සුපිරි වොලිබෝල් තරගාවලියක් මාර්තුවේ

Galaxy Cup Volleyball Championship 2021

171

කොරෝනා වසංගත තත්වය හමුවේ බොහෝමයක් ක්‍රීඩා තරග නොපැවැත්වීමට හෝ කල් දැමීමට පසුගිය කාලයේ දී තරග සංවිධායකයින්ට සිදු වුනා. ඒ හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දක්ෂතා ඔප්නංවා ගැනීමට තිබුණු වටිනා අවස්ථා රැසක් අහිමිව ගියා.

එය එක් ක්‍රීඩාවකට පමණක් නොව මෙරට පැවැත්වෙන සියලු ක්‍රීඩා සඳහා පොදු කරුණක් වුනා. කොහොම වුනත් මෙරට වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සතුටු ගෙන දෙන පුවතක් අද (20) වාර්තා වුනා.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, චීන සමාගමක් වන “BAOSHENG LANKA INVESTMENT” HOLDING PVT LIMITED” සමඟ එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 25න් පහළ වොලිබෝල් තරගාවලියක් වන “Galaxy Cup Volleyball Championship 2021” සඳහා අද දින අවබෝධතා ගිවිසුමකට කොළඹ දී අත්සන් තැබුවා.

කාන්තා සහ පිරිමි යන දෙඅංශයෙන්ම සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය එළඹෙන මාර්තු මාසයේ දී ආරම්භ කිරීමට නියමිතයි.

මෙම අවබෝධතා ගිවිසුම් අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් ඒ. එස්. නාලක මහතා ද, අනුග්‍රාහක ආයතනය වෙනුවෙන් එහි සභාපති FU ZHONGYUE මහතා ද සහභාගී වී සිටියා.

ඊට අමතරව මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ගරු සභාපති, පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කථානායක ආචාර්ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ද, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උපසභාපති කාංචන ජයරත්න මැතිතුමා ද, අනුග්‍රාහක ආයතනයේ සාමාන්‍යාධිකාරී YANG GIN මහතා සහ එහි කළමනාකරු FU CHEN මහතා ද සහභාගි වී සිටියා.  

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<