තුන් ඉරියව්වේ නව මාන සෙවූ දේදුනු දේශයේ සූරයා!

4326

දිනය 1997 වසරේ දෙසැම්බර් 30 වැනිදා. ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ අවසන් දිනය තමයි එදාට යෙදිලා තිබුණේ.

මෙල්බර්න් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මේ තරගය පස්වැනි දිනයට ආරම්භ කෙරෙන විට දකුණු අප්‍රිකානු කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු තවත් ලකුණු 302ක් ලබා ගැනීමට ඉතිරි වී තිබුණා. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය කර තිබුණේ කඩුලු 9ක්.

මේ අවස්ථාවේ දී මෙල්බර්න් තණතීරුව දඟපන්දු යවන්නන්ට ඉතා සුදුසු ස්වරූපයක් පෙන්නුම් කරමින් තිබුණා. ලොව එතෙක් මෙතෙක් බිහි වූ අග්‍රගණ්‍යම දඟපන්දු යවන්නන් අතරින් ඉදිරියෙන්ම සිටින ෂේන් වෝන් මේ තරගයේ ඕස්ට්‍රේලියානු ජයග්‍රහණය වෙනුවෙන් සම්පූර්ණ බර දරනු ඇති බවට අනාවැකි කියවුණා.

තරගය ආරම්භ වී මොහොතක් ගත වෙද්දී ඇඩම් බැකර් සහ ඩැරල් කලිනන් ක්‍රීඩාගාරයට හරවා යවන්නට වෝන් සමත් වුනා.

දකුණු අප්‍රිකානුවන්ට නියත පරාජයක් පෙනෙන්නට තිබුණ අවස්ථාවක ඔවුන්ගේ ගැලවුම්කරුවා ලෙස ඉදිරියට පැමිණියේ 22 හැවිරිදි තරුණයෙක්.

විශාල සහජ හැකියාවක්, විශාල බලාපොරොත්තු ගොන්නක් සහිතව දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කරන්නට පැමිණි මේ තරුණ ක්‍රීඩකයාට ඒ වන තෙක් තමන්ගේ දක්ෂතාවයට සාධාරණයක් ඉටු කරන්න හැකි වෙලා තිබුණේ නැහැ.

තමන් එතෙක් ක්‍රීඩා කළ ටෙස්ට් තරග 6 තුළ ඔහු රැස් කරගෙන තිබුණේ යාන්තම් ලකුණු 118ක් පමණයි. අවශ්‍යතාවය වුනේ නායක හැන්සි ක්‍රෝන්යේ සහ සෙසු පිතිකරුවන් සමඟ එක්ව දිනය පුරාවටම පන්දුවට පහර දීම.

ග්ලේන් මැග්‍රාත්, මයිකල් කැස්ප්‍රෝවිච්, පෝල් රයිෆල් සහ ෂේන් වෝන් පන්දු යවන්නන් එල්ල කළ දරුණු අභියෝගය හමුවේ දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට එය ලෙහෙසි පහසු කටයුත්තක් වුනේ නැහැ.

තරගයේ පස්වැනි දිනයේ තේ පානයට මොහොතකට පෙර ස්ටීව් වෝ එල්ල කළ පන්දුවක් තර්ඩ්මෑන් කලාපයට යොමු කරමින් සිය මංගල ටෙස්ට් ශතකය කරා යන්නට අප කතානායක දකුණු අප්‍රිකානු තරුණයා සමත් වුනා.

අධිෂ්ඨානශීලී ලෙස ක්‍රීඩා කළ මේ තරුණයාගේ අනර්ඝ ඉනිම නිසාවෙන් තරගය ජය පරාජයෙන් තොරව නිමා කරගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායමට හැකියාව ලැබුණා.

මේ තරුණයාගේ නම ජාක් කලිස්!

1975 වසරේ ඔක්තෝබර් 16 වැනිදා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරයේ දී උපත ලද ජාක් හෙන්රි කලිස්ගේ ක්‍රිකට් ක්‍රීඩාව පිටුපස දැවැන්ත සෙවණැල්ල ඔහුගේ පියා. හැබැයි කුඩා ජාක් දක්ෂ වුනේ ක්‍රිකට් ක්‍රීඩාවට විතරක් නෙවෙයි ඔහු රග්බි ක්‍රීඩාවටත් අති දක්ෂයෙක්.

1987-88 කාලයේ මම ජාක් ක්‍රීඩා කරන පාසල් තරගයක් බලන්න ගියා. ඔහු ඒ තරගයේ දී ආරක්ෂිත හිස්වැස්මක් පැළඳගෙන ක්‍රීඩා කළේ. ඒ දවස්වල පාසල් ක්‍රීඩකයින් හෙල්මට් පාවිච්චි කරන්නේ නෑ. විශේෂයෙන්ම කුඩා වයසේ දරුවෝ. මේ නිසා ඔහු උසුළු විසිළුවලට ලක්වුනා. හැබැයි කුඩා ජාක්ට ඒක ප්‍රශ්නයක් වුනේ නැහැ. ඔහු කරන්නේ මොකක්ද කියලා ජාක් හොඳින්ම දැනගෙන හිටියා.”

ජාක් මූලික අධ්‍යාපනය ලැබූ වයින්බර්ග් විදුහලේ ප්‍රධාන ආචාර්යවරයා කීත් රිචර්ඩ්සන් තමාගේ ගෞරවනීය සිසුවා ගැන මතකය අවධි කළේ ඒ ආකාරයෙන්.

වයින්බර්ග් විදුහලේ ක්‍රිකට් කණ්ඩායම. මේ ඡායාරූපයේ මැදපෙළ දකුණු පස කෙළවරේ සිටින්නේ කලිස්.

ඉතාම ළාබාල වයසක දී ජාක්ගේ මව මියයෑම කලිස් පවුලට එල්ල කළේ විශාල බලපෑමක්. නමුත් ඒ අභාවය පවුලක් ලෙසින් ඔවුන් ඉතා කිට්ටුවෙන් ඇදබැඳ තබන්නට සමත් වුනා.

ඇත්තටම ජාක්ගේ සාර්ථකත්වයෙන් වැඩි කොටසක් යන්න ඕන ඔහුගේ තාත්තාට. තාත්තා කෙනෙක් විදියට ජාක්ට ඕන හැම තැනකම ඔහු හිටියා. පුහුණුවීම් අතරතුර ඔහු ජාක්ට පන්දු දසදහස් ගානක් විසි කරන්න ඇති,” රිචර්ඩ්සන් මහතා තවදුරටත් පැවසුවා.

ගොඩක් දරුවෝ විශාල සහජ හැකියාවකින් යුක්තයි. එයාලට ක්‍රීඩාව ඉදිරියට කරගෙන යන්න ලොකුවට මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. අනෙක් දරුවන් විශාල ලෙස මහන්සි වෙනවා සහජ හැකියාව උපරිම තලයේ ඇති දරුවන්ගේ මට්ටමට එන්න. අනෙක් පසින් ජාක් කලිස් වගේ කෙනෙක් ඉන්නවා. සහජ හැකියාව උපරිමයි හැබැයි හිතා ගන්න බැරි තරම් මහන්සි වෙනවා තමන්ගේ ක්‍රීඩාව වෙනුවෙන්” ජාක් කලිස්ගේ සමකාලීනයෙකු වන පැඩී අප්ටන්ට ජාක් ගැන ඇත්තේ එවන් මතකයක්.

පාසල් පිටියේ අති විශේෂ දක්ෂතා දැක්වූවත් වතාවක් ඔහුව 15න් පහළ ප්‍රාන්ත කණ්ඩායමෙන් ඉවත් කර තිබුණා. එය කාටත් පුදුම දනවන්නක් වුනා.

‘බලාගෙන ඉන්න, කවදාහරි දවසක මම ඔවුන්ට පෙන්වන්නම් මම කවුද කියල’

ජාක්ගේ ප්‍රතිචාර වුනේ එහෙම. ඇත්තටම කිව්වොත් ඔහු කාටකාටත් ජාක් කලිස් කියන්නේ කවුද කියන හොඳින්ම පෙන්නුවා,” ප්‍රධාන ආචාර්ය රිචර්ඩ්සන්ට අනුව ජාක් කලිස් නම් තරුණයාට තිබුණේ ගල් හිතක්. පිටස්තරයින් කියන දේවල්වලින් ඔහුගේ මනස අවුල් කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.

දකුණු අප්‍රිකාවේ බටහිර ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ජාක් පළමුපෙළ වරම් දිනා ගනිද්දී වයස අවුරුදු 18යි.

1995 වසරේ දෙසැම්බර් මාසයේ සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගන්න ජාක් කලිස් කියන 20 හැවිරිදි තරුණයා සමත් වෙනවා. නමුත් මේ තරගයේ දී පිත්තෙන් හෝ පන්දුවෙන් විශේෂ යමක් කරන්න ඔහුට හැකියාවක් ලැබුණේ නැහැ. කොහොමත් මේ තරගය වර්ෂාව නිසා හේදිලා ගියපු තරගයක්.

1996 ලෝක කුසලාන තරගයක දී ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගන්න සමත් වුන ජාක් කලිස් කියන අනර්ඝතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෝකයාට දැක බලාගන්න පුළුවන් වුනේ 1998 වසරේ බංග්ලාදේශයේ පැවති පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ දී.

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව සිය පළමු එක්දින ශතකය කරා යන කලිස්

ජාක් මේ තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව සිය මංගල එක්දින ශතකය රැස් කරන්න සමත් වුනා විතරක් නෙවෙයි පන්දු යවන්නෙක් විදියටත් පන්දු රකින්නෙක් විදියටත් අනර්ඝ දස්කම් මාලාවක් පෙන්නුම් කළා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති අවසන් මහා තරගයේ දී ඔහු කඩුලු පහක් දවා ගන්න සමත් වුනා. එදා මෙම තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේත් ජාක් කලිස් කියන තරුණයා විසින්.

90 දශකයේ අග කාලයේ සිට ජාක් කලිස් නම් ක්‍රීඩකයා පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉතාම ශීඝ්‍රයෙන් ඉදිරියට පැමිණි අතර පන්දු යවන්නෙකු ලෙස සහ පන්දු රකින්නෙකු ලෙසත් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලබා දුන්නේ විශාල දායකත්වයක්.

ඉදිරි දශක එකහමාරක කාලය ඇතුළත ලොව බිහි වූ අග්‍රගණ්‍යම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු කරා පැමිණි ගමනේ දී ජාක් කලිස්ට සිය පාසල හෝ පාසල් මිතුරන් අමතක වී තිබුණේ නැහැ.

කොයිතරම් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහළට ගියත් ඔහුට පාසල අමතක වී තිබුණේ නැහැ. හැම වෙලාවෙම ඔහු පාසල ගැන හොයලා බැලුවා. ඒ වගේම අපි 2009  වසරේ වයින්බර්න් පාසලේ ප්‍රධාන ක්‍රීඩා පිටිය නම් කළා ‘ජාක් කලිස් ඕවල්’ කියලා.” රිචර්ඩ්සන් ප්‍රධාන ආචාර්යවරයා කියන්නේ ජාක් කලිස් නම් අද්විතීය ක්‍රීඩකයාට මුල අමතක නැති බව කියමින්.

ජාක් කලිස් ඕවල් ක්‍රීඩා පිටිය.

ජාක් කලිස් නම් තුන් ඉරියව් සුරුවාගේ තරග දිවිය සැකෙවින්,

ටෙස්ට් තරග 166ක දී ජාක් කලිස් වාර්තා කර ගත් ලකුණු සංඛ්‍යාව 13,289ක්. ඊට ටෙස්ට් ශතක 45ක් සහ අර්ධ ශතක 58ක් ඇතුළත්. ඉනිමක සාමාන්‍ය 55.37ක් තරම් ඉහළ අගයකින් යුක්තයි.

පන්දු යැවීමේ දී කලිස් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 292ක්. පන්දු රකින්නෙකු ලෙස උඩපන්දු 200ක් ඊට ඇතුළත්.

එක්දින තරග 328ක දී ලකුණු 11,579ක් රැස්කර ගන්නත් කඩුලු 273ක් බිඳ දමන්නත් කලිස් සමත් වුනා. උඩපන්දු 131ක් ද ඊට ඇතුළත්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<