2015 වසරේ මෙරට ක්‍රිකට් තරු අැගයෙන ඩයලොග් – ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඊයේ පස්වරුවේ කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව අනාවරණය කෙරුනු අතර එම සම්මාන උළෙල නිල වශයෙන් දියත් කිරීමද එහිදී සිදු කෙරුණි.

පසුගිය ලිපි: ලංකාවත් දකුණු අප්‍රිකාවත් කරට කර සටනක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවන් සම්මාන උළෙලක් සංවිධාන කරන 8වන අවස්තාව මෙය වන අතර, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දුරකථන සේවා සම්පාදක සමාගම වන ඩයලොග් ආසිආටා සමාගම නොකඩවා ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලට නොකඩවා සවිබලය සපයන සිවුවන අවස්ථාවද මෙයයි.

ජාත්‍යන්තර ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 දස්කම් මෙන්ම දේශීය තරගාවලි රැසක දක්ෂයින්ද මෙම සම්මාන උළෙලේදී අැගයීමට නියමිතව ඇත. අන්තර් සමාජ ප්‍රිමියර් ලීග්, අන්තර් සමාජ පළමු පෙළ එක්දින, නැගී එන කණ්ඩායම් තරගාවලිය, සරා කුසලාන, දොනාවන් සහ අන්ඩ්‍රී කුසලානය, වයස 23න් පහල සහ කාන්තා දේශීය තරගාවලිද, සම්මාන පිරිනැමෙන දේශීය තරගාවලි අතරට ඇතුලත් වෙයි.

ඡායාරූප ඇල්බමය

” කෙනෙකු සිදුකරන කැපවීමට ලැබෙන අගය කිරීම සහ පිළිගැනීම ජාත්‍යන්තර ක්‍රීඩකයන්ට මෙන්ම දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද ඉතාම වැදගත්. එමගින් ඔවුන්ට මානසික ශක්තියක් වගේම ඉදිරියට යාමට මහත් පිටු බලයක්ද ලැබෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ වාර්ෂික සම්මාන උළෙල තවත් බොහෝ ඉදිරියට ගමන් කරයි කියලා.” මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

2015 වසරේ දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයනු වස් පිරිනැමෙන මුළු සම්මාන සංඛ්‍යාව 65කි. පසුගිය සම්මාන උළෙලේදී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මාන දිනාගත් අතර වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා සම්මානය හිමි වූයේ කුමාර් සංගක්කාරටයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා මාධ්‍ය සාකච්ඡාව අමතමින් මෙසේ පැවසීය. ” ඩයලොග් – ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා අැගයෙන උච්ඡතම ස්ථානයයි. මෙම උත්කර්ෂවත් අවස්තාව අපේ සිංහයන් අතර සුපිරි තරු අගයමින් ඔවුන්ගේ ඉදිරි ගමන් මග පරිපූර්ණත්වය වෙත ගෙන යාමට කදිම තෝතැන්නකි.”

මෙවරත් වසරේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පිරිනමනු ලබන්නේ ජනතා මනාපය අනුවයි. ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ඕනෑම දුරකතනයකින් DPP<හිස්තැනක්>ක්‍රීඩකයාගේ නම සඳහන් කර 2343ට SMS පණිවුඩයක් එවීමෙන් තම මනාපය පල කළ හැකියි. එසේ නොමැතිනම් www.cricketawards.online වෙබ් අඩවිය හරහාද තම මනාපය පල කල හැකියි. ජනප්‍රියම ක්‍රීඩකයා සඳහා නිර්දේශිත ක්‍රීඩකයන් 16 දෙනාගේ ඡායාරූප ඇතලත් ඇල්බමයක් ඩයලොග් ආසිආටා ෆේස්බුක් පිටුවේ මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ThePapare.com ෆේස්බුක් පිටු වලත් ප්‍රදර්ශනය කෙරෙනු ඇති. ක්‍රීඩා ලෝලීන්ට තමන් කැමති ක්‍රීඩකයාගේ ඡායාරූපයට LIKE  කිරීම මගින් තම මනාපය ප්‍රකාශ කිරීමටද අවස්තාව ලබා දී තිබේ.

වසරේ ජනප්‍රිය ක්‍රීඩකයා සම්මානය සඳහා මනාප ප්‍රකාශ කිරීම සිදුකල හැක්කේ අගෝස්තු 24 වන බදාදා මධ්‍යහන 12 සිට සැප්තැම්බර් 20 වැනිදා මධ්‍යම රාත්‍රිය තෙක් පමණි.

ඩයලොග් ආසිආටා සමාගම මෙවරත් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ සාඩම්බර අනුග්‍රාහක සමාගම ලෙස කටයුතු කරන්නේ මෙරට බිම් මට්ටමේ දක්ෂයන් හඳුනාගෙන ඔවුන් සවිබල ගන්වමින් ජාතික සහ ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමේ සමාජ මෙහෙවර ඉටු කිරීමට ලබාදෙන දායකත්වයේ ද කොටසක් වශයෙනි.

”නොකඩවා සිවුවන වරටත් ඩයලොග් – ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලට අනුග්‍රාහකත්වය සැපයීමට ලද අවස්තාව අප සමාගමට ලැබුණු විශාල ගෞරවයක්” ඩයලොග් ආසිආටා සමාගමේ සන්නාම සහ මාධ්‍ය සාමාන්‍යාධිකාරී හර්ෂ සමරනායක මහතා පවසයි.

වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශිත නම් 16 මෙසේයි. –

ඇන්ජලෝ මැතිව්ස්, ධම්මික ප්‍රසාද්, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, දිල්රුවන් පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, කුමාර් සංගක්කාර, කෞෂාල් සිල්වා, ලහිරු තිරිමාන්න, ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප්, නුවන් කුලසේකර, රංගන හේරත්, සුරංග ලක්මාල්, තිසර පෙරේරා, ටී,එම් ඩිල්ශාන්

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට