2022 පාපන්දු ලෝක කුසලානයේ කාණ්ඩ තෝරා අවසන්

පාපන්දු ලෝක කුසලානය 2022

2362
FIFA World Cup 2022 Group Stage Draw

මෙම වසරේ පැවැත්වීමට නියමිත ලොව විශාලතම ක්‍රීඩා තරගාවලියක් වන 2022 පාපන්දු ලෝක කුසලානයේ කණ්ඩායම් කාණ්ඩවලට බෙදා වෙන්කිරීම ඊයේ (02) සිදු කෙරුණා.

තරගාවලිය නොවැම්බර් 21 වැනිදා සත්කාරක කටාර් දේශය සහ ඉක්වදෝර් අතර පැවැත්වීමට නියමිත A කාණ්ඩයේ තරගයකින් ආරම්භ වන අතර එදිනම සෙනගාලය සහ නෙදර්ලන්තය ද තරග වැදීමට නියමිතයි.

වත්මන් පාපන්දු ලෝක ශූරයන් වන ප්‍රංශය D කාණ්ඩයෙන් තරග වැදීමට නියමිත අතර එම කාණ්ඩය සඳහා ඔවුන්ට අමතරව ඩෙන්මාර්කය, ටියුනීසියාව සහ සුදුසුකම් ලබා ගැනීමේ තරගවලින් ජය ගන්නා කණ්ඩායමක් ද ඇතුළත්.

හිටපු ලෝක ශූරයන් වන ස්පාඤ්ඤය සහ ජර්මනිය E කාණ්ඩයෙන් එකිනෙකා හමුවීමට නියමිතව තිබිය දී, එම කාණ්ඩය සඳහා ප්‍රබල ආසියානු කණ්ඩායමක් වන ජපානය ද ඇතුළත්ව තිබෙනවා.

දේශපාලනික වශයෙන් යම් විරසකයක සිටින ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය B කාණ්ඩයෙන් තරග වැදීමට නියමිත අතර ඔවුන් ලෝක කුසලානයක අවසන් වරට මුණගැසුණු අවස්ථාවේ ජය ලබා තිබුණේ ඉරානයයි.

ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ අවධානයක් දිනා ගත් ආජන්ටිනාව C කාණ්ඩයෙන් මෙවර තරගාවලියට එක් වෙද්දී, පෘතුගාලයට හිමි වුනේ H කාණ්ඩයයි.

මීට අමතරව පස්වතාවක් ලෝක කුසලානය දිනා ගත් ප්‍රබල කණ්ඩායමක් වන බ්‍රසීලය G කාණ්ඩයෙන් තරගාවලියට එක් වෙද්දී, එම කාණ්ඩය සඳහා තවත් පෙරළිකාර කණ්ඩායම් වන ස්විස්ටර්ලන්තය, සර්බියා සහ කැමරන් කණ්ඩායම් ඇතුළත්ව තිබුණා.

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් බෙදා වෙන්කිරීමේ අවස්ථාවට එක්වූ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රධානී Gianni Infantino ප්‍රකාශ කළේ, මෙවර තරගාවලිය පැවැත්වූ හොඳම තරගාවලිය වනු ඇති බවයි.

2022 පාපන්දු ලෝක කුසලානය නොවැම්බර් 18 වැනිදා සිට දෙසැම්බර් 18 වැනිදා දක්වා කටාර් හීදී පැවැත්වීමට නියමිත අතර එය මෙතෙක් මැද පෙරදිග පැවැත්වෙන විශාලතම පාපන්දු තරගාවලිය වීම විශේෂත්වයක්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<