ඩේවිඩ් වෝනර්ට රෙස්ලිං ශූරයෙකුගෙන් අභියෝගයක්!

5149

ක්‍රිකට් ක්‍රීඩාවේ පැරණිතම ද්වන්ධ සටන එසේත් නොමැති නම් අළුබඳුන තරගාවලිය මේ දිනවල එංගලන්තයේ දී පැවැත්වෙමින් තිබේ. 

මෙවර තරගාවලිය අන් කවරදාකටත් වඩා උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙන අතර මෙම ලිපිය තුලින් අවධානය යොමු කරනු ලබන්නේ අළුබඳුන තරගාවලියේ නොඅසා ඇති කතා කිහිපයක් පිළිබඳවයි. 

ප්‍රතිවාදියා වෙනුවෙන් පෙරවදන ලියූ ඕස්ට්‍රේලියානුවන්ගේ මාරයා 

80 දශකයේ යම් දිනයක නොටිංහැම්ෂයරය සහ එංගලන්තය නියෝජනය කළ වේගපන්දු යවන්නෙකුට වෙනත් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ චරිතාපදානයක පෙරවදන ලියන්නට ආරාධනාවක් ලැබුණි. 

ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් සිටි එංගලන්ත ජාතිකයාට පොතක පෙරවදනක් ලිවීමට එතරම් කැමැත්තක් තිබුණේ නැත. 

පොතට කරුණු කාරණා වීමට නියමිත ක්‍රීඩකයාගේ නම ඇසීමටත් පෙර තමා වෙත ආ ආරාධනාව ඉතාම කාරුණිකව ප්‍රතික්ෂේප කරන්නට ඔහු තීරණය කර තිබුණේය. නමුත් පොතේ කතුවරයා ලෙහෙසියෙන් ඉංග්‍රීසි ජාතික ක්‍රිකට් ක්‍රීඩකයා හැරයන්නට සූදානම් වූයේ නැත. 

“දැන් කා ගැනද ලියන්න තියෙන්නේ?” 

අවසානයේ වයෝවෘද්ධ ක්‍රිකට් ක්‍රීඩකයා ඇසුවේය. 

පොතේ කතුවරයාගෙන් එහි කතානායකවරයාගේ නම ඇසූ කල්හි ඔහුගේ මතකය දශක ගණනාවක් එපිටට ඇදී ගියේය. 

සිය මංගල ටෙස්ට් තරගයේ ශතක මායිමෙන් ඔබ්බට පැනගන්නට කවර් පෙදෙස හරහා එල්ල කළ අගනා හතරේ පහර ඔහුගේ මතකයට ආවේ නිතැතිනි. 

එය තමා එල්ල කළ වේගවත්ම පන්දුවක් බව මෙනෙහි කළ එංගලන්ත ජාතික වේගපන්දු යවන්නා සිය ප්‍රතිවාදී හීන්දෑරි ඕස්ට්‍රේලියානුවාගේ මිත්‍රශීලී ස්වරූපය ද මතකයට නංවා ගත්තේය. 

තමා කඩුල්ලක් දවා ගත් විට සුබපතන ආකාරය ද, අසාර්ථක දිනයක් ගත කරන විට ප්‍රතිවාදියෙකු වුවත් තමා දිරිමත් කළ ආකාරය ද ඔහුට මතකය. 

හැරල්ඩ් ලාවුඩ් නම් 1932/33 බොඩිලයින් තරගාවලියේ දී ඕස්ට්‍රේලියානුවන් නැත්‍තටම නැති කළ සුප්‍රකට ඉංග්‍රීසි ජාතික වේගපන්දු යවන්නාට ආචී ජැක්සන් නම් සිය ප්‍රතිවාදියාගේ චරිතාපදානයේ පෙරවදන ලියන්නට සැලසෙන්නේ එලෙසය. 

සිය මංගල ටෙස්ට් තරගයේ දී ම ශතකයක් රැස් කළ ආචී ජැක්සන් ඔහුගේ සමකාලීනයෙකු වූ ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ඝනයේ පිතිකරුවෙකු බව බොහෝ දෙනාගේ මතය විය. 

නමුත් දෛවය ඔහු වෙනුවෙන් ලියා තිබුණේ වෙනත් සැලසුමකි. 

1932/33 අළුබඳුන තරගාවලිය හෙවත් සුප්‍රකට බොඩිලයින් තරගාවලිය ආරම්භ කෙරෙන සමයේ ආචි සිටියේ බ්‍රිස්බේන් නුවර රෝහලක ඇඳක් මත ජීවිතයත් මරණයත් අතර සටන් කරමින්ය.

ආචි ජැක්සන් 

බ්‍රිස්බේන් නුවර පැවති සිව්වැනි අළුබඳුන ටෙස්ට් තරගයට පෙර හැන්දෑවක එංගලන්ත කණ්ඩායම ආචි සිටි රෝහලට ගියෝය. ඒ උසස් ක්‍රීඩා රටාවක් හිමි සිය ප්‍රතිවාදියාගේ සුවදුක් බලන්නටය. එය ආචි එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් දැකගත් අවසාන අවස්ථාව විය. 

බ්‍රිස්බේන් ටෙස්ට් තරගය ක්‍රියාත්මක වන අතරවාරයේ තමා බැලීමට පැමිණි මිතුරෙකුගෙන් ඉතා අපහසු සහ දුර්වල ස්වරයකින් ලකුණු තත්වය විමසූ ආචි වැඩි වේලාවක් යන්නට මත්තෙන් සදහටම දෙනෙත් පියා ගත්තේය. 

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවට නැවුම් බලාපොරොත්තු රාශියක් ගෙන ආ ආචිබෝල්ඩ් ජැක්සන් නම් තරුණයා ක්ෂය රෝගයෙන් මෙලොව හැර යද්දී විසිතුන් හැවිරිදි වියේ පසුවිය. 

බ්‍රැඩ්මන් කියන හාදයා දවාලක වුනා නම් කොහොම ගහයි ද? 

1930 වසරේ එංගලන්තයේ පැවති අළුබඳුන තරගාවලියේ ලීඩ්ස්හිදී පැවති ටෙස්ට් තරගයේ එක් දිනක දී ලකුණු 300 ඉක්මවා ලකුණු රැස් කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඩොනල්ඩ් බ්‍රැඩ්ම්න් සමත් විය. 

ඕස්ට්‍රේලියානුවන්ගේ අළුබඳුන දස්කම් ගැන සෙසු ලෝකයා දැක්වූ අවධානයම ඕස්ට්‍රේලියානු ආදීවාසීන්ගේ ද නොඅඩුව තිබුණි.  

බ්‍රැඩ්මන්ගේ මෙම සුවිශේෂී දස්කම ගැන කේබල් පණිවිඩ ඔස්සේ ඕස්ට්‍රේලියාවට ආරංචි වූයේ මහ රාත්‍රියකය. 

එලෙස ඇබොර්ජීන් ආදිවාසියෙකුට බ්‍රැඩ්මන්ගේ දස්කම සැලවීමත් සමඟ මෙසේ කියවුණ බවක් කියවේ. 

“මේ බ්‍රැඩ්මන් කියන හාදයා කළුවර වැටුණ වෙලාවක මෙහෙම ගැහුව නම් දවාලක බැට් කළා නම් කොහොම ගහයි ද?” 

සහෝදරයාගේ වරදින් ටෙස්ට් ශතකයක් අහිමි වෙයි! 

ටෙස්ට් තරගයක ශතකයක් ලබා ගැනීම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩා ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවක්. ඒ වගේම අළුබඳුන ශතකයක් ලබාගැනීම ඕස්ට්‍රේලියානු හෝ එංගලන්ත ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩා ජීවිතයේ සුවිශේෂීම සංධිස්ථානයක්. 

නමුත් එවන් වටිනා ශතකයක් තමාගේ එක් කුස උපන් සහෝදරයාගේ වරදින් අහිමි වුවහොත්? 

1994 අළුබඳුන තරගාවලියේ පස්වැනි තරගය පැවැත්වුණේ පර්ත් නුවර වැකා ක්‍රීඩාංගණයේ දී. තරගයේ මුලින් පන්දුවට පහර දුන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි. එදා ඕස්ට්‍රේලියානු ඉනිමේ 9 වැනි කඩුල්ල බිඳ වැටෙන විට ස්ටීව් වෝ ශතකයකට ඉතා ආසන්න වෙමින් හිටියේය 

අවසාන කඩුල්ල ලෙස පිටියට ඒමට සිටි ක්‍රේග් මැක්ඩමර්ට් ඒ වන විට ආබාධයකින් පෙළුණේය. ඒ නිසා ඔහු පිටියට පැමිණියේ සහායක දුවන්නෙකු සමඟයි. මැක්ඩමර්ට් වෙනුවෙන් සහයට පැමිණයේ ස්ටීව්ට විනාඩි හතරක පරතරයකින් මෙලොව එළිය දුටු ඔහුගේ නිවුන් සහෝදරයා මාක්. 

අදාළ සිදුවීම සිදු වෙද්දී ස්ටීව් වෝ ලකුණු 99 ලබාගෙන ක්‍රීඩා කරමින් හිටියේය 

එංගලන්ත කණ්ඩායමේ ක්‍රිස් ලුවිස් එවූ පන්දුවකට ස්ටීව් ආරක්ෂිත පහරක් එල්ල කරනවාත් සමඟම මාක් ලකුණක් ලබා ගැනීමට පිටිය මැදටම දිව ගියේය. නමුත් ලකුණ වෙනුවෙන් ස්ටීව්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැත. තණතීරුව දිගේ ඉදිරියට ඇදී ආ පන්දුව රැකගෙන ලුවිස් පන්දු යැවූ අන්තයේ සිටි ග්‍රැහැම් ගූච්ට පන්දුව යොමු කළේය 

ගූච් කඩුල්ල බිඳ දමන්නට පෙර සීමාවට ළඟා වෙන්නට මාක්ට හැකි වෙන්නේ නැත. ඒ අනුව මැක්ඩමර්ට් දුවද්දී දැවී යද්දී අවාසනාවන්ත ලෙස ටෙස්ට් ශතකයක් ලබා ගැනීමේ වාසනාව ස්ටීව්ට අහිමිව ගියේය. 

ස්ටීව් යනු සාමාන්‍යයෙන් තද ගති ඇති ක්‍රීඩකයෙක්. ඒ මෙන්ම ලෙහෙසියෙන් ස්ටීව් තමන්ගේ කඩුල්ල ප්‍රතිවාදීන්ට දෙන කෙනෙක් ද නොවීය. නමුත් මේ සිදු වීම සිදුවන්නේ ඔහු හටයි. 

මාක් වෝගේ වරදින් ස්ටීව් වෝ දැවී ගිය අන්දම 

අදාළ සිදුවීම සමඟ ස්ටීව් වෝ තම සහෝදරයාගේ ක්‍රියා කලාපය ගැන තරමක් නොසතුටට පත්වූවත් පසුව ඔහු පැවසුවේ ශතකය අහිමි වීම ගැන තමන් ද වරදකරුවෙකු බවයි. 

“එවැනි දේවල් ක්‍රිකට් ක්‍රීඩාවේ සාමාන්‍ය දේවල්. මගේ අතෙත් වරදක් තිබෙනවා. ටිකක් උත්සහ කළා නම් මට ඊට කලින් ශතකය ලබා ගන්න තිබුණා,” ස්ටීව් පසුකලෙක ප්‍රකාශ කළේ සම්පූර්ණ වරද මාක් අතේම නොවන බව අඟවමින්. 

ඩේවිඩ් වෝනර්ට රෙස්ලිං ශූරයෙකුගෙන් අභියෝගයක්! 

2013 වසරේ අළුබඳුන තරගාවලිය අතරතුර එංගලන්ත කණ්ඩායමේ ජෝ රූට් සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඩේවිඩ් වෝනර් රාත්‍රි සමාජශාලාවක දී ගැටුමකට මැදිවුණේය. ජෝ රූට්ට දරුණු ලෙසින් පහර දුන් ඩේවිඩ් වෝනර්ට එක්තරා ඇමෙරිකානුවෙකුගෙන් වීඩියෝවක ස්වරූපයෙන් පණිවුඩයක් ලැබුණේය. එය පණිවුඩයකටත් වඩා අභියෝගයකි.

“ඩේවිඩ් වෝනර් සහෝදරයා, උඹ මේක නරඹනවා කියල මම දන්නවා. ඊළඟ වතාවේ උඹට කාට හෝ අනින්න ඕන වුනාම උඹේ ප්‍රමාණයට ගැළපෙන, අඩුම ගාණේ බාහුවක් අඟල් 24ක් වත් තියෙන එකෙක් තෝරගනින්.” 

වෝනර්ට අභියෝග කළ හෝගන් 

මෙම අභියෝගය වෝනර්ට ලබා දෙන්නේ WWE’ හි පුරාවෘත්තයක් බඳු හල්ක් හෝගන්ය. එමෙන්ම හෝගන් 2013 අළුබඳුන තරගාවලිය 5-0 ලෙස එංගලන්ත කණ්ඩායම ජයගන්නා බවටත් අනාවැකියක් ද පළ කළේය. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<