හී සැර වන් පහර විදින හීන්දෑරි යෞවනයා – යුජි නිෂිඩා

353

මෙය ThePapare.com ඔබ වෙත ගෙන එන වොලිබෝල් පුරාවෘත ලිපි මාලාවේ 20 වැනි ලිපියයි. සාමාන්‍යයෙන් අප මේ ලිපි මාලාව පුරාවට විමසා බලන්නේ ජාත්‍යන්තර පිටිය තුළ වසර දහයකට ආසන්න කාලයක් පුරාවට දක්ෂතා දක්වමින් තම නාමය වොලිබෝල් ඉතිහාසයේ පුරාවෘතයක් බවට පත් කර ගත් සුවිශේෂී ක්‍රීඩකයන් පිළිබඳවයි. 

නමුත් අද ඒ සීමාවෙන් ඔබ්බට ගොස් අප මේ විමසා බැලීමට සූදානම් වන්නේ ඉතා කලාතුරකින් ක්‍රීඩකයෙකුට පිහිටන සහජ දක්ෂතාවයක් සහ එම සහජ දක්ෂතාවයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් සිටින එක්තරා යෞවනයෙකු පිළිබඳවයි.

ඔහුගේ ප්‍රහාරාත්මක ඉරියව්ව දුනුවායෙකුට සමානය. දුනුවායෙකු හී සැරය මුදාහැරීමට පෙර ජවය ගන්නා අයුරින්ම ඔහු ද ගුවනට මුසු වෙමින් තම සුරතින් ජවය ගන්නා අයුරු ඉතා දැකුම්කළුය. හීන්දෑරි සිරුරකින් යුතු වන නමුත් ඔහුගේ පහරවල් වල ඇති ජවය ලොව කිසිම ප්‍රහාරකයෙකුට දෙවැනි වන්නේ නැත.

පසුගිය වසරේ ජපානයේ දී නිමාව දුටු 2019 වොලිබෝල් ලෝක කුසලාන තරගාවලියේ දක්ෂතම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයා මෙන්ම දක්ෂතම පන්දු පිරිනමන්නා වශයෙන් ද සම්මානයට පාත්‍ර වූ යොවුන් යෞවනයා තවමත් පසු වන්නේ 20 හැවිරිදි වියේය. ඉතින් ඔහු ගැන අප කතා කළ යුතුමය. 

යුජි නිෂිඩා.

ඔහුගේ නම ඇසූ පමණින් ඔබ ඔහුව හොඳින් දන්නා බව රහසක් නොවේ. වොලිබෝල් ලෝකය තුළ ඔහුව නොදන්නා කෙනෙක් නොමැත. ඔහු එතරම් ජනප්‍රිය ක්‍රීඩකයෙකි. ඉතින් ThePapare.com අපගේ මේ උත්සාහය ඔහු පිළිබඳවත්, ඔහුගේ ක්‍රීඩා රටාව පිළිබඳවත් වඩාත් හොඳින් විමසා බැලීමටයි.  

  • නම – යුජි නිෂිඩා (Yuji Nishida)
  • උපත – 30/01/2000
  • උස – 186 cm (6 ft 1 in)
  • බර – 80 kg (176 lbs)
  • ක්‍රීඩා කරන ස්ථානය ප්‍රතිවිරුද්ධ ප්‍රහාරක (Opposite Spiker)
  • ජර්සි අංකය – 11, 14, 32
  • ප්‍රහාරක උස – 348 cm (137 in)
  • ආවරණ උස – 332 cm (132 in)
  • නියෝජනය කළ රට ජපානය
  • වෙනත් කණ්ඩායම් –
    • 2017– JTEKT Stings (ජපානය)

2019 ලෝක කුසලානයේ කැනඩාවට එරෙහි තරඟයේ අතිශයින් උණුසුම් පස්වැනි වටයේ දී ගොඩගැනීමට නොහැකි වූ සෘජු පිරිනැමීම් (Service Aces) 6 ක් අඛණ්ඩව වාර්තා කරමින් පිරිනැමීම් වලින්ම තරගය ජයග්‍රහණය කරවීම..

ඔහුගේ විශේෂත්වය

නිෂිඩාගේ ක්‍රීඩා රටාවේ සුවිශේෂීම ගුණාංගය වන්නේ ඔහු සතු ඉපිලීමේ හැකියාවයි. ජාත්‍යන්තර පිටිය තුළ ඔහුගේ ස්ථානයේ, එනම් ප්‍රතිවිරුද්ධ ප්‍රහාරක ස්ථානයේ ක්‍රීඩා කරනා බොහෝ ක්‍රීඩකයන් හා සසඳා බලන විට නිෂිඩා තරමක් උසින් අඩු ක්‍රීඩකයෙකි. නමුත් ඒ අවාසිය මගහරවාගේ එම ක්‍රීඩකයන් හා කරට කර සටන් වැදීමේ අවස්ථාව ඔහුට හිමි වී ඇත්තේ මෙම ඉපිලීමේ හැකියාව නිසාය.

එසේම වමතින් පහර එල්ල කරන ක්‍රීඩකයෙකු වීම නිසාම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරක ස්ථානයේ, එසේත් නැතිනම් Right Side හෝ Wing Spiker යන නම්වලින් හඳුන්වන ස්ථානයේ ක්‍රීඩා කිරීමේ දී විශේෂ වාසියක් නිෂිඩා හට හිමි වේ. 

සරලව කිවහොත් පිටියේ දකුණුපස කෙළවරේ සිට ක්‍රීඩාවේ නිරත වන විට පිටිය මැද සිට දකුණු කෙළවරට කරන ඔසවාදීමක් සඳහා දකුණතින් පහර දෙන ක්‍රීඩකයෙකු පැමිණියහොත් පන්දුව ඒ ක්‍රීඩකයාගේ ශරීරයේ පසු කරමින් ඔහුගේ දකුණු පසට එනතෙක් බලා සිට පන්දුව ඔහු පසු කර ගිය පසුව පහර දීමට ඔහුට සිදු වේ. එහි දී ප්‍රතිවාදීන්ට පන්දුව ආවරණය කිරීම සඳහා වැඩි වේලාවක් හිමිවන නිසා එය තරමක් අවාසි සහගතය. 

නමුත් එම ප්‍රහාරක ස්ථානයේ වමතින් පහර දෙන ක්‍රීඩකයෙක් සිටියේ නම් ඔහුට පන්දුව වෙත පහසුවෙන් ළඟා වෙමින් වඩාත් ඉක්මනින් පහර එල්ල කිරීමේ අවස්ථාව හිමි වේ. එසේම වමත් ක්‍රීඩකයෙකු දකුණු පස කෙළවරෙන් පහර දෙන අවස්ථාවේ දී ඔහුට ප්‍රතිවාදී පිටිය වඩාත් හොඳින් දර්ශනය නිසා පන්දුව ස්ථානගත කිරීම ද වඩා පහසුය. නිෂිඩා විසින් පිටියේ දකුණු පස කෙළවරෙන් මෙම වාසිය උපරිම ලෙස ලබාගන්නා ආකාරය අපට දැක ගත හැකිය.

එසේම ඔහුගේ තවත් විශේෂත්වයක් වන්නේ ක්‍රීඩා පිටියේ ස්ථාන 6න් කුමන ස්ථානයේ ක්‍රීඩා කළ ද, ඔහු එම ස්ථානයේ සිට ප්‍රතිවාදීන්ට තර්ජනයක් එල්ල කිරීමට සමත් ක්‍රීඩකයෙක් වීමයි. විශේෂයෙන්ම ජාත්‍යන්තර පිටියේ බොහෝ නම් දැරූ ප්‍රහාරකයන් පන්දු පිරිනැමීමේ දී සහ අනෙකුත් ක්‍රීඩකයන්ට පන්දු ඔසවාදීමේ දී යම් දුර්වලතාවයන් පෙන්නුම් කළ ද නිෂීඩාගේ ක්‍රීඩා රටාව අධ්‍යයනය කිරීමේ දී එම ගුණාංග දෙකම ඔහු සතු ඉතා ප්‍රබල දක්ෂතාවයන් දෙකක් බව හොඳින් පෙනී යයි. 

වර්තමානයේ පවතින නව වොලිබෝල් තරග රටාවත් සමඟ ජාත්‍යන්තර පිටිය තුළ දී ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයෙකු සතු විය යුතු අත්‍යාවශ්‍ය ගුණාංගයක් වන්නේ පන්දු ඔසවාදීමේ දක්ෂතාවයයි. මෙය නිෂිඩා විසින් හොඳින්ම ප්‍රගුණ කර ඇති දක්ෂතාවයකි. ඔහුගේ පන්දු ඔසවා දීමේ හැකියාව කොතරම්ද යත්, ජපාන V ලීගයේ 2018/2019 තරග සමය තුළ තරගාවලියේ දක්ෂතම පන්දු ඔසවා දෙන්නා ලෙසින් සම්මානයට පාත්‍ර වීමටත් ඔහු සමත් වී ඇත. 

වොලිබෝලයේ නිහඬ තරුව – යුආන්තොරේනා

පන්දු ඔසවා දීමට අමතරව නිෂිඩාගේ අනෙක් ප්‍රබලතම අවිය වන්නේ පන්දු පිරිනැමීමයි. විශේෂයෙන්ම 2019 වොලිබෝල් ලෝක කුසලාන තරගාවලිය තුළ දී පමණක් ප්‍රතිවාදීන්ට ගොඩගැනීමට නොහැකි වූ සෘජු පන්දු පිරිනැමීම් (Service Aces) 29ක් වාර්තා කළ ඔහු තරගාවලියේ දක්ෂතම පිරිනමන්නා බවට පත් වීමට සමත් වූ අතර ඉන් නොනැවතී තරගාවලියේ දක්ෂතම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයා බවට පත් වූයේ ලෝක වොලිබෝල් පිටියේ ප්‍රබලතම ක්‍රීඩකයන් කිහිප දෙනා අතරට තමාගේ නමත් එක් කරවමිනි.

ලෝක වොලිබෝල් ප්‍රේක්ෂකාගාරයේ මෙන්ම විචාරකයන්ගේ ද විශේෂ අවධානය යුජි නිෂිඩා වෙත යොමු වූයේ 2019 ජුනි මාසයේ දී පැවති පිරිමි වොලිබෝල් ජාතීන්ගේ ලීග් තරගාවලියේ (FIVB Volleyball Men’s Nations League) බල්ගේරියාවට එරෙහි තරගය අතරතුර ඔහු විසින් ගොඩගැනීමට නොහැකි වූ සෘජු පිරිනැමීම් (Service Aces) 7ක් වාර්තා කිරීමත් සමඟය. එය එම තරගාවලියේ නව තරග වාර්තාවකි.

පුද්ගලික දිවිය

නිෂීඩා 2000 ජනවාරි 30 වැනි දින ජපානයේ ඉනාබේ හි උපත ලැබීය. ඔහු තම සහෝදරිය ක්‍රීඩාව කරන ආකාරය දැකීමෙන් පසු වොලිබෝල් ක්‍රීඩා කිරීමට පටන් ගත්තේය.

චිත්‍රපට නැරඹීම සහ සාප්පු යාම ඔහු තමාගේ විනෝදාංශ ලෙස ලැයිස්තු ගත කරන අතර සම්මුඛ සාකච්ඡාවක දී ඔහු කියා සිටියේ ඔහුගේ ආදර්ශ චරිතය වන්නේ තවත් ජපන් වොලිබෝල් ක්‍රීඩකයෙකු වන යකි ඉෂිකාවා වන බවයි.

වෘත්තීය දිවිය

නිෂීඩා උසස් පාසල් සිසුවෙකු වශයෙන් ක්‍රීඩාවේ යෙදෙන අවධියේ දී ඔහුගේ දක්ෂතා හඳුනා ගෙන සිටි ජපන් වොලිබෝල් සංගමය 2017 වසරේ මියන්මාරයේ පැවති ආසියානු පිරිමි 19න් පහළ වොලිබෝල් ශූරතාවලියේ දී ජපාන වයස 19න් පහළ පිරිමි ජාතික කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට තෝරා ගන්නා ලදි. එහි දී කණ්ඩායමේ ආරම්භක ක්‍රීඩකයෙකු ලෙසින් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට හිමි නොවූ අතර තරගාවලිය පුරාවටම ප්‍රධාන ආදේශක ක්‍රීඩකයෙක් ලෙසින් ඔහුව භාවිතා කෙරෙන ලදි.

පසුව 2018 වසරේ දී ඔහුගේ උසස් පාසලෙන් උපාධිය ලැබීමට පෙරාතුවම නිෂීඩා ජපන් පිරිමි V. League හි JTEKT Stings කණ්ඩායම සමඟින් සම්බන්ධ විය. ඔහුගේ වැඩිමහල් සහෝදරයා JTEKT හි සේවය කළ අතර ඒ හරහා ඇතිවූ සම්බන්ධතාවය නිසා ඔහුට එම අවස්ථාව හිමි විය. 2018 ජනවාරි 6 වැනි දින සකායි බ්ලැසර්ස් පිලට එරෙහිව ආදේශකයක් ලෙස නිෂීඩා JTEKT Stings වෙනුවෙන් සිය මංගල වෘත්තීය වොලිබෝල් තරගයට පිවිසියේය.

එම පළමු වෘත්තීය තරගයෙන් පසුව ක්‍රීඩා සමාජ තරගවල දිගින් දිගටම දැක්වූ දක්ෂතා හේතුවෙන් ජපානයේ ජාතික වොලිබෝල් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු යූචි නකගයිචි විසින් නිෂීඩා ජාතික කණ්ඩායමේ සංචිතයට කැඳවීමට තීරණය කරනු ලැබීය. ඉන්පසුව ඔහු 2018 මැයි 25 වැනි දින ඕස්ට්‍රේලියාවට එරෙහිව ජපාන ජාතික කණ්ඩායම වෙනුවෙන් සිය පළමු තරගය ක්‍රීඩා කළ අතර එම තරගයෙන් තරග වට 3-1ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ජපාන කණ්ඩායම සමත් විය. එම තරගයේ දී නිෂීඩා ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වූයේ ප්‍රහාරාත්මක පහර 14ක් සමඟිනි.

2018 වසරේ සිට 2019 වසර දක්වා ගමන් කරන විට ජාතික කණ්ඩායම සමඟ ක්‍රීඩා කරමින් ඔහුගේ ක්‍රීඩාව තවදුරටත් වැඩිදියුණු කරගැනීමට නිෂීඩාට සිදු විය. එම වසරේ දී ජාත්‍යන්තර පිටියේ ප්‍රබල ක්‍රීඩකයන් සමඟින් කරට කර තරග වැදෙමින් ජාත්‍යන්තර තරගකාරීත්වයට සාර්ථක ලෙසින් මුහුණ දීමට ඔහුට හැකියාව ලැබුණි. 2019 වසර ආරම්භයේ පටන් එම වසරේ අග භාගය වන තෙක් ඔහුගේ ක්‍රීඩා රටාව විශ්ලේෂණය කිරීමේ දී එම වසර තුළ පමණක් ඔහුගේ ප්‍රහාරාත්මක ඉපිලීමේ උස සෙන්ටිමීටර 7කට වැඩි ප්‍රමාණයකින් ඉහළ දමා ගැනීමට ඔහු සමත් වී තිබුණි. ජාත්‍යන්තර පිටිය තුළ එම ප්‍රමාණය අතිශයින් ඉහළ අගයක් වන අතර එමඟින් පිටිය තුළ ඔහුට ලැබුණ වාසිය අතිමහත්ය.

2019 වොලිබෝල් ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය සැපයීමේ අවස්ථාව ජපානයට හිමි වීමත් සමඟ එම තරගාවලිය තුළින් ජාත්‍යන්තර පිටියේ තමාට හිමි ස්ථානය තහවුරු කර ගැනීම උදෙසා විශාල අවස්ථාවක් නිෂීඩාට හිමි විය. එම අවස්ථාව මැනවින් ප්‍රයෝජනයට ගත් ඔහු තරගාවලිය අවසන් වන විට තරගාවලියේ දක්ෂතම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයා (Best Opposite Spiker) බවට පත් වූයේ තමා ලෝකයේ හොඳම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයන් අතරින් එක් අයෙකු බව සියල්ලන්ටම පෙන්වා දෙමිනි. 

එහි දී ප්‍රතිවාදීන්ට ගොඩගැනීමට නොහැකි වූ සෘජු පන්දු පිරිනැමීම් (Service Aces) 29ක් ද සමඟින් තරගාවලියේ දක්ෂතම පිරිනමන්නා බවට පත්වීමට ද නිෂීඩා සමත් වූ අතර තරගාවලිය පුරාවට සමස්ත ලකුණු 174ක් ලබා වැඩිම ලකුණු රැස්කරන්නන්ගේ ලැයිස්තුවේ (Best Scorer) තෙවැනි ස්ථානයට පත්වීමට ද ඔහු සමත් විය.

එම තරගාවලියේ අවසන් පූර්ව තරගයට සහභාගී වෙමින් තරගාවලියේ 4 වැනි ස්ථානය දිනා ගැනීමට ජපානය සමත් වූ අතර ඒ 1991 වසරට පසු, එනම් වසර 28කට පසු ජපාන කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියක දැක්වූ හොඳම දක්ෂතාවයයි. එම දක්ෂතාවය හුදෙක්ම නිෂීඩාගේ තනි දක්ෂතා මතින් හැඩගැන්වූ එකක් බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.

නිෂිඩා තවමත් සිටින්නේ 20 හැවිරිදි වියේය. ඔහුගේ ස්වර්ණමය දක්ෂතාවයන් වොලිබෝල් පිටිය මත තවමත් දිගහැරී නොමැත. නමුත් මේ වන තෙක් ඔහු ආ ගමන් මග දෙස හැරී බලන විට එක් දෙයක් හොඳින්ම පැහැදිලිය. 

යුජි නිෂීඩා නාමය මින් වසර 15කට 20කට පසුව පුරාවෘතයක් වශයෙන් වොලිබෝල් ඉතිහාසයට එක් වනු නොඅනුමානය.

සුවිශේෂී ජයග්‍රහණ

තනි ජයග්‍රහණ

  • 2018 2018 FIVB වොලිබෝල් පිරිමි ජාතීන්ගේ ලීගය – මූලික වටයේ හොඳම ලකුණු ලාභීන් 4 අතර
  • 2018/2019 V. ලීගය – වසරේ නවක ක්‍රීඩකයා
  • 2018/2019 V ලීගය – හොඳම පන්දු සකසන්නා
  • 2018/2019 V ලීගය – 3 වන හොඳම ලකුණු ලාභියා
  • 2019 2019 FIVB වොලිබෝල් පිරිමි ජාතීන්ගේ ලීගය – මූලික වටයේ හොඳම ලකුණු ලාභීන් 2 අතර
  • 2019 FIVB වොලිබෝල් පිරිමි ජාතීන්ගේ ලීගය – මූලික වටයේ හොඳම පිරිනමන්නන් 2 අතර
  • 2019 FIVB ලෝක කුසලානය – හොඳම පන්දු පිරිනමන්නා
  • 2019 FIVB ලෝක කුසලානය – හොඳම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයා

කණිෂ්ඨ කණ්ඩායම

  • 2017: මියන්මාරයේ පැවති 2017 ආසියානු පිරිමි U19 වොලිබෝල් ශූරතාවලියේ රන් පදක්කම 

ජාතික කණ්ඩායම

  • 2019: ඉරානයේ පැවති 2019 ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවලියේ දී ලෝකඩ පදක්කම 
  • 2019: ජපානයේ පැවති 2019 වොලිබෝල් ලෝක කුසලානයේ සිව්වැනි ස්ථානය

Image Credits:  gettyimages.com, volleywood.net

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<