සමස්ත ලංකා පාසල්  පිහිනුම් ශුරතාවලිය දින 3ක් පුරා පැවැත්වූයේ කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදීය. අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධාන කරන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ පළමු අදියරට අදාළ ක්‍රීඩා 6ක් මෙම සති අන්තයේ පැවතී අතර පිහිනුම් තරග ඉන් ප්‍රධාන ස්ථානයක් ගන්නා ලදී.

පසුගිය ලිපි: කැරම් ශූරතාවය අනාස්ට සහ උපේක්ෂාට

මෙවර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ පිහිනුම් තරග සඳහා පාසල් 140කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 1000කට අධිකයි.

නැගී එන විශිෂ්ට පිහිනුම් ක්‍රීඩිකාවක් වන රමුදී සමරකෝන් මෙම තරගාවලියේ පළමු රන් පදක්කම විසාකා විද්‍යාලය වෙනුවෙන් දිනා දෙන්නට සමත් විය. ඒ වයස අවුරුදු 15 න් පහල බාලිකා මීටර් 200 කේවල මිශ්‍ර ආර ඉසව්ව ජය ගනිමිනුයි. කෙසේ වෙතත් මූලික වටයේදී හොඳම කාලය වාර්තා කරමින් බාලිකා මීටර් 50 පසුපස ආර අවසන් තරගයට සුදුසුකම් ලැබූ ඇයට එහිදී දෙවන ස්ථානය හිමිවීම කැපී පෙනුනි. මෙම ඉසව්වේ 15න් පහල ශ්‍රී ලංකා වාර්තාව පවතින්නේද රමුදී සතුවයි.

බාලක තරග අංශයේ පළමු රන් පදක්කම දිනා ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ මනුල කුරේ විසිනි. ඒ වයස අවුරුදු 15න් පහල බාලක මීටර් 200 කේවල මිශ්‍ර ආර ඉසව්වෙනි.

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ ප්‍රබල පිහිනුම් ක්‍රීඩකයෙක් වන අකලංක පීරිස් පළමු දිනය තුල රන් පදක්කම් දෙකක් දිනාගන්නට සමත් විය. ඒ වයස අවුරුදු 17න් පහල බාලක අංශයේ මීටර් 200 මිශ්‍ර ආර කේවල ඉසව්ව සහ මීටර් 50 පසුපස ආර ඉසව්ව ජය ගනිමිනුයි.

පළමු දිනයේ වඩාත්ම අවධානය යොමුවූ ඉසව්ව බවට පත්වූයේ මීටර් 200 මිශ්‍ර ආර සහය පිහිනුම් තරගයි. බාලක අංශයේ ප්‍රබලතම පාසල ලෙස වැඩි දෙනෙක් හඳුන්වන මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය එහි 15න් සහ 19න් පහල ඉසව් දෙකම ජයගත්තේ පිහිනුම් තටාකයේ තම ආධිපත්‍ය තහවුරු කරමිනුයි.

බාලිකා පිහිනුම් කරලියේ මහනුවර මහාමායා විද්‍යාලයට මෑතක සිට දැඩි අභියෝගයක් එල්ල කරන කොළඹ විසාකා විද්‍යාලය, බාලිකා මීටර් 200 මිශ්‍ර ආර සහය පිහිනුම් ඉසව්වන්හි 15න් සහ 19න් පහල රන් පදක්කම් වලට හිමිකම් කියද්දී මහාමායා ක්‍රීඩිකාවන්ට හිමිවූයේ 17න් පහල රන් පදක්කම පමණයි.

මේ අනුව පළමු දිනය අවසන් වනවිට බාලිකා අංශයේ ශූරතා ලකුණු සටහනේ පෙරමුණ ගන්නට විසාකා විද්‍යාලය සමත් විය. ඒ ප්‍රසාද ලකුණු 37ක් සමගිනි. දෙවන ස්ථානයේ පසුවූ මහාමායා ක්‍රීඩිකාවන් ප්‍රසාද ලකුණු 23ක් ලබා සිටින ලදී.

පළමු දිනය තුල ශා. ජෝසප් කණ්ඩායම ප්‍රසාද ලකුණු 28ක් ලබාගෙන බාලක අංශයේ පෙරමුණ ගනිද්දී ආනන්ද සහ ශා. පීතර විදුහල් ලකුණු 21 බැගින් ලබාගෙන සම දෙවන ස්ථානයේ පසුවිය.

අවසන් දිනය තුල තම දෙවන රන් පදක්කම දිනාගත් රමුදී සමරකෝන් විසාකා විද්‍යාලය ශූරතාව වෙත ගෙන යන්නට විශාල දායකත්වයක් ලබා දෙන ලදී. රමුදී අවසන් දිනයේදී දිනා ගත්තේ 15න් පහල බාලිකා මීටර් 100 නිදහස් ආර රන් පදක්කමයි. පළමු දිනයේ දස්කම් අතරට පැමිණීමට නොහැකි වුවත් 17න් පහල බාලිකා මීටර් 100 නිදහස් ආර සහ මීටර් 50 පසුපස ආර රන් පදක්කම් දිනා ගත් විනෝලි කළුආරච්චි කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට ශූරතා ලකුණු සටහනේ ඉදිරියට යාමට සහය විය.

අවසන් දිනයේදීත් බාලක අංශයේ කැපීපෙනෙන ක්‍රීඩකයා බවට පත්වූයේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ අකලංක පීරිස් ක්‍රීඩකයායි. ආසියානු පාසල් පිහිනුම් තරගාවලියේද  රිදී පදක්කම් ලාභී අකලංක තරගාවලිය අවසන් වනවිට කේවල ඉසව් 4ක රන් පදක්කම් තමන් සතුකරගන්නට සමත් විය. ඔහු අවසන් දිනයේ ජයගත්තේ 17න් පහල බාලක මීටර් 100 නිදහස් ආර සහ මීටර් 50 පසුපස ආර ඉසව් ද්විත්වයයි.

19න් පහල බාලක කාණ්ඩයේ ප්‍රබලයන් වූ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ඉමේෂ් චතුරංග සහ නාලන්ද විද්‍යාලයේ ඩිලංක ෂෙහාන් පිලිවෙලින් බාලක මීටර් 50 පසුපස ආර සහ මීටර් 100 නිදහස් ආර රන් පදක්කම් දිනා ගන්නා ලදී.

අනපේක්ෂිත පසුබෑමකට ලක්වූ මහනුවර මහාමායා විද්‍යාලය වෙනුවෙන් කැපී පෙනෙන දස්කමක් ප්‍රකට කලේ විනෝලි සිරිවර්ධන පමණයි. ඇය 19න් පහල බාලිකා මීටර් 50 සමනල ආර සහ මීටර් 50 පසුපස ආර ඉසව් ජය ගන්නට සමත් විය.

අවසන් දිනයේ සවස් වරුව සම්පූර්ණයෙන්ම තම ග්‍රහණයට ගත් කොළඹ විසාකා ක්‍රීඩිකාවන් 15න්, 17න් සහ 19න් පහළ මීටර් 200×4 නිදහස් ආර සහාය ඉසව් සියල්ලේම රන් පදක්කම් දිනා ගන්නා ලදී.

මරදාන ශා.ජෝසප් විද්‍යාලය 15න් පහළ බාලක මීටර් 200×4 නිදහස් ආර සහාය ඉසව්ව ජයගත් අතර එම ඉසව්වේ 17න් පහළ ජයග්‍රහණය වත්තල ලයිසියම් විද්‍යාලයටත් 19න් පහල ජයග්‍රහණය මහනුවර ත්‍රිත්ව විදුහලටත් හිමිවිය. කෙසේ වෙතත් 17න් සහ 19න් පහල ඉසව් දෙකේම රිදී පදක්කම් දිනාගනිමින් ශාන්ත ජෝසප් ක්‍රීඩකයන් ශූරතා ලකුණු සටහනේ තම ආධිපත්‍ය තහවුරු කර ගන්නට සමත් විය. අකලංක පීරිස්ගේ විශිෂ්ට ජයග්‍රහණ හේතුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලය අභිබවා බාලක අනුශූරතාවට හිමිකම් කියන්නට ශා.පීතර කණ්ඩායමට හැකි විය.

කොළඹ විසාකා විද්‍යාලය සිය ප්‍රබලතම ප්‍රතිවාදීන් වූ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයට වඩා ප්‍රසාද ලකුණු දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් ලබා ගනිද්දී කොළඹ සිරිමාවෝ ක්‍රීඩිකාවන් සමස්ත බාලිකා අංශයේ 3වන ස්ථානය දිනා ගන්නා ලදී.

ශූරතා ලකුණු සටහන

බාලිකා අංශය

  • විසාකා විද්‍යාලය – කොළඹ 70
  • මහාමායා විද්‍යාලය – මහනුවර 36
  • සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය – කොළඹ 26
  • හරිශ්චන්ද්‍ර විද්‍යාලය – මීගමුව 17
  • ලයිසියම් ජාත්‍යන්තර පාසල – වත්තල 15
  • කාන්තා විද්‍යාලය – කොළඹ 11
  • ලයිසියම් ජාත්‍යන්තර පාසල – නුගේගොඩ 11
  • ආවේ මරියා කන්‍යාරාමය – මීගමුව 10
  • හිල්වුඩ් විද්‍යාලය – මහනුවර 07
  • ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය – බම්බලපිටිය 06

බාලක අංශය

  • ශා. ජෝසප් විද්‍යාලය – මරදාන 61
  • ශා.පීතර විද්‍යාලය – බම්බලපිටිය 31
  • ආනන්ද විද්‍යාලය – කොළඹ 30.50
  • ලයිසියම් ජාත්‍යන්තර පාසල – වත්තල 21
  • ත්‍රිත්ව විද්‍යාලය – මහනුවර 19
  • රාජකීය විද්‍යාලය – කොළඹ 17
  • නාලන්ද විද්‍යාලය – කොළඹ 12
  • D. S. සේනානායක විද්‍යාලය – කොළඹ 08
  • ලයිසියම් ජාත්‍යන්තර පාසල – රත්නපුර 05
  • ශා. අන්තෝනි විද්‍යාලය – කටුගස්තොට 05

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට