ලොකු කුසල්ට කොරෝනා! දකුණු අප්‍රිකා තරගාවලියත් මග හැරෙන ලකුණු

387

ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරුවෙකු මෙන්ම කඩුලු රකින්නෙකු ද වන කුසල් ජනිත් පෙරේරා හට COVID-19 වයිරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වනවා.

පසුගිය දින කිහිපයේ දී ආබාධ තත්වයකට ප්‍රතිකාර ගනිමින් සිටි කුසල් නැවතත් පුහුණු සංචිතය සමඟ එකතු වීමේ අරමුණෙන් PCR පරීක්ෂාවකට යොමු වී තිබෙන අතර එහි දී ඔහු ආසාදිතයෙකු බවට හඳුනා ගෙන තිබෙනවා. 

ඒ අනුව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලිය ද ඔහුට මග හැරි යන බව වාර්තා වෙනවා. 

අවසන් වරට බංග්ලාදේශ සහ එංගලන්තය සමඟ ශ්‍රී ලංකාවෙන් එපිට පැවති තරගාවලි දෙකක දී තරග 9ක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වනු ලැබුවේ කුසල් පෙරේරා විසිනි. නමුත්, නිමා වූ ඉන්දීය තරග සංචාරයේ සිට නැවතත් එක්දින සහ විස්සයි විස්ස සංචිත ද්විත්වයේම නායකත්වය 29 හැවිරිදි ක්‍රීඩක දසුන් ශානක වෙත ලබා දීමට තේරීම් කමිටුව තීරණය කර තිබුණා. 

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය එළඹෙන සැප්තැම්බර් 2 වැනිදා සිට 14 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව ජෛව ආරක්ෂිත වටපිටාවක දී පැවැත්වීමට නියමිතයි.

ICC එක්දින සුපර් ලීගයේ තරග තුනක් ඇතුළත් මේ තරගාවලිය පසුගිය වසරේ දී පැවැත්වීමට නියමිතව තිබුණු නමුත් COVID-19 වයිරසයේ ගෝලීය ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් එම තරගාවලිය කල් දැමුණා.

තරග කාලසටහන:

  • පළමු එක්දින තරග – සැප්තැම්බර් 2
  • දෙවැනි එක්දින තරගය – සැප්තැම්බර් 4
  • තෙවැනි එක්දින තරගය – සැප්තැම්බර් 7
  • පළමු විස්සයි විස්ස  තරගය – සැප්තැම්බර් 10
  • දෙවැනි විස්සයි විස්ස  තරගය – සැප්තැම්බර් 12
  • තෙවැනි විස්සයි විස්ස  තරගය – සැප්තැම්බර් 14

තරගාවලියේ සියලු තොරතුරු මෙන්ම ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ThePapare.com තුලින් ඔබ වෙත. රැඳී සිටින්න ශ්‍රී ලංකා අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<