මෙරටට වොලිබෝල් වසන්තයක් ගෙනා “කාලික වසන්තප්‍රිය”

801
Kalika Wasanthapriya

මෙරට ජාතික ක්‍රීඩාව වූ වොලිබෝල් ක්‍රීඩාවේ සුවිශේෂ චරිත අතර නිතැතින්ම කියැවෙන නමකි, කාලික වසන්තප්‍රිය. පන්දු සකසන්නෙක් සහ ප්‍රහාරක ක්‍රීඩකයෙක් සහ වසර 10ක් නායකත්වයේ ද කටයුතු කරමින් වොලිබෝල් පිටියේ ආධිපත්‍ය දැරූ කාලික ජාතික වොලිබෝල් ශූරයා ලෙසින් ද අවස්ථා ගණනාවක දී ඇගයීමට ලක්ව ඇත. 

මෙරට ක්‍රීඩකයන් අතරින් SAG ක්‍රීඩා උළෙල වැඩිම ප්‍රමාණයක් නියෝජනය කළ ක්‍රීඩකයා ලෙසින් අදටත් සැලකෙන්නේ කාලික ය. දැනට 51 වැනි වියේ පසුවෙන කාලිකගේ වොලිබෝල් ජීවිතයේ ඊයේ, අද සහ හෙට ගැන ThePapare.com තබන සටහනකි මේ.

කාලික වොලිබෝලයට ලොල් වෙන්නේ මව් පාර්ශ්වයේ නෑදෑකමත් අරගෙන. කාලිකගේ මාමා, අම්මගෙ අයියා එම්. ඩී. නයනානන්ද. ඔහු ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ සිටි දක්ෂ ක්‍රීඩකයෙක්. එයා තමයි ඒ පවුලෙන් ශ්‍රී ලංකා සෙල්ලම් කළ පළමුවැනියා. ඔහුට කලින් අම්මගෙ පියා, ඒ පියාගේ පියාත් සහ ඔවුන්ගේ දූ දරුවනුත් කාලිකගේ වොලිබෝල් පරපුරට අයත්. ඒ විතරක් නෙමේ කාලිකගේ අම්මත් හොඳ දක්ෂ වොලිබෝල් ක්‍රීඩිකාවක් කියලයි කියන්නේ. කාලිකගේ පියාත් ශ්‍රී ලංකා යුද හමුදා වොලිබෝල් කණ්ඩායම නියෝජනය කළ කෙනෙක්. 

“වොලිබෝල් කියන දේ අපේ ගෙදරට අමුත්තෙක් වුනේ නැහැ. ගෙදර කොයි පැත්ත බැලුවත් වොලිබෝල්වලට සම්බන්ධ මොනවා හරි තියෙනවා. බෝල්, නෙට්, ලැබූ කුසලාන, එහෙම නැත්නම් වොලිබෝල් ගහන රාමු කරපු පින්තූර, මේ දේවල් තමයි අපි පුංචි දවස්වල ඉඳලම දැක්කේ. එහෙම වුනත් පුංචිම දවස්වල දී ගමේ වොලිබෝල් පිට්ටනිවලට යන එකට ගෙදරින් පුංචි විරෝධයක් තිබුණා. ඒ කල්ලියට වැටිල රස්තියාදු ගහයි කියන බය.”

කාලික පාසල් යන්නේ බෝපේ, රාජසිංහ මහා විද්‍යාලයට. බොහොම අඩු පහසුකම් තිබුණ පාසලක්. ක්‍රීඩාවක් කියල ලොකුවටම කියන්න තරම් දෙයක් තිබිල නෑ. ඔය අතර  ජයසුන්දර රාජපක්ෂ කියන ශාරීරික අභ්‍යාස ගුරුවරයා රාජසිංහයට එනවා. එයා තමයි වල්බිහි වූ පාසල් ඉඩමේ තැනක් සුද්ධ පවිත්‍ර කර ගනිමින් වොලිබෝල් පිටියක් හදා ගන්නේ. එතකොට කාලිකට අවුරුදු 9ක් විතර ඇති.  

“මේක පාසලට අලුත් දෙයක් වුනා. පී.ටී. සර්ට ලොකු උවමනාවක් තිබුණා මේක ඉහළටම ගෙනියන්න. ඒත් අපේ කණ්ඩායම් එහෙම මට්ටමකට තිබුණෙ නැහැ. අපි අවුරුදු ගාණක් පී.ටී. සර් යටතේ ඉගෙන ගත්තා. අඩුම තරමින් කොට්ඨාස තරගවත් දිනන්න බැරි වුනා. ඔය අතර කොළඹ දිස්ත්‍රික් ලුම්බිණි අභියෝගතා ශූරතාව කියලා තරගාවලියක් සංවිධානය වුනා. ඒකට පාසලේ ඕනම වයස් කාණ්ඩයක කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්. අපිත් කණ්ඩායමක් දැම්මා. මම තමයි නායකයා වුනේ. ඒක තමයි රාජසිංහය දිනපු පළමු වැනි තරගාවලිය.” 

මේ වෙනකොට කාලික දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයෙක් ලෙසින් කලඑලි බහින කාලය. පාසල් කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන් කාලික තරමින් දක්ෂතා නොදැක්වීම කාලිකට ලොකු පාඩුවක්. ඒ නිසාම සහභාගී වුන සෑම තරගයක දී ම කාලිකගේ දක්ෂතා කැපී පෙනුණා. ඔය අතර ආසියානු කනිෂ්ඨ තරගාවලියට සහභාගී කරවන ශ්‍රි ලංකා කණ්ඩායම තෝරා ගැනීමට සම්මුඛ පරීක්ෂණ පැවතියා. කාලික ඊට සහභාගි වෙන්නේ තිබුණ වොලිබෝල් උණ නිසා.

Kalika Wasanthapriya
2006දී දකුණු ආසියානු තරගාවලියට සහභාගී වූ කණ්ඩායම

“එතන දී කේ. ඒ. කේ. විජේපාල සර් මුණ ගැහෙනවා. එතුමා ඒ වෙද්දී ජාතික තරුණ සේවා සභාවේ ක්‍රීඩා අධ්‍යක්ෂ ඒ වගේම ජාතික වොලිබෝල් පුහුණුකරු. එතන දී හමු වූ ඒ මහතා මට ජාතික තරුණ සේවා බැඳෙන ලෙස ආරාධනා කරනවා.”

ඒ 1985 වසර. එතැන් සිට කාලිකගේ දක්ෂතා එකතු වෙන්නේ ජාතික තරුණ සේවා සභාවට. 1986 දී තායිලන්තයේ දී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ තරගාවලියට සහභාගී වීම සඳහා තෝරා ගන්නා ලද ශ්‍රී ලංකා කණ්ඩායමට කාලික තෝරා ගන්නවා. ඒ අනුව ඔවුන් විශේෂ පුහුණුවක් සඳහා ජපානයට යනවා. ඊට පසුව එහේ සිට තායිලන්තය පැමිණ ඔවුන් එම තරගාවලිය නියෝජනය කරනවා. ඒක තමයි කාලිකගේ පළමුවැනි තරග සංචාරය. ඒත් එක්කම ඔවුන් ඉන්දිරා ගාන්ධි රන් කුසලාන වොලිබෝල් තරගාවලියට සහභාගී වීම සඳහා ඉන්දියාවට ද යනවා. 

“ඊට පස්සෙ මම 1987 වසරේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරියට බැඳෙනවා. ඒ අවුරුද්දේම ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ වොලිබෝල් කණ්ඩායමටත් තේරිලා ඉන්දියාවේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වෙනවා.”

එතැන් සිට කාලික ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් වෙමින් ඕස්ට්‍රේලියාව, සෝවියට් රුසියාව. කොරියාව, ඉන්දියාව. තායිලන්තය, බංග්ලාදේශය, පාකිස්තානය, නේපාලය, ඉරානය, වියට්නාමය, ඕමානය සහ කටාර් යන රටවල පැවති විවිධ තරගාවලි නියෝජනය කරමින් සහභාගී වෙනවා. ඒ අතර 1993 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ද උසුලනවා. වරින් වර වෙනස් වූ මේ නායකත්වයේ ඔහුගේ පළමු තරගාවලිය වෙන්නේ තායිලන්තයේ පැවති ආසියානු වොලිබෝල් තරගාවලියයි. 

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වූ තරගාවලිවල දී ද ආසියානු තරගාවලියේ දී අනු ශූරතාවත් සහ 1987 -1989 -1993, 1995 සහ 2004 SAG ලෝකඩ පදක්කමත්, 2006 රිදි පදක්කමත් දිනා ගැනීමට සමත් වෙනවා. ඒ අතුරින් අදටත් කතාවෙන තරගාවලියක් වෙන්නේ 2006 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී කාලිකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා  ගැනීමත් සහ අවසන් පූර්ව වටයේ දී පාකිස්තානය පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමත් ය. 

“එදා අපි ඉන්දියාව පරාජය කරන්නේ වසර 100කට පස්සේ. ඊට පස්සේ තවත් එක් වරක් පමණක් ඉන්දීය කණ්ඩායම එක් වටයක දී පමණක් ජයග්‍රහණය කරන අපි සමත් වෙලා තියෙනවා. ඊට පස්සේ ඉන්දියාව ජය ගන්න අපිට මේ දක්වා ම බැරි වෙලා තියෙනවා” කාලික පවසනවා. 

තවත් විශේෂාංග ලිපි:

කාලික මේ කියන කාලයේ දී ඉන්දියාවට ක්‍රීඩා කිරීමට ද සුදුසුකම් ලබා ගන්නවා. ඒක කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. ඒ වෙද්දී  ශ්‍රි ලංකා වොලිබෝල් ඉතිහාසයේ ප්‍රථම වරට විදෙස් කණ්ඩායමක් නියෝජනය කිරීමට වරම් ලබා ගෙන සිටියේ කමලා නාගොඩවිතාන. ඇය 1960-61 සමයේ දී ඉන්දීය ජාතික වොලිබෝල් තරගාවලියේ මදුරාසි කණ්ඩායම නියෝජනය කළා. ඊට වසර 55කට පසු, එනම් 2005 වසරේ දී තමයි කාලිකට මේ ආරාධනාව ලැබෙන්නේ. කාලික සමඟ ඊට සමන් චන්ද්‍රනාත් ද සහභාගී වෙනවා. ඒ ඉන්දීය බැංකු කණ්ඩායම නියෝජනය කරන්න. 

“ක්‍රීඩකයෙක් ලෙසින් මගේ රටට මම උපරිමයෙන් කළා. අවුරුදු 10ක් නායකයෙක් ලෙසින් කටයුතු කළා. ඒ ගැන  ලොකු ආඩම්බරයක් දැනෙනවා. එදා අපිට පුළුවන් වෙනවා, අදටත් නොබිඳුණ වාර්තා තබන්න. එදා අපි මේ දේවල් කළේ අද වගේ පහසුකම් තිබිලා නෙමේ. අනිත් එක අපි වොලිබෝල් ක්‍රීඩාවේ තාක්ෂණික දේවල් පවා ඉගෙන ගත්තේ තරගවලට සහභාගී වෙලා ලත් අත්දැකීම් සමඟ. ඒ වගේම සිහිපත් කරන්න ඕන මම දීර්ඝ කාලයක් ක්‍රීඩා කළේ වරාය අධිකාරිය කණ්ඩායමට. අපි අවුරුදු ගාණක් ජාතික ශූරතාව දිනා ගන්නවා. මගේ දක්ෂතාවලට විශාල දායකත්වයක් වරාය අධිකාරිය කණ්ඩායමෙන් ලැබුණා.”

කාලික ක්‍රීඩාවෙන් සමුගත් පසු ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම හා එක් වෙන්නේ අභ්‍යාසක ලෙසින්. ඒ අනුව ඔහු 2007 වසරේ සිට 2011 වසර දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කළ විවිධ තරගාවලිවලට සහභාගී වෙනවා. ඒ අතරට වියට්නාමය, ඉන්දියාව. ඉන්දුනීසියාව, පිලිපීනය, බංග්ලාදේශය සහ ඉරානය වැනි රටවල පැවති තරගාවලි වෙනවා. 

ඊට පසුව 2013 වසරේ කාලික ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්වෙන්නේ සහාය පුහුණුකරු ලෙසින්. එසේ එක්වෙන කාලික ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඉන්දියාව, ඉරානය සහ ඩුබායි රටවල පැවති තරග සංචාර සඳහා එක්වෙනවා. ඒ වසර දෙකක කාලයක දී. 

2006 වසරේ සිට ශ්‍රී ලංකා වරාය අධිකාරිය කාන්තා සහ පිරිමි කණ්ඩායම් ද්විත්වයේම පුහුණුකරු ලෙසින් පත්විම් ලබන කාලික මේ දක්වා ම එහි පුහුණුකරු ලෙසින් කටයුතු කරනවා. ඔහුගේ පුහුණුකාරීත්වයෙන් යුත් වරාය අධිකාරිය කණ්ඩායම කරළියේ පෙරළි කරන්නට ගන්නේ 2007/08 වසරේ දී ජාතික වොලිබෝල් ශූරතාවලියේ අනුශූරතාව දිනා ගනිමින්. 

Kalika Wasanthapriyaඒ අනුව වරාය අධිකාරිය කාන්තා වොලිබෝල් කණ්ඩායම 2009 ජාතික ශූරතාව, 2010 ජාතික අනුශූරතාව, 2013 ජාතික අනුශූරතාව, 2014/15, 2016 සහ 2018 මංචි සුපර් ලීග් ජාතික ශූරතාව දිනා ගැනීමට කාලිකගේ දායකත්වය ලැබෙනවා. වරාය අධිකාරිය පිරිමි කණ්ඩායම 2007/08 ජාතික අනුශූරතාවයෙන් පසුව 2010, 2012 සහ 2013 ජාතික ශූරතාවත්, 2011/12 රූපවාහිනි ජාතික ශූරතාවත් සහ 2012, 2013, 2014/15, 2016 සහ 2018 වසර 5 මංචි සුපර් ලීග් ජාතික ශූරතාවත් දිනා දීමට ඔහුගේ දායකත්වය ඉවහල් වෙනවා. 

“ක්‍රීඩකයෙක් වගේම පුහුණුකරුවෙක් ලෙසිනුත් විශාල තෘප්තියක් තියෙනවා. අපි ඉගෙන ගත් දේ අපේ අනාගත පරපුරට දායාද කිරීම තරම් වටිනා තවත් දෙයක් නැහැ. හෙට දවසේත් මගේ කාලය ගත වෙන්නේ මේ වෙනුවෙන්. නමුත් මේ දවස්වල පවතින තත්ත්වයත් සමඟ පුහුණුවීම් කටයුතු හරි හැටි  සිදු වෙන්නේ නැහැ. ඒත් යුද හමුදා රෙජිමේන්තු කණ්ඩායම්වල පුහුණුවිම් කටයුතු කිහිපයක් කළා. මේ දේවල්වලට ඉතා කැමැත්තෙන් සහභාගී වෙනවා.”

Kalika Wasanthapriyaකාලිකගේ පෙර පරම්පරාව වොලිබෝල් වූවා සේ ම කාලිකගෙන් බිහිවුණ පරම්පරාව ද වොලිබෝලය අත් හරින්නේ නැහැ. කාලිකගේ පුතා, ලසිඳු මෙත්මල් වසන්තප්‍රිය. ඔහු මේ වන විටත් ශ්‍රි ලංකා වොලිබෝල් පිටිය ආක්‍රමණය කර අවසන්. ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමේ උපනායකයා වන්නේ ඔහු. ඒ වගේම දුව ටිමි මෙයිරා වසන්තප්‍රිය, පාසල් පිටියේ දක්ෂ වොලිබෝල් ක්‍රීඩිකාවක්. කාලිකගේ ආදරණීය බිරිඳ, ක්‍රිස්ටබල් රෝසා. ඇය ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ වගේම දැල්පන්දු කණ්ඩායමේ ද හිටපු සාමාජිකාවක්. ඒ වගේම වරාය අධිකාරිය කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩිකාවක්. 

Kalika Wasanthapriya
කාලික තම ආදරණීයයන් සමඟ

අපි දෙන්නගෙ දැනුම, අත්දැකීම් විතරක් නෙමේ ආකල්පත් දුවත්, පුතත් ඉතා හොඳින් හදාරනවා. ඔවුන්ට වඩාත් වැදගත් වෙන්නේ අපි සෙල්ලම් කළේ කොහොම ද කියන එකයි. ඔවුන් ඒ අනුව අනුගත වෙමින් ක්‍රීඩා පිටියේ දී ඒවා පාවිච්චි කරනවා. මම විශ්වාස කරනවා, ඔවුන් දෙදෙනා මාව අභිබවා වොලිබෝල් පිටියේ දක්ෂතා දක්වයි කියලා.”

කාලික මෙහෙම කියන්නේ තුන්කල් නුවනින්. මොකද 1986 වසරේ සිට වොලිබෝල් ජාතික සහ ජාත්‍යන්තර පිටියේ අත්දැකීම්වලින් බහුල ඔහුට අනාගතය ගැන කියන එක ඒ තරම් දෙයක් නෙමේ. ඒ තරමටෙම ඔහුගේ වොලිබෝල් දැනුම ඉහළයි. ඒ අත්දැකීම්වලින් ම ලබා ගත් දේවල්.

“අපිට අනාගතයට පාවිච්චි කරන්න පුළුවන් හොඳ දක්ෂ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඉන්නවා. එ්ත් ඔවුන් ඉදිරියට ගන්න සුදුසු වැඩ පිළිවෙළක් තවමත් ගත්ත බවක් පේන්න නැහැ. එදා අපි ගැහුවේ ජපන් වොලිබෝල්. ඒ කියන්නේ ජපන්නු ඔවුන්ගේ උසට හදාගත්ත චුටි චුටි දේවල් උපයෝගි කර ගනිමින් ගහපු ගේමක් ඒක. දැන් එහෙම බැහැ. අපි ලෝකයත් සමග ඉදිරියට යන්න ඕන. දැන් ලෝකයේ දියුණු වූ විවිධ උපක්‍රම තියෙනවා. පරණ ඒව අමතක කරල අලුත් දේවල් අපි එකතු කරන ගන්න ඕන. එතකොට තමයි අපිට හොඳ අනාගතයක් හදා ගන්න පුළුවන්” කාලික පවසනවා. 

ඔහු කියන දේ සත්‍යයක් බැව් වැටහෙන්නේ, අපි මීට දශක දෙක තුනක එහා ගිය වොලිබෝල් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ගැන සිහිපත් කිරීමේ දී ය. 

“අපි තවමත් ආසියානු මට්ටමෙන් ඉන්නේ එදා හිටපු තැනමයි. වොලිබෝල් දියුණු වුනා නම් මේ තැනේ වෙනසක් වෙන්න ඕන නේද? අපි අපි සෙල්ලම් කරන කාලේ මේ වගේ ලොකු පහසුකම් තිබුණෙ නැහැ. දැන් සපත්තු දෙක, හොඳ ඇඳුම්, හොඳ නවාතැන් සහ තවත් අපිට නොලැබුණ ගොඩක් දේවල් ලැබෙනවා. නමුත් ක්‍රීඩකයන්ගේ සහ ක්‍රීඩාවේ දියුණුවක් නැහැ. මම කියන්නේ ක්‍රීඩකයා හිතන්න ඕන මට ලැබෙන දේට වඩා රට වෙනුවෙන් කරන්න. ඒත් එහෙම එකක් පේන්නෙ නෑ. ඒ වගේ ම පුහුණුකරුවනුත් කාලය කළමනාකරණය කරගනිමින් ඒ දේවල්වල සහභාගී වෙන්න ඕන. ටුවර් එකක් ගිහිල්ලා ඇවිත් මට කණ්ඩායම හදාගන්න කාලය මදි කියනව නම් එයාගෙන් වැඩක් නැහැ. කාලය මදි නම් ඇයි කණ්ඩායමක් බාර ගන්නෙ. එතැන තියෙන්නේ ටුවර් එක යන්න තියෙන උවමනාව විතරයි. ක්‍රීඩාව දියුණු කරන්න කියන උවමනාවක් එතැන නෑ.” 

කාලික අද දවසේ වොලිබෝල් ක්‍රීඩාව දකින්නේ ඒ විදිහට. ඔහුට වොලිබෝල් ඇරෙන්නට වෙන කිසිම දෙයක් නැහැ. කවද හරි දවසක වොලිබෝල් ජාතික පුහුණුකාර ධුරය තමන්ට ලැබෙනවා නම් එය ඉතාමත් සතුටින් බාර ගන්නා බවත්, නැවත වතාවක් වොලිබෝල් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගයක් ඇති කරන බවත් ඔහු පවසනවා. ඒ වගේම වොලිබෝල් පරිපාලනයට නොපැමිණියත්, වොලිබෝල් සැබෑ ලෙස ජනගත කරන්නට උනන්දුව තිබෙන පිරිසක් ඊට එක් වෙන්නේ නම් ඔවුන්ට උපරිමයෙන් උදව් කිරීමටත් පැකිළෙන්නේ නැති බවත් කාලික පවසනවා.

ඔහුගේ එම බලාපොරොත්තු සඵල වේවායි ThePapare.com හී ප්‍රාර්ථනාවයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<