ප්‍රංශ ක්‍රීඩකයින්ට අවසන් මහා තරගයට පෙර උණ ගැනෙයි!

FIFA World Cup 2022

3820
France squad attacked by virus

ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයින් දෙදෙනෙකුට (18) ආජන්ටිනාවට එරෙහිව පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට සහභාගී වීම අවිනිශ්චිත තත්වයක ඇති දැනගන්නට ලැබෙනවා.

ප්‍රංශ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම වයිරසයක් ආසාදනය වී ඇති බවත්, එම ක්‍රීඩකයින් ඊයේ (16) දිනයේ කණ්ඩායම සමඟ පුහුණුවීම් වලට සහභාගී නොවුනු බවත් ESPN වෙබ් අඩවිය මගින් වාර්තා කරනවා.

එම වාර්තාවලට අනුව ප්‍රංශයේ ආරක්ෂක පෙළේ ප්‍රධානතම ක්‍රීඩකයින් දෙදෙනෙක් වන Raphael Varane සහ Ibrahima Konate යන දෙදෙනාට ම මෙම වයිරසය ආසාදනය වී තිබෙනවා.

ඔවුන් දෙදෙනා ද ඇතුළුව ප්‍රංශ ක්‍රීඩකයින් පස් දෙනෙකුට (අනෙක් තිදෙනා වන්නේ Dayot Upamecano, Adrien Rabiot, Kingsley Coman යන අයයි) මෙම වයිරසය නිසා ඊයේ පුහුණුවීම් මග හැරී ඇති අතර, ඉන් Raphael Varane සුළු වශයෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන නමුත් Ibrahima Konateට සිය කාමරයෙන් හෝ පිට වීමට ඉඩක් නොලැබෙන තරමට අසනීප වී ඇති බවයි වාර්තාවල සඳහන් වෙන්නේ.

ප්‍රංශ පුහුණුකරු Didier Deschamps විසින් ඒ සම්බන්ධයෙන් සඳහන් කළේ එම ක්‍රීඩකයින් මෙම වයිරසය තවදුරටත් කණ්ඩායම් සාමාජිකයින් අතරේ පැතිර නොයන ලෙස ආරක්ෂා සහිතව සිටින බවයි.

“දෝහාවල උෂ්ණත්වය මදක් පහළ බැහැලා තිබුනත්, ඔබට වායු සමීකරණ නැතුව නම් ඉන්න අමාරුයි.

අපට උණ කියලා සලකන්න පුළුවන් විදිහේ රෝග ලක්ෂණ කිහිපයක් ම හමුවෙලා තියෙනවා. එය පැතිර නොයන ලෙස ආරක්ෂා වෙන්න අපි උත්සාහ ගන්නවා. ක්‍රීඩකයින් ඒ වෙනුවෙන් පිටියෙන් පිටත දී ගොඩක් උත්සාහ කරනවා. ඇත්තටම ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගොඩක් දුර්වල වෙලයි තියෙන්නේ.”

මොරොක්කෝවට එරෙහි අවසන් පූර්ව තරගයෙන් පසුව ප්‍රංශ පුහුණුකරු එලෙස මෙම වයිරසය පිළිබඳ තොරතුරු හෙළි කළා.

Upamecano සහ Rabiotගේ සෞඛ්‍ය තත්වය මේ වන විට යහපත් අතට හැරී ඇති බවත්, ඔවුන් බොහෝ විට ආජන්ටිනාවට එරෙහි තරගයට ක්‍රීඩා කිරීමට ඉඩ පවතින බවත් ESPN විසින් තව දුරටත් වාර්තා කරනවා.

“Upamecanoට හොඳ වේවි, ඔහු දවස් තුනක් තිස්සේ ඒ තරම් ම හොඳින් නෙවෙයි හිටියේ. ඒ උණ ඔහුගේ ශරීර ශක්තියට බලපෑමක් එල්ල කළා.

එදා තරගයේ දී (මොරොක්කෝවට එරෙහිව) ඔහුව ක්‍රීඩා නොකරන්න තීරණය කළේ ඒ නිසා. ඔහු වෙනුවට මම Konateව එදා ක්‍රීඩා කෙරෙවුවා.

Rabiotනුත් අද හවස් වෙද්දී පෙරට වඩා හොඳින් හිටියා, නමුත් ගොඩක් ම හොඳින් නෙවෙයි. ඒ නිසා ඔහු හෝටලයේ ම හිටියා පුහුණුවීම්වලට එන්නේ නැතුව. ඔහු අනිවාර්යයෙන් ම ඉරිදා තරගයට සහභාගී වේවි.”

මේ අනුව මෙවර ලෝක කුසලානය වෙනුවෙන් සූදානම්ව සිට, පසුව ලෝක කුසලානයට සහභාගී වීමට නොහැකි වූ සහ තරගාවලිය අතරමැද කණ්ඩායමෙන් ඈත් වීමට සිදු වූ ප්‍රංශ ක්‍රීඩක සංඛ්‍යාව (Paul Pogba, N’Golo Kante, Karim Benzema, Presnel Kimpembe, Lucas Hernandez සහ Christopher Nkunku ක්‍රීඩකයින් ද ඇතුළුව) තවත් ඉහළ යනවා.

මේ අතර තම කණ්ඩායම මෙම වයිරසය කණ්ඩායම තුල පැතිර යාම පිළිබඳ කනගාටු වීමට කාලය වෙන් නොකරන බව ප්‍රංශ ක්‍රීඩක Ousmane Dembele ප්‍රකාශ කළා.

“අපි වයිරසයට බය නැහැ, Dayot, Adrien දෙන්නට පොඩි බඩේ රුදාවක් හැදුණා. මම ඒ දෙන්නට ඉඟුරු, මී පැණි දාලා තේ හදලා දුන්නා. ඒකෙන් ඒ අයට ගොඩක් හොඳ වුනා. මම හිතන්නේ හැමෝම අවසන් මහා තරගය වෙනුවෙන් සූදානම්.”

මෙවර පාපන්දු ලෝක කුසලානයේ සියලු තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<