Gautam Gambhir සංක්‍රාන්ති සමයක සිටින ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ධුරය බාර ගනී

58

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු Gautam Gambhir පත් කර තිබෙනවා.

පසුගිය දා නිමා වූ 2024 විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමත් සමඟින් හිටපු ඉන්දීය ප්‍රධාන පුහුණුකරු Rahul Dravid සිය ධුරයට සමු දුන් අතර, ඉන් පසුව Gautam Gambhirට ඉන්දීය පුහුණුකාරීත්වය හිමි වනු ඇති බව බොහෝ දෙනා අනුමාන කළා.

2007 විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම මෙන්ම 2011 එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායමේ ද සාමාජිකයකු වූ Gambhir එම ලෝක කුසලාන අවසන් මහා තරග ද්විත්වයේ ම ඉහළම ලකුණු ලාභියා බවට ද පත් වුනා.

එමෙන්ම ඔහුගේ නායකත්වය යටතේ Kolkata Knight Riders කණ්ඩායම 2012 සහ 2014 වර්ෂවල දී IPL ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, ඔහුගේ උපදේශකත්වය යටතේ Kolkata Knight Riders කණ්ඩායම 2024 IPL ශූරතාව ජයග්‍රහණය කිරීමට ද සමත් වුනා.

මීට අමතරව ඔහු KKR කණ්ඩායමේ උපදේශක තනතුරට පත් වීමට ප්‍රථම 2022 සහ 2023 IPL තරගාවලි ද්විත්වයේ දී Lucknow Super Giants උපදේශක තනතුර දැරූ අතර, Lucknow කණ්ඩායම එම තරගවාර ද්විත්වයේ ම Play-Off වටය වෙත සුදුසුකම් ලබා ගැනීමට සමත් වීමත් විශේෂත්වයක්. නමුත් මේ හැරුණු කොට පුහුණුකරුවකු ලෙස Gautam Gambhir සැලකිය යුතු වගකීම් ඉටු කර නැහැ.

මේ වන විට 42 හැවිරිදි වියේ පසු වන Gambhir නව ඉන්දීය පුහුණුකරු බව BCCI ලේකම් Jay Shah විසින් X (Twitter) හරහා සටහනක් තබමින් තහවුරු කර තිබුණා.

මේ වන විට ඉන්දීය කණ්ඩායම ලෝක ක්‍රිකට් පිටියේ අති සාර්ථක ම කණ්ඩායමක් ලෙස ස්ථාපිත වී ඇති අතර, මෙවර විස්සයි විස්ස ලෝක ශූරයින් බවට පත් වීමට පෙර ඔවුන් එක්දින ලෝක අනුශූරතාව මෙන්ම, ටෙස්ට් ලෝක අනුශූරතාව ද හිමි කර ගැනීමට සමත් වුනා.

මේ වන විට ඔවුන් මීළඟ ලෝක ටෙස්ට් ශූරතාව වෙනුවෙන් සැලසුම් සකස් කරමින් සිටින අතර, Gambhir මෙම සැලසුම්වල ප්‍රධානතම පුරුකක් වනු ඇති.

එමෙන්ම මෙවර ලෝක කුසලානයෙන් පසුව Rohit Sharma, Virat Kohli සහ Ravindra Jadeja විස්සයි විස්ස පිටියට සමු දීමට තීරණය කළ අතර, ඔවුන්ට අමතරව Ravichandran Ashwin සහ Mohommad Shami වැනි ක්‍රීඩකයින් ද තම ක්‍රීඩා දිවියේ අවසන් කාලයට ළඟ වී සිටිනවා. මේ නිසාම Gautam Gambhirට ඉන්දීය කණ්ඩායම සංක්‍රාන්ති සමයක ඉදිරියට රැගෙන යාමේ වගකීම ද හිමි වනවා.

එම වගකීමේ පළමු පියවර  මෙම මස අග දී ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස සහ එක්දින තරග තුන බැගින් සමන්විත ක්‍රිකට් තරගාවලිය හඳුන්වාදිය හැකි.

ලෝක ක්‍රිකට් පිටියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<