය පසු කිරීමට සමත් වූහ. නායකත්වයේ ඉනිමක් දියත් කළ චමෝද් සඳරු නොදැවී ලකුණු 73*ක් රැස්කර ගනිමින් දස්කම් දක්වන විට අශේන් රොද්‍රිගූ අර්ධ ශතකයක් වාර්තා කර ගනිමින් පිළියන්දල මැදි විදුහල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වූහ. 

පන්දු 81කට මුහුණ දී හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 73ක් රැස්කර ගැනීමට චමෝද් සඳරු සමත්වූ අතර පන්දු 93ක දී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 52ක් රැස්කර ගැනීමට අෂේන් රොද්‍රිගූ සමත් විය. ඔවුන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 121ක දී ගොඩනැගූ සබඳතාවය ලකුණු 88කි. 

තරගයේ දක්ෂතම ක්‍රීඩකයා සහ හොඳම පිතිකරුවා යන සම්මාන ද්විත්වය දිනා ගැනීමට පිළියන්දල මධ්‍ය විදුහල් කණ්ඩායමේ නායක චමෝද් සඳරු සමත් වූ අතර හොඳම පන්දු යවන්නා ලෙස එම විදුහලේම සඳුන් සත්සර සම්මාන දිනා ගන්නා ලදි. තක්‍ෂිලා මැදි විදුහල් කණ්ඩායම් නායක චමිඳු රන්විනු මෙම එක්දින මහා තරගයේ හොඳම පන්දු රකින්නා ලෙස සම්මාන දිනා ගත්තේය. 

තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය : 199 (47.3) දේශාන් දිල්මිත් 54, චමිඳු රන්විනු 31, එරන්ද ජයකොඩි 26, සෙනෙත් වින්විනු 20*, සඳුන් සත්සර 4/31, සසංක ලක්ෂාන් 3/30.   

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය : 204/3 (41.4) චමෝද් සඳරු 73, අශේන් රොද්‍රිගූ 52, ගමිත් දිල්ෂාන් 20. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<