හිරුෂ ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ පරිසාදන කඩඉම පසුකරයි

ජාතික මලල ක්‍රීඩා පළමු තේරීම් තරගාවලිය 2022

450
irst National Athletics Trail 2022 Day 02

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් 2022 ආසියානු ක්‍රීඩා උළෙල සහ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය ඉලක්ක කර ගනිමින් සංවිධානය කරන මෙම වසරේ පළමු මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ දෙවැනි දිනයේ තරග ඉසව් අද (11) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වුනා.

දෙවැනි දිනයේ ඉසව් ආරම්භ කරමින් පැවති කාන්තා මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වෙන් පළමු තැන දිනා ගැනීමට එහි ජාතික ශූරී නිලානි රත්නායක සමත් වුනේ මිනිත්තු 9:47.47ක කාලයකින් තරගය අවසන් කරමිනුයි.

එහි කනිෂ්ඨ අංශයේ පිරිමි ඉසව්ව මිනිත්තු 11:09.50ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය ලබා ගැනීමට ආර්. එල්. හේරත් සමත් වූ අතර මිනිත්තු 11:11.24ක කාලයකින් තරගය අවසන් කළ චමිඳු මලීෂ දෙවැනි තැන දිනා ගත්තා.

දිනයේ වැඩිම අවධානය දිනා ගත් ඉසව්වක් වූ මීටර් 200 තරගයේ කාන්තා අදියර තත්පර 24.40ක කාලයකින් පළමුවැන්නා ලෙස අවසන් කරන්නට රුමේෂිකා රත්නායක සමත් වුනා.

එහි දෙවැනි ස්ථානය තත්පර 24.52ක කාලයකින් ඉසව්ව අවසන් කළ එස්. එච්. ප්‍රනාන්දු විසින් දිනා ගද්දී, තත්පර 25.60ක කාලයකින් ඉසව්ව අවසන් කළ ජී. ඊ. ඉමේෂිකා හට හිමි වුනේ තෙවැනි තැනයි.

මීටර් 200 පිරිමි ඉසව්වේ ජය හිමි වුනේ තත්පර 21.04ක කාලයකින් ඉසව්ව අවසන් කළ මොහොමඩ් සෆාන් හටයි. එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් ඩී. සී. පියුමාල් (තත්පර 21.37) සහ දිලීප් රුවන් (තත්පර 21.51) විසින් දිනා ගත්තා.

තරගාවලියේ අද වාර්තාව එකම වාර්තාව ලෙස දුර පැනීම ඉසව්වේ මීටර් 7.67ක දුරක් වාර්තා කරමින් කනිෂ්ඨ ජාතික වාර්තාව අලුත් කරන්නට හිරුෂ හශේන්ට හැකි වූ අතර එම දස්කමත් සමඟින් ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමේ පරිසාදන මට්ටම ඉක්මවා යෑමට සමත් වීම විශේෂත්වයක්.

එම ඉසව්වේ දෙවැනි ස්ථානය මීටර් 7.36ක දක්ෂතාවයක් වාර්තා කළ පසිඳු මල්ෂාන්ට හිමි වූ අතර මීටර් 7.02ක දුරක් වාර්තා කළ සඳරු නෙත්සර හට හිමි වුනේ තෙවැනි ස්ථානයයි.

අද සවස් වරුවේ පැවති පිරිමි මීටර් 800 තරගය ජයග්‍රහණය කරමින් සිය ආධිපත්‍ය එලෙසෙම රඳවා ගැනීමට හර්ෂණ කරුණාරත්නට හැකි වුනේ මිනිත්තු 1:53.29ක කාලයකින් තරගය අවසන් කරමිනුයි.

එම තරගය මිනිත්තු 1:53.77ක කාලයකින් අවසන් කළ ආර්. පී. පුෂ්පකුමාර එහි දෙවැනි ස්ථානය දිනා ගද්දී, මිනිත්තු 1:53.77ක කාලයකින් තරගය අවසන් කළ එන්. ඩී. බුලත්පිටිය තෙවැනි ස්ථානය දිනා ගත්තා.

මීටර් 800 කාන්තා ඉසව්වේ ජයග්‍රහණය හිමි වුනේ මිනිත්තු 2:10.28කින් තරගය අවසන් කළ එම්. ඒ. කුමාරි හටයි. එහි දෙවැනි ස්ථානය විහාරි රණසිංහ (මිනිත්තු 2:13.61) විසිනුත්, තෙවැනි ස්ථානය ඩී. සඳකාන්ති (මිනිත්තු 2:13.87) විසිනුත් දිනා ගැනීමට සමත් වුනා.

එමෙන්ම අද දිනයේ සුවිශේෂී අවස්ථාවක් සටහන් කරමින් කාන්තා යගුලිය දැමීම ඉසව්වේ දීර්ඝ කාලීන ශූරිය වූ තාරිකා ප්‍රනාන්දු (මීටර් 12.63) පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගැනීමට යොවුන් ක්‍රීඩිකා ඔෂිනි චන්ද්‍රසේකර (මීටර් 12.67) සමත් වීම කැපී පෙනුණා.

>>දිනයේ සම්පූර්ණ තරග ප්‍රතිඵලය<<

තරගාවලියේ තෙවැනි සහ අවසන් දිනයේ තරග ඉසව් හෙට (12) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලූම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<