දුලබ ශූරතා 4ක් දිනූ එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා – සඳුන් විමලසේන

1361

උස ක්‍රීඩකයන්ගේ ක්‍රීඩාවක් වුවත්, සාපේක්ෂව අඩු උසක් ඇති ක්‍රීඩකයන් දස්කම් පෙන්වන විට වොලිබෝල් ක්‍රීඩාව බෙහෙවින් අලංකාර ය. ශ්‍රී ලංකාවෙන් බිහිවූ ජීවන් ජූඩ්, කේ. එම්. කේ සුනිල් වැනි ක්‍රීඩකයන් ඒ අලංකාරයට සාක්ෂි වේ. ඔබ සඳුන් විමලසේන නම් ක්‍රීඩකයා ක්‍රීඩා කරනු දැක තිබේ ද?  

වොලිබෝල් ක්‍රීඩකයෙකුගේ අලංකාරය වඩාත්ම කැපී පෙනෙන අවස්ථාව ඔහුගේ ඉපිලීම යැයි මම සිතමි. වේගවත් පහර එල්ල කරන්නන් ජාත්‍යන්තර වොලිබෝල් ක්‍රීඩාව තුළ කොතෙකුත් සිටියත්, ඉහළ ඉපිලීමක් ගෙන ගුවනේ රැඳී සිට පහර එල්ල කරනවාක් මෙන් අලංකාර කිසිවක් වොලිබෝල් ක්‍රීඩාව තුළ නැත. සඳුන් විමලසේන නම් තරුණ ක්‍රීඩකයා එහි ශූරයෙකි. අද අපගේ උත්සාහය සඳුන්ට ප්‍රශ්න වැලක් යොමුකොට ඔහුව හඳුනා ගැනීමටයි.

සඳුන් විමලසේන කියන්නේ කවුද?

මොන අභියෝගයක් ආවත් සාර්ථකව මුහුණ දෙන්න ඕනි කියලා හිතන, සැහැල්ලුවෙන් ජීවත් වෙන්න කැමති සාමාන්‍ය මනුස්සයෙක්.”

පවුල, පාසල් අධ්‍යාපනය ගැන තියෙන මතකය අවදි කරමු ?

මගේ සම්පූර්ණ නම කංකානමලාගේ ඩිලාන් සඳුන් විමලසේන. දැන් වයස 26. තාත්තා කේ. විමලසේන. එයා විශ්‍රාමික බැංකු ආරක්ෂක නිලධාරියෙක්. අම්මා ආර්. කුසුමාවතී. අම්මා විශ්‍රාමික පවුල් සෞඛ්‍යය සේවා නිලධාරිණියක්. නංගි දුලංජී දීපිකා. එයා දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ 3 වැනි වසරේ ඉගනුම ලබනවා.”

සඳුන් සහ ඔහුගේ පවුලේ අය

පාසල් අධ්‍යාපනය ගැන කිව්වොත් මං එක වසරේ ඉඳන් පහ වසරට ඉස්කෝලෙ ගියේ යටියන්තොට N. M. පෙරේරා විද්‍යාලයට. ඊටපස්සෙ ඉතින් යන්තම් ශිෂ්‍යත්වේ පාස් වෙලා තමා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වුනේ. ඕලෙවල් සහ ඒ ලෙවල් කරේ රුවන්වැල්ල රාජසිංහයේ දී. ඕ ලෙවල් වලට A6 B2 C1 ගන්න පුළුවන් වුනා. දිගටම වොලිබෝල් සෙල්ලම් කරන්න ඕනි නිසාම උසස් පෙළට කලා විෂය ධාරාව තෝරාගත්තා. A3 අරන් දිස්ත්‍රික් 90 වැනියා වෙලා කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයට තේරුණා.”

කුඩා කල ක්‍රියාශීලී වන දරුවන්ගේ අධ්‍යාපනය කිසිදාක අසාර්ථක වන්නේ නැත. සඳුන් විමලසේනගේ ළමාකාලය කියා දෙන පණිවිඩය එයයි. ලිඛිත අධ්‍යාපනයෙන් නොවුනත් ප්‍රායෝගික අධ්‍යාපනයෙන් හෝ ජීවිතය ගොඩනගා ගැනීමේ හැකියාව ඇතිවන්නේ ළමා මනස ක්‍රියාශීලීව පැවතීමට ඉඩ දීමෙනි.

අපිට කලින් හිටපු පරණ වොලිබෝල් ගහපු අය පොඩ්ඩක් අධ්‍යාපන වැඩ අවුල් කරගෙන තිබුණ නිසා පාසලේ ගුරුවරුන්ගෙන් අපි දිහා බැලුවෙත් ටිකක් වපරැසින්. ඒත් ඒ ලෙවල් වලට එද්දි ගුරුවරු අතර තිබ්බ ඒ අදහස් වෙනස් වෙලා මට ලොකු සහයක් ලැබුණා. මං ගොඩක් වෙලාවට ඉගෙනීමේ කටයුතු හොඳින් කරන්න උනන්දු වුනේ මං ෆේල් වෙන්න බය නිසා. වොලිබෝල් ගහන නිසා මට තේරුණා අනිත් අයට වඩා වැඩියෙන් මට මහන්සි වෙන්න වෙනවා කියලා. ඒ නිසා වොලිබෝල් වලට වගේම අධ්‍යාපන වැඩවලට මං ගොඩක් මහන්සි වුනා.”

මං 2012-13 කාලේ විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක වුනා. ඒ වෙනකොට මං ගුරුවරු අතර “හොඳ ළමයා” වුනාට වඩා “ඉස්කෝලෙ ළමයි අතර ජනප්‍රිය සහ මට ඔවුන් පාලනය කළ හැකි” කෙනෙක් කියලා හිතපු නිසා ඒ තනතුර ලැබුණා කියල මං විශ්වාස කරනවා. එතකොට මං පැති දෙකක් බැලන්ස් කරන්න ඕනි. ඉස්කෝලෙ ළමයි බේරන්නත් ඕනි, ගුරුවරු සතුටු කරන්නත් ඕනි. මේ දේවල් නිසා නම් වෙච්ච සිදුවීම් එමටයි.”

යටියන්තොට කියන්නෙ ලස්සන ප්‍රදේශයක්. පාසලේ දී සහ ගමේ දී කරපු දඟ වැඩ එහෙම ඇති නේද?

අම්මලා කියන විදියට නම් පොඩිකාලෙ ගොඩක් දඟ කෙනෙක්ලු මං. පොඩිකාලේ ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවගමන් හින්දි ෆිල්ම් බලන එක තමයි කරේ. ඒ නිසාමද මංදා මට චතුර විදියට හින්දි කතා කරන්න පුළුවන්. දවසේ ඉතුරු ටික ගෙවුනේ ෆුට් සයිකල් එකත් එක්ක. හැමදාම ගමේ හවස ක්‍රිකට් ගහන්න යනවා. අම්මගෙන් ගොඩක් වෙලාවට ගුටි කනවා ලොකු මිනිස්සු එක්ක සෙල්ලම් කරන්න යනවා කියලා. නිතර ක්‍රිකට් මැච් බලනවා. ඒ වගේම ගෙදර ළඟ තිබුණ ගඟට මං නිතර යනවා ඒ කාලෙ.”

යටියන්තොට නගරයේ උපත ලැබූ සඳුන්, කෙමෙන් කෙමෙන් ශ්‍රී ලාංකික ළමා පරපුරට අහිමිව යන ඒ සුන්දර ළමාකාලය විඳ ගත් අවසන් පරපුරෙන් කෙනෙකි. කුඩා කල දී දඟකාරකම් රැසක් සිදු කළත්, ඔහුගේ ක්‍රියාශීලීත්වය නිසා ඔහුගේ අනාගතය වඩා සාර්ථක වූ බව එදා ඔහුවත් නොසිතන්නට ඇත.

ඇත්තටම හරි සුන්දර ලස්සන පළාතක්. මං ඉන්න යටියන්තොට ප්‍රදේශයට (රුවන්වැල්ලේ සිට කි.මී.7ක් එපිටින්) වඩා විශාල පිරිසක් මං රුවන්වැල්ලෙදී අඳුනනවා. අද දක්වා වසර 13ක් වෙන මගේ වොලිබෝල් ජීවිතයට රුවන්වැල්ලෙ ක්‍රීඩාලෝලීන් මට ලොකු ආදරයක් ඇල්මක් කැමැත්තක් දක්වනවා. ඒක මට ලොකු හයියක් සහ නිහතමානී ආඩම්බරයක්. අතීතයේ රුවන්වැල්ලේ හොඳ ශක්තිමත් වොලිබෝල් කණ්ඩායම් සහිත ඉතිහාසයක් තිබිලා තියෙනවා. නමුත් ඒ දේ මොකක්හරි හේතුවක් නිසා නැත්තටම නැති වෙලා ගිහින් තිබුණු යුගයක, අපි කණ්ඩායමක් විදියට ඒ හැංගුණ ප්‍රේක්ෂකයන්ට ආයෙත් ඒ ජයග්‍රහණයේ ආස්වාදය ලබා දෙන්න පුළුවන් වුන නිසා ඒ අය අපිට මේ තරම් ඇල්මක්, ආදරයක් දක්වනවා කියලා හිතෙනවා මට. රුවන්වැල්ල කියන්නේ මගේ ජීවිතයේ අමතක නොවෙනම තැනක්.”

පසුගිය දශකයක පමණ කාලය තුළ රුවන්වැල්ල ප්‍රදේශයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් කරළියට දායාද කළ ක්‍රීඩකයන්ගේ ගණන බොහෝ ය. කාලයක් පුරාවට ගම්පහ, නාත්තන්ඩිය, සීදූව, ආනමඩුව, මාදම්පේ වැනි ප්‍රදේශවලට සීමා වී තිබූ වොලිබෝල් බලය රටේ තවත් ප්‍රදේශවලට විමධ්‍යගත වීම සතුටුදායක ය. සඳුන් විමලසේන ඊට සාක්ෂියකි. එහෙත් සඳුන්ව යම් විනයක් යටතේ ගොඩනගන්නට ඔහුට ලැබුණු දායකත්වය ගැන සඳුන් සිහි කළේ මෙසේයි.

පාසලේ දී නම් ඒ තරම් දඟ සෙල්ලම් දාන්න වුනේ නෑ. මොකද අපේ විනය හැසිරීම ගැන පාසල් ගුරුවරු වගේම ඉතා දැඩි පිළිවෙතක් අනුගමනය කරන අපේ වොලිබෝල් පුහුණුකරු චමින්ද ජයරත්න සර් දැඩි අවධානයෙන් හිටපු නිසා අකැමැත්තෙන් වුනත් ඒ විදියට ඉන්න වුනා.”

ගමේ දී කරපු දඟ වැඩ නම්, ඉස්සර හවස ක්‍රිකට් ගහලා ඉවර වෙලා අපි එනවා පිට්ටනිය ළඟ තිබ්බ පාර ළඟට, ඒ පාර කොළඹ – නුවරඑළිය ප්‍රධාන මාර්ගය. සිරිපාද වාරෙට සිරිපාදයට යන අය මේ පාරේ තමයි යන්නේ. අපි හැමෝම දන්න දෙයක් තමයි සමහරු සිරිපාදෙ ගිහින් බැහැලා එන්නේ කිතුල්ගල දිහා නවත්තලා මධුවිතකින් එහෙම සප්පායම් වෙලා. එතකොට අපි කරන්නේ වෙරිවෙලා ගෙදර යමින් ඉන්න සිරිපාද වන්දනා වෑන් වලට සිලිබෑග් වලට දාලා වතුර ගහලා දුවලා හැංගෙනවා. වතුර පාර කාලා වෙරි බැහැලා වාහනෙන් බැහැලා අපිට හොඳටම බැනලා යන්න යනවා ඒ අය ඉතින්. ඒත් ඒ වෙද්දී අපි හැමෝම හැංගිලා.”

එහෙම හිටපු සඳුන් වොලිබෝල් ක්‍රීඩාවට එන්නෙ කොහොමද?

මුලින්ම මං වොලිබෝලයක් අල්ලන්නේ 5 වසරේ දී. යටියන්තොට N. M. පෙරේරා විද්‍යාලයේ ඉන්න කාලේ යටියන්තොට පාසලට අලුතින් ක්‍රීඩා ගුරුමහතෙක් එනවා. එතුමගේ නම ප්‍රියන්ත. ප්‍රියන්ත සර් මලල ක්‍රීඩා සහ ජිම්නාස්ටික් පිළිබඳව විශේෂ කෙනෙක්. මාව ඉස්සෙල්ලාම ක්‍රීඩකයෙක් විදියට දකින්නේ එතුමා. 5 වසරේ හිටපු මම 100m සබරගමු පළාත් දෙවෙනි ස්ථානය දිනනවා. ඒ අතරවාරයේ ප්‍රියන්ත සර් වොලිබෝල් දෙනවා හවසට මලල ක්‍රීඩා පුහුණුවීම් ඉවර වෙලා සෙල්ලම් කරන්න. වොලිබෝල් වලට මුලින්ම ආසා හිතුණේ එතකොට.”

“2005 වසරේ ශිෂ්‍යත්වය සමත් වෙලා රුවන්වැල්ලෙ ඉස්කෝලෙ ගිහාම ඒ කාලෙ චමින්ද සර් රුවන්වැල්ලෙ 16න් පහළ බාලක කණ්ඩායමක් පුහුණු කරා DSI තරගාවලියට. ඒ වෙද්දී මට වයස 11/12ක් වගේ. මාත් ආසාව නිසා උදේට පුහුණුවීම් තියෙද්දී ඒවාට සම්බන්ධ වුනා. ඒ කාලේ කරේ බෝල ඇහිඳපු එකයි, උදේට වොලිබෝල් කෝට් එක පුරාවට හරක් දාල තියෙන ගොම අයින් කරපු එකයි. 

පස්සේ ඒ 16න් පහළ කණ්ඩායම සමස්ත ලංකා යන්න තේරුණ නිසා යටියන්තොට අපේ ගෙවල් සමීපයේ තියෙන N. M. පෙරේරා ඉස්කෝලෙට ආවා හවසට. පාසලේ තියෙන ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පුහුණුවීම් කරන්න. මාත් හවස හැමදාම ලොකු ක්‍රීඩකයන් එක්ක බෝල ඇහිඳින ක්‍රීඩකයෙක් විදියට සහභාගී වුනා. 2006දී චමින්ද සර් රුවන්වැල්ලෙ පුහුණුකාරීත්වයෙන් ඉවත් වෙලා ආයෙ 2007 දී නැවතත් රුවන්වැල්ලෙ පුහුණුකරු ලෙස එනවා. 

2007 දී තමයි මං වයස අවුරුදු 14න් පහළ ක්‍රීඩකයෙක් විදියට හරියටම වොලිබෝල් ක්‍රීඩාවට යොමුවෙන්නේ. රුවන්වැල්ලෙ විද්‍යාලයේ පළමු වොලිබෝල් සමස්ත ලංකා ජයග්‍රහණය විදියට අපි 2007 DSI පාසල් තරගමාලාවේ අවුරුදු 14 පහළ බාලක 3 වැනි ස්ථානය දිනා ගන්නවා. ඒ තමා ආරම්භය. සඳුන් කියන වොලිබෝල් ක්‍රීඩකයාව තනිකරම නිර්මාණය කරේ චමින්ද ජයරත්න පුහුණුකාරතුමා. ඒ අතර දී පාසලේ ක්‍රීඩා ගුරුවරුන් විදියට පොල්ගම්පොල ගුරුතුමා, කරුණාරත්න ගුරුතුමා මතක් කරන්න ඕනි.”

5 වසරේ දී වොලිබෝලයක් අල්ලපු සඳුන් මෙතෙක් ලබාගත් ජාතික මට්ටමේ ජයග්‍රහණ සහ සම්මාන මොනවද?

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙන සියලුම ප්‍රධාන පෙළේ වොලිබෝල් තරගාවලි වල අවසන් තරග සඳහා තරග වැදීමට සහ ජයග්‍රහණය කිරීමට සමත් වෙලා තියෙනවා. ඉතාම නිහතමානීව කියන්න කැමතියි, එක් වසරක් ඇතුළත මංචි ජාතික වොලිබෝල් ශූරතාවය (CEB කණ්ඩායම සමඟ), රූපවාහිනී වොලිබෝල් ශූරතාවය (CEB 25න් පහළ කණ්ඩායම සමඟ), අන්තර් විශ්ව විද්‍යාලයීය වොලිබෝල් ශූරතාවය (කොළඹ විශ්ව විද්‍යාලයීය කණ්ඩායම සමඟ) සහ අන්තර් විශ්ව විද්‍යාල බීච් වොලිබෝල් ශූරතාවය (කොළඹ විශ්ව විද්‍යාලයීය කණ්ඩායම සමඟ) දිනා ගත්ත ලංකාවේ එකම ක්‍රීඩකයා මමයි.

සම්මාන ගැන කිව්වොත්,

2009 DSI 6න් පහළ හොඳම ක්‍රීඩකයා,

2012 ශ්‍රී ලංකා පාසල් වර්ණලාභියෙක්,

2015/16/17/18 කොළඹ විශ්ව විද්‍යාලයීය සහ අන්තර් විශ්ව විද්‍යාලයීය විශේෂ වර්ණලාභියෙක්,

2018 කොළඹ විශ්ව විද්‍යාලයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානයට නම් යෝජනා වීම

2017 මංචි ජාතික වොලිබෝල් ශූරතාවයේ දක්ෂතම පන්දු ගොඩගන්නා,

2017 රූපවාහිනී වොලිබෝල් ශූරතාවයේ දක්ෂතම පිටිය ආරක්ෂකයා. ඒ වගේ සම්මාන ලැබිලා තියෙනවා.

සඳුන්, කලාතුරකින් දැකිය හැකි පන්නයේ ක්‍රීඩකයෙකු යැයි මා කියන්නේ එබැවිනි. ඔහුගේ ක්‍රීඩා දක්ෂතා ද, දක්ෂතා ප්‍රදර්ශනය කොට ඇති ඉඩකඩ ද, උගත්කම ද, සමාජීය සම්බන්ධතා හැසිරවීමේ දක්ෂතාවය ද එක් මිනිසෙකුට පිහිටන්නේ කලාතුරකිනි.

සඳුන් කනිෂ්ඨ කණ්ඩායම සමඟින්

සඳුන් විදෙස් තරගාවලි/සංචාර වලට සහභාගී වෙලා තියෙනව ද? ඒ මොනව ද?

ඔව්. 

“2009 ඉන්දියාව. ඉන්දු – ශ්‍රී ලංකා සාම කුසලාන වොලිබෝල් තරගාවලිය,

2011 ආසියානු පාසල් වොලිබෝල් ශූරතාවය (ඉරානය),

2012 ආසියානු කනිෂ්ඨ වොලිබෝල් ශූරතාවය (ඉරානය),

2018 ලෝක විශ්ව විද්‍යාලාන්තර වොලිබෝල් ශූරතාවය (ජර්මනිය),

2015-2019 විවිධ ක්‍රීඩා සමාජ ශූරතා තරගාවලි සඳහා මාලදිවයිනටත් ගිහින් තියෙනවා.

ඔබ කනිෂ්ඨ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්. එහි දී ලැබුණු අත්දැකීම්?

“2011 ආසියානු පාසල් ශූරතාවයට සහභාගි වීම මුල්ම අත්දැකීම වුනා, ඒත් හදිසියේම කණ්ඩායමේ හිටපු ලිබරෝ ක්‍රීඩකයා තරගාවලියේ පළමු තරගයේ දී ම ආබාධයකට ලක්වුන නිසා මට උස පන්දු ප්‍රහාරකයෙකුගේ භූමිකාවෙන් ඈත් වෙලා පුහුණුකරුගේ කැමැත්ත මත ලිබරෝ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරන්න වුනා. වත්මන් ඉරාන කණ්ඩායමේ ඉන්න දක්ෂ ක්‍රීඩකයෙකු වෙන මිලාද් එබාදිපෝර් තමා අපි ඒ ගිය ටූනමන්ට් එකේ බෙස්ට් ප්ලේයර් වුනේ. අති දක්ෂ ක්‍රීඩකයෙකු වූ ඔහු එක්ක ක්‍රීඩා කිරීම මට ලොකු අත්දැකීමක් වුනා.

“2012 වසර මගේ වොලිබෝල් ජීවිතයේ මගේ දක්ෂතා උපරිම තිබුණ අවුරුද්ද කියලා මං හිතනවා. ඒ වසරේ දී ආසියානු කනිෂ්ඨ ශූරතාවයට අපි සහභාගි වුනා ඉරානෙදී.  එහි දී අපේ පළමු තරගය තිබුණේ ජපන් කණ්ඩායම සමඟ. ඒ තරගයේ මං ඉතා හොඳින් ක්‍රීඩා කරා. තරගය ඉවර වෙලා අපි ජපන් ක්‍රීඩකයන්ට අතට අත දීලා සමු අරන් එද්දී ජපන් ප්‍රධාන පුහුණුකරු විශේෂ කරලා මාව හොයන් ආවා. ඇවිත් මගේ ක්‍රීඩා විලාශයට ඔහු ඉතා කැමති බවත්, කුඩා ක්‍රීඩකයෙක්ගෙන් මේ වගේ දෙයක් දැකීම ඉතා දුර්ලභ බවත්, පවසා මගේ ක්‍රීඩා අනාගතයට සුබ පැතුවා. ඒ වගේම කන්නේ මොනවාද කියලත් ඇහුවා හිනා වෙලා…”

ජපානය වගේ අතිවිශිෂ්ට කණ්ඩායමක ප්‍රධාන පුහුණුකරුගේ අවධානයට ලක්වීම, ඒ වගේ අදහස් දැක්වීමක් අහන්න ලැබීම මට ලොකු සතුටක් සහ ක්‍රීඩාව වෙනුවෙන් තවත් උනන්දුවක් ඇති කරන දෙයක් වුනා. අද වර්තමානයේ වුනත් කොට ක්‍රීඩකයන් වෙන යූජී නෙෂීඩා එහෙම ජපානය වෙනුවෙන් ක්‍රීඩා කර අතිවිශිෂ්ට දස්කම් පෙන්වන්න ඒ වගේ පුහුණුකරුවෝ හේතු වෙනවා ඇති කියලා මං හිතනවා. ඒ වගේම එම තරගාවලියේ දී ප්‍රබල කසකස්තාන් කණ්ඩායම පරාජයට පත් කරන්න අපි සමත් වුනා.

ඒ වගේම ජර්මනියේ තිබුණ ලෝක විශ්ව විද්‍යාලයීය බීච් වොලිබෝල් තරගාවලිය මගේ ජීවිතේ ලොකුම ජාත්‍යන්තර මට්ටමේ වොලිබෝල් අත්දැකීම වුනා. ක්‍රීඩකයෙක් විදියට වගේම සාමාන්‍ය මිනිහෙක් විදිහට මගේ ජීවිතයට ඒ තරගාවලියෙන් ගත්ත අත්දැකීම් බොහෝමයි.

වැඩි උසක් තිබීම වොලිබෝල් ක්‍රීඩාවට හොඳ ය. එහෙත් ඇතැම් ක්‍රීඩකයන් විශේෂ දක්ෂයන් ය. ඔවුන්ව ඔප මට්ටම් කළ හැකිය. උදාහරණයක් ලෙස හෙවිවෙයිට් බොක්සිං ශූර මයික් ටයිසන් අනෙකුත් හෙවිවෙයිට් ශූරයන්ට සාපේක්ෂව මිටි ක්‍රීඩකයෙකි. එහෙත් ගුරුත්ව කේන්ද්‍රයට වඩාත් ළං වීම නිසා ජනනය වන ඔහුගේ පහරවල් වල බර අනෙකුත් ක්‍රීඩකයන් අභිබවා ගියේය. උසෙහි අඩුකම නිසා සඳුන් විමලසේන මෙතෙක් ශ්‍රී ලංකා ජාතික ජ්‍යෙෂ්ඨ කණ්ඩායම නියෝජනය කර නැත.

සඳුන් සාමාන්‍ය වොලිබෝල් ක්‍රීඩකයෙකුගේ උසට සාපේක්ෂව උස ක්‍රීඩකයෙක් නෙමෙයි. ඒකට ඔබ අභියෝග කරන්නේ කොහොමද?

ලොකුම අභියෝගය වුනේ පාසල් කණ්ඩායම තුළ ක්‍රීඩා කරනවාට වඩා ජාතික මට්ටමේ වෘත්තීයමය තරග ක්‍රීඩා කරද්දී. මං අර කලින් කිව්වා වගේ මං මුලින්ම පුහුණුවීම් වලට යද්දී මං ඉතා කුඩයි. එතකොට මට වයස 11/12 වගේ. මාව ගන්නේ බොහෝ වෙලාවට පන්දු ගොඩගැනීම් සහ පන්දු ලබාගැනීම් වගේ දේවල් වලට. එතකොට ඒ කාලෙ වුනත් පුහුණුකරු මාව උනන්දු කළේ මං ලිබරෝ ක්‍රීඩකයෙක් කරන්න. 

ඒත් මගේ ආසාව තිබ්බේ ප්‍රහාරක ක්‍රීඩකයෙක් වෙන්න. කොහොම හරි මගේ සම වයසේ ක්‍රීඩකයන් සමඟ මං ක්‍රීඩා කරද්දි මට වැඩි අවස්ථාවක් ලැබුණා ප්‍රහාරක ක්‍රීඩකයෙක් විදියට. ඒ විදියට ආරම්භ වුන ප්‍රහාරක ක්‍රීඩක භූමිකාව අද වෙනකම් බොහෝ බාධක මැද කරගෙන යනවා ඉතින්.

ලංකාව තුල බොහෝ දෙනා වොලිබෝල් ක්‍රීඩකයෙක්ගේ දක්ෂතාවය තීරණය කරන්නේ මුලින්ම ශරීර ප්‍රමාණයෙන්. මට බොහෝ කණ්ඩායම්වල ක්‍රීඩා කරද්දි මුල්ම දවසේ ලැබෙන අත්දැකීමක් තමයි පුහුණුකරුවෝ සහ කණ්ඩායම් කළමනාකරුගෙන් ලැබෙන පසුගාමී අදහස් දැක්වීම්. ඒත් පළමු දවස එහෙම වුනත්, මට ගොඩක් වෙලාවට පුළුවන් වෙනවා කල් යාමේ දී මගේ දක්ෂතා සහ ඒවා කණ්ඩායමේ ජයග්‍රහණයට කොහොමද උපයෝගී කරගන්න පුළුවන් කියලා පුහුණුකරුට මෙන්ම කණ්ඩායමට හඟවන්න. 

දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයෙක්, තරග දිනවන ක්‍රීඩකයෙක් කියන්නේ ඩෝං ගාලා ඩෑෂ් පහරක් එල්ල කරන්න විතරක්ම සමත්වෙන කෙනා නෙමෙයි. අන්න එතන දී මං සාර්ථක ක්‍රීඩකයෙක් විදියට කණ්ඩායමේ මා වෙනුවෙන් තැනක් හදාගන්නවා. කණ්ඩායම් නායකයාට, පුහුණුකරුට, ක්‍රීඩකයන්ට මං ගැන මගේ හැකියාව ගැන විශ්වාසයක් ඇති කරන එක මගේ මූලික උත්සාහය. එතන ජයග්‍රහණය කරොත්, මගේ උස කියන ප්‍රශ්නය බලපෑම් කරන්නෑ.”

හැමෝම කතා වෙන ඔබේ විශේෂත්වයක් තමයි ඉපිලීම. ඒක උපතින් ආ දෙයක් ද? පුහුණුවෙන් ආ දෙයක් ද?

මං හිතන්නේ ඒ කොටස් දෙකේම මිශ්‍රණයක්. මං අර මුලින්ම කිව්වා වගේ මං ඉස්සර නොදැනුවත්ව ගොඩා…ක් ෆුට් සයිකල් පදිනවා. ඒ වගේම නිතර ගඟේ පීනනවා. ඒ දේවල් නිසා මගේ කකුල් වල සහ උදරය ආශ්‍රිත මාංශපේෂි ශක්තිමත් වීම නිසා මගේ ඉපිලීමේ හැකියාව වැඩිදියුණු වෙන්න ඇති කියලා හිතෙනවා. ඒ දේ හරියටම කියන්න බෑ. පොඩි කාලේ ඉඳන් මං උත්සාහ කරා මං උසින් අඩු නිසා අනිත් උස ක්‍රීඩකයන්ගේ ආවරණවලට හසුනොවෙන්න ප්‍රහාර එල්ල කරන්න. ඒ සිතුවිල්ලත් මේ දේ වර්ධනය වෙන්න බලපාන්න පුළුවන්.

කවුරුත් කතා වෙන සඳුන්ගේ ඉපිලීම

ඒ වගේම මං පෞද්ගලිකව ඒක එන්ජෝයි කරනවා. පසුකාලීනව පුහුණුවීම් වලදී විශේෂයෙන් ඉපිලීම වර්ධනය කරගන්න කියලා මුකුත් කරේ නම් නෑ. අනිත් ක්‍රීඩකයන් කරන සාමාන්‍ය දේවල් තමා කරේ. මට මේ වගේ උත්තරයක් දෙන්න පුළුවන්. උපතින් 30%යි, කුඩා කාලේ නොදැනුවත්ව කරපු දේවල් නිසා 40%යි, සාමාන්‍ය හැමෝම කරන ව්‍යායාමවලින් 30%යි මගේ ඉපිලීමට බලපෑවා කියලා.

උගත්කම සහ බුද්ධිය ඕනෑම ක්‍රීඩාවකට වැදගත් වෙන්නේ කොහොමද?

මං දැඩිව විශ්වාස කරන දෙයක් ක්‍රීඩාවක් ජාත්‍යන්තර මට්ටමින් ජයග්‍රහණය කිරීමට මේ උගත්කම සහ බුද්ධිමය බව ඉතා වැදගත් කියලා.”

අපි ” ක්‍රීඩාව” කියලා ගත්තාම ඒකෙ කොටස් ගොඩක් තියෙනවා. බුද්ධිමත් බව මේ හැම පාර්ශවකින්ම ඉහල මට්ටමකට ආව තැන, ඒ ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය අපිට බලාගන්න පුළුවන් . උගත්කම සහ බුද්ධිය එක්ක බොහෝ විට විනය කියන එක නිකන්ම හැදෙනවා. විනයක් තියෙන තැන එක් ඍජු ඉලක්කයකට යන එක ගොඩක් පහසුයි. නිවැරදි තීන්දු, නිවැරදි ඉලක්ක, මේ තුළින් අපිට ගන්න පුළුවන්.”

වෘත්තීය වොලිබෝල් ක්‍රීඩකයෙක් වෙන එක අධ්‍යාපනයට බාධාවක් නෙමෙයි කියලා ඔබ ඔප්පු කරලා තියෙනවා. අධ්‍යාපනයෙන් දැන් ඉන්න තැන සහ අධ්‍යාපනය සාර්ථක කරගන්න කළ කැපකිරීම මොන වගේ ද?

විශාල කැපකිරීමක් කරා. මොකද අනිත් ළමයින් ඉස්කෝලෙ ගිහින්, ටියුෂන් ගිහින් විභාගේ ලියද්දී මං ඉස්කෝලෙ ටියුෂන් කට් කරගෙන පුහුණුවීම් සහ මැච් වලට ගිහින් ඒ අය ලියන පේපර් එකටම ඒ තරගෙටම ලියන්නත් ඕනි. පැත්තකින් ඉඳලා බලන කෙනෙක්ට ඒ දේ කොයිතරම් අවාසිදායක ද කියලා හිතෙන්න පුළුවන්. ඒත් ඒක තමයි ඉතින් අභියෝගය. ඒ ගැන හිත හිත ඉන්නේ නැතිව කොහොම හරි ඕනි ටාගට් එකට යන්න උත්සාහ කරා.”

උදේ 7.00- 10.30 පුහුණුවීම්, ආයේ හවස 2.00-5.30 පුහුණුවීම්. පන්තියේ උගන්නන ටික නෝට් අරන් යනවා ගෙදර යද්දී. ගෙදර එනකොට හවස 6.30-7.00 වගේ වෙනවා. වොෂ් එකක් දාලා කාලා නිදාගන්නවා රෑ 9 වෙද්දී. ආයේ ඇහැරෙනවා පාන්දර 3ට. පාන්දර 3 ඉඳන් නෝට් ලියන පාඩම් කරන දේවල් කරලා ආයේ උදේ ඉස්කෝලෙ ගියා. පස්සේ පස්සේ ඒ වෙලාට පාන්දර 1-2 කරා. 

ඔහු දුලභ ගණයේ වර්ණලාභියෙකි

විශ්ව විද්‍යාලයේ ‍යන වසර 4 තුළම හරියට දේශනවලට සහභාගි වෙන්න වුනේ පළමු වසරේ විතරයි. මේ කාලේ ගොඩක් වෙලාවට ටී.වී. එකේ යන මැච් අපේ බැච් එකේ ළමයි වගේම ඩිපාර්ට්මන්ට් එකේ ලෙක්චර්ස්ලත් බලනවා. ඒ නිසා බොහෝ වේලාවට ඔවුන්ගේ සහය ලැබුණා. නෝට්, කුප්පි, අසයින්මන්ට්ස්, ප්‍රසන්ටේෂන්වලදී උදව් වුනා. කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අංශය වගේම මගේ මිත්‍රයන් වෙන කේෂර බෙනරගම සහ සුරේෂ් මානගේත්.”

මං කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳව විශේෂවේදී උපාධිධාරියෙක්. ජාත්‍යන්තර වොලිබෝල් පුහුණු පාඨමාලා අදියර 1 මං නිමා කරනවා. ජාතික ඔලිම්පික් කමිටුවට සම්බන්ධ ක්‍රීඩා කළමනාකරණය පිළිබඳව පාඨමාලාවක් හැදෑරුවා. මේ දිනවල ග්‍රීසියේ ජාත්‍යන්තර ඔලිම්පික් ඇකඩමිය තුල ඔලිම්පික් අධ්‍යාපන, ක්‍රීඩා කළමනාකරණය සහ ඔලිම්පික් ක්‍රීඩා ඉසව් සංවිධානය පිළිබඳ විද්‍යාවේදී උපාධියක් හදාරනවා.”

සඳුන් විමලසේන සහ ඔහුගේ ප්‍රියතම ශ්‍රී ලංකා ක්‍රීඩක සමීර දිසානායක

ඔබේ ප්‍රියතම ශ්‍රී ලංකා ක්‍රීඩකයා?

වරාය අධිකාරී කණ්ඩායමේ සමීර දිසානායක. 

මං පොඩි කාලේ ඉඳන් ගොඩක් කැමතියි ඔහුගේ ක්‍රීඩා විලාශයට. ඔහුත් තරමක් මිටි ක්‍රීඩකයෙක්. ඒත් අති ප්‍රබල දැඩි ප්‍රහාර එල්ල කරන්න සමතෙක්. ඒ වගේම ඉහළ ඉල්පීමක් සහිත ක්‍රීඩකයෙක්.

ඔබේ ප්‍රියතම ජාත්‍යන්තර ක්‍රීඩකයා

“බ්‍රසීල කන්ඩායමේ “ගිබා” (ගිල්බර්ටෝ අමෞරි). 

ජාත්‍යන්තර මට්ටමේ ගත්තම උස අඩු ඉහළ ඉපිලීමක් තියෙන ක්‍රීඩකයෙක්. ඒ වගේම සෑම අතින්ම දක්ෂයෙක්. ප්‍රහාර එල්ල කිරීම, ආවරණය, පිරිනැමීම, ලබාගැනීම, පිටිය රැකීම, ආදී සියලුම අංශයන්ගෙන් ඔහු දක්ශයෙක්. ඒ වගේම ඔහුගේ ජීවිත කතාව ගත්තත් ඉතාම දුක්බර අඩියක ඉඳලා උඩට ආව අති දක්ෂයෙක්.

බ්‍රසීල ක්‍රීඩක ගිල්බර්ටෝ අමෞරි නොහොත් “ගිබා”

ඒ වගේම ඔහු දැන් FIVB සමඟ එක්ව ඔහුගේ දැනුම සහ අත්දැකීම් අනෙකුත් රටවල් සහ ක්‍රීඩකයන් සමග බෙදාගැනීමට කටයුතු කරනවා. මං එක් වරක් මගේ විදෙස් මිතුරෙකු මාර්ගයෙන් ඔහු සමඟ දුරකතනයෙන් සංවාදයේ යෙදෙන්න භාග්‍යවන්ත වුනා.”

අපේ රටේ ක්‍රීඩකයන් සහ ජාත්‍යන්තර ක්‍රීඩකයන් අතර තිබෙන වෙනස්කම්?

“ජාත්‍යන්තර මට්ටමත් කොටස් 3කින් දකින්න කැමතියි මං. 

“දකුණු ආසියානු මට්ටම, ආසියානු මට්ටම සහ ලෝක මට්ටම කියලා. ශරීර උස මට්ටම ප්‍රමාණාත්මක බව අතින් ගත්තම දකුණු ආසියාව දිනන්න, ආසියාවේ ජයග්‍රහණයක් ලබාගන්න සුදුසු මට්ටමක අපේ ක්‍රීඩකයන් ඉන්නවා කියලා මං විශ්වාස කරනවා. නමුත් ලෝක මට්ටමට යද්දී අපේ උස මට්ටම සහ ශරීර ශක්ති මට්ටම අතින් අපි පහළ මට්ටමක ඉන්නේ.” 

“අනිත් දේ, තාක්ෂණික අතින් අපි ඉතාමත් පහළම අඩියක ඉන්න බවයි මගේ මතය. ඉදිරිය සැලසුම් කිරීම තුලින්, ටාගට් එකක් තියාගෙන ඒ වෙනුවෙන් වැඩකිරීම අතින් අපි ගොඩක් දුර්වල මට්ටමක ඉන්න බව මගේ අදහසයි. ඔබ කලින් අර සඳහන් කරපු විදිහට, ක්‍රීඩාවේ බුද්ධිමත් බව සහ උගත් බව මේ වෙනස්කම්වලට ඍජු හේතුව ලෙසයි මං දකින්නේ. මේ සියලු දේවල් වලින් උඩට එන්න අපි ක්‍රීඩකයන්ගේ සිට ඉහළ නිලධාරි මට්ටම දක්වා නිවැරදි, දීර්ඝකාලීන සැලසුමක් අනුව කටයුතු කළ යුතු බව තමයි මගේ අදහස.

ලෝක මට්ටමට යන්නට නම් අප කරගත යුතු යහපත් වෙනස්කම්?

“ජාත්‍යන්තර වොලිබෝල් ලෝකයට ශ්‍රී ලංකා වොලිබෝල් විවෘත කිරීම.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට විදෙස් ක්‍රීඩකයන් සමඟ දේශීය තරගාවලි තරග කිරීමට අවශ්‍ය පරිසරය නිලධාරීන් විසින් සැකසීම. 

නිවැරදි මූල්‍යමය විනිවිදභාවයක් පිළිබදව අනුග්‍රාහකයන්ව සතුටු කිරීම තු

සඳුන් විමලසේන විදෙස් ක්‍රීඩකයන් දෙදෙනෙකු සමඟින්

ළින් හා ඔවුන්ට වැඩි වාසිදායි තත්වයන් නිර්මාණය කරමින් ඔවුන්ගෙන් වැඩි සහයක්, අවධානයක් වොලිබෝල් සඳහා ලබාගැනීම.

ජාතික සංචිත තෝරන විට අත්දැකීම් සහිත විදෙස් පුහුණුකරුවන් අතරට ලංකාවේ නැගී එන නව පුහුණුකරුවන් පත්කිරීම. ජාත්‍යන්තර පුහුණුකරුවන් සමඟ ඔවුන්ගේ අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව සැලසීම. (මේ තත්වයන් දැනටමත් ආසියාවේ ප්‍රබලයන් වන චීන/ජපන්/ඉරාන/කටාර් කණ්ඩායම්වලින් පවා අනුගමනය කරනවා).

ක්‍රීඩකයන් ට නිවැරදි ” ක්‍රීඩා අධ්‍යාපනයක්” ලබා දීමත් අපි කළ යුතුයි.

ආබාධ ඇතිවීම සහ කළමනාකරණය ගැන ඔබට තියෙන අත්දැකීම් සහ අදහස්?

මුලින්ම මගේ දණහිසේ ආබාධයක් එන්නේ 2008 වසරේ. කුරුණෑගල රෝහලේ ක්‍රීඩා වෛද්‍යවරයෙක් තමයි ඒක සුව කරන්නේ. ඊටපස්සෙ 2009 වසරේ මගේ උරහිසේ ආබාධ තත්වයක් එනවා. ඒ නිසා මට අධ්‍යාපන කටයුතු කිරීමට පවා බැරි තත්වයක් එනවා. අඩුම තරමින් පෑන අරන් ලියන්න බැරි තත්වයක් දක්වා ඒක ගියා. නවලෝක රෝහලේ වෛද්‍ය හරිඳු විජේසිංහ තමයි ඒ ආබාධය සුව කරන්නේ. ඊට පස්සේ 2017/18 /20 වළලුකර ආබාධයන්ට ලක්වෙනවා. මේ ටිකේ ඒ දේවල්වලට දීර්ඝකාලීන ප්‍රතිකාර කරනවා වෛද්‍ය හීමන් ද සිල්වා යටතේ.” 

“මේ වගේ ආබාධ වලට මූලිකම හේතුව තමයි , වොලිබෝල් පුහුණුවීම් පිළිබඳව නිවැරදි තාක්ෂණික ක්‍රම ගැන අවබෝධයක් ක්‍රීඩකයෙක් විදියට මට නොතිබීම. දැන් දැන් මං ඉගෙන ගන්න දේවල් එක්ක මට අවබෝධයක් තියෙනවා මේ දේ වෙන්න හේතුව මේකයි, ඒ නිසා මට මේ දේ කලින් කරන්න තිබ්බා කියලා. වොලිබෝල් විතරක් නෙමෙයි, ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ගොඩ දෙනෙකුට මේ ආබාධයක් ඇති වුනාම ඒක කළමනාකරණය කිරීම” ගැන ලොකු අවබෝධයක් නෑ. ආබාධයක් ඇතිවීමට පෙර එය වැළැක්වීම පිළිබඳවත් ලොකු අවබෝධයක් නෑ. අපි තාමත් ඒවා ඉගෙන ගන්නවා. අපි ඒ ගැන ඉගෙන ගන්න ප්‍රමාණය සහ වේගය රටක් විදියට මදි කියලයි මං හිතන්නේ.” 

ඒ වගේම ආබාධයකට ලක්වුනාම ඒක හොඳ කරගන්න නිවැරදි තැනකට යොමු නොවීමත් ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නයක්. පිළිගත් වෛද්‍යවරයෙක් ළඟට යොමුවෙන්න ඕන මුලින්ම. මේ සියල්ලටම වඩා ක්‍රීඩකයට උවමනාවක්, අධිෂ්ඨානයක් සහ දැඩි උනන්දුවක් තියෙන්න ඕනි කොහොම හරි මේ ආබාධය සුව කරගන්නවා කියලා.”

ඔබ බීච් වොලිබෝල් ක්‍රීඩා කරලා තියෙනවා. මොනවද එහි සහ සාමාන්‍ය වොලිබෝල් ක්‍රීඩාවේ වෙනස්කම්?

මූලික වශයෙන් නීති රීති වල වෙනස්කම් කීපයක් තියෙනවා. සාමාන්‍ය වොලිබෝල් ක්‍රීඩාවට වඩා අතිශය වැඩි වෙහෙසක් දරන්න ඕනි බීච් ක්‍රීඩා කරද්දි. ඒ වගේම දරාගැනීමේ ශක්තිය, කපටිකම, බුද්ධිය වගේ දේවල් ඉතා වැදගත්. අපේ රටට ජාත්‍යන්තර තරග දිනන්න පුළුවන් හොඳම ඉසව්වක් තමයි බීච් වොලිබෝල්. ඉතාම අවම පහසුකම් යටතේ වඩා හොඳ පුහුණුවීම් කරන්න පුළුවන් බීච් වොලිබෝල් වලදී. අවශ්‍ය වන්නේ කෝට් එකක් (වෙරළ පිටියක්), බෝල කිහිපයක්, ක්‍රීඩකයන් දෙදෙනා සහ පුහුණුකරුවන් පමණයි. මේ තත්වයන් අපි වගේ ක්‍රීඩාවට අවම පහසුකම් සපයන රටකට ගැළපෙනවා.

සඳුන්, මියුනික් සංචාරයක් අතරතුර

ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වෙලා දිගටම ක්‍රීඩා කරන්න ලැබුනොත් මොනවද බලාපොරොත්තු?

මට ජාතික කණ්ඩායම නියෝජනය කරන්න දැන් මේ වෙද්දී නම් කිසිදු බලාපොරොත්තුවක් නෑ. මොකද ඒ සඳහා ගැළපෙන උස මට්ටමක් උස පන්දු ප්‍රහාරකයෙක් ලෙස නොතිබීම. නමුත් දේශීය මට්ටමේ තරගාවලි සඳහා මගේ අවධානය මං යොමු කරනවා.

ජීවිතයේ අනාගත බලාපොරොත්තු?

බලාපොරොත්තු ගොන්නක් තියෙනවා. අපි ආයෙත් හම්බවුණු දවසක ඒවා සාර්ථක වුනොත් මේ වගේම ලිපියකින් කියන්නම්.

මෙතෙක් ආපු ගමන ගැන ස්තුති කරන්න ඕන කාටද?

“මගේ දෙමව්පියන්ට ප්‍රධාන ලෙසම ස්තුතිවන්ත වෙනවා මං වෙනුවෙන් ගොඩක් දහඩිය මහන්සිය හෙළලා මා වෙනුවෙන් කරපු දේවල්වලට. ඒ වගේම මගේ පාසල් කාලයේ පුහුණුකරු මෙන්ම වත්මන් CEB කණ්ඩායමේ පුහුණුකරු වන චමින්ද ජයරත්න පුහුණුකාරතුමාට ස්තුතිවන්ත වෙනවා. 

1 වසරේ සිට 13 වසර තෙක් මට අධ්‍යාපනය ලබා දුන් සියලුම පාසල් ගුරු මාපියවරුන්ට ස්තුතිවන්ත වෙනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අංශයේ මෙන්ම ජාත්‍යන්තර ඔලිම්පික් ඇකඩමිය තුළ මට අධ්‍යාපනය ලබා දෙන සියලුම කථිකාචාර්යවරුන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම වත්මන් නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා, අභියෝග රැසක් එක්ක ඉදිරියට යද්දී එතුමාගේ සහාය, ශක්තිය නිතැතින්ම ලැබුණා මට.”

ඒ වගේම ජාතික කනිෂ්ඨ සංචිත වල ඉන්නකොට එහෙ හිටපු පුහුණුකරුවෝ වන කුමාර් වෙන්ඩකෝන්, තාරක රත්නවීර, චාල්ස් තිලකරත්න, චන්න ජයසේකර, L. C. ඒකනායක, මහේෂ පෙරේරා, මහේෂ් අබේරත්න, අජන්ත දහනායක, ලෙනෝරා මහත්මයා යන පුහුණුකාරතුමන්ලා උදව් කරා.” 

සඳුන් විමලසේන, අනාගතයට ආයෝජනයකි

මාලදිවයින් රාජ්‍යයේ වෘත්තීයමය ක්‍රීඩකයෙකු ලෙස මට මගේ ක්‍රීඩා ජීවිතය ගොඩනගා ගැනීමට 2015 ඉඳන් අද වෙනකම් මට උදව් කරන මගේ කළමනාකරු ඉස්මයිල් සමා මහතා සහ මාලදිවයින් පාර්ලිමේන්තු නියෝජිත අමාදි මොහොමඩ් මහතා. හිටපු ජාතික කණ්ඩායම් නායක ජනිත සුරත්, උපනායක ගයාන් මදුසංක, වත්මන් නායක දීප්ති ‍රොමේෂ්, යුද හමුදා කණ්ඩායම් ක්‍රීඩක කෝසල සේනාරත්න. මොවුන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විදියට මට දීපු සහාය අප්‍රමාණයි.

ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩාව ඉදිරියට යන්නට නම් සඳුන් විමලසේන වැනි ක්‍රීඩකයින් සහ විද්යාර්තයන් අවශ්‍ය වන්නේ මක්නිසා දැයි ලිපිය කියවූ ඔබට මේ වන විටත් නිසැක බව පැහැදිලි ය. “ක්‍රීඩාවෙන් එපිට ක්‍රීඩාව” වන පරිපාලනය තුළට ද ඇවැසි වන්නේ තරුණ, දක්ෂ, උගත්, බුද්ධිමත් සඳුන් වැනි කාර්යශුරයන්ය. එදවස එන තෙක් අපි බලා සිටිමු. සඳුන් විමලසේනට අපගේ උණුසුම් සුබ පැතුම්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<