සමුනුගේ අවසන් ගෝලයෙන් Gateway පාපන්දු කිරුළ දිනයි

අවුරුදු 20න් පහළ අන්තර් - ජාත්‍යන්තර පාසල් පාපන්දු ශූරතාවය

230
Gateway clinch championship

Royal Institute ක්‍රීඩකයින් ගෝල 4-3ක් ලෙස තියුණු සටනකින් පරදවා වයස අවුරුදු 20න් පහළ අන්තර් – ජාත්‍යන්තර පාසල් පාපන්දු ශූරතාවය සිය පාසලට දිනා දීමට Gateway ක්‍රීඩකයින්ට හැකි වුනා.

තරගය ආරම්භයේ සිටම ප්‍රතිවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කළ Gateway වෙනුවෙන් පළමු ගෝලය මිනිත්තු 17 දී රැස් කිරීමට Gateway ක්‍රීඩක Umur Shakilට හැකි වුනා.

20 වැනි මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වූ Umur Shakil තරගයේ දෙවැනි ගෝලයත් රැස්කිරීමට සමත් වුනේ Isa Fahim ලබා දුන් පන්දුවක් සාර්ථකව ගෝලය තුළට එල්ල කරමිනුයි.

තරගයේ පළමු අර්ධය අවසන් වීමට කෙටි වේලාවකට පෙර Isa Fahim ලබා දුන් පන්දුවක් ගෝලය තුළට එල්ල කරමින් සිය කණ්ඩායම පෙරමුණට ගෙන ඒමට ඔමෙත් ද සිල්වාට හැකි වුනා.

පළමු අර්ධය Gateway ක්‍රීඩකයින්ගේ ග්‍රහණයට යටත් වූවත් දෙවැනි අර්ධයේ 48 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Royal Institute ක්‍රීඩක ගීත් ප්‍රභාෂ්වර පැති පහර අවස්ථාවක් කෙළින්ම දැල තුළට එල්ල කරමින් සිය ගෝල දඩයම ආරම්භ කළා.

එම ගෝලයෙන් පන්නරය ගත් Royal Institute වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කිරීමට නායක අසීෆ් අහමඩ්ට හැකි වෙද්දී, 54 වැනි මිනිත්තුවේ දී ලද නිදහස් පහරක් සාර්ථක කර ගත් Hamdi Rahuman ගෝල තත්වය සමකරමින් සිය කණ්ඩායම නැවතත් තරගයට ගෙන ආවා.

නමුත් තරගය අවසන් වීමට කෙටි වේලාවක් තිබිය දී Royal Institute ක්‍රීඩකයින් සිදු කළ වරදක් නිසාවෙන් දඬුවම් රාමුව අසලදී හිමි වූ නිදහස් පහර එල්ල කිරීමේ වගකීම ගත් Gateway ක්‍රීඩක සමුනු කග්ගොඩාඅරච්චි සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

අවසන් ලකුණු තත්වය: Royal Institute 3-4 Gateway

  • තරගයේ වීරයා – Isa Fahim (Gateway College)
  • Golden Boot – Asif Ahmed (Royal Institute)
  • තරගාවලියේ වීරයා – Samunu Kaggodarachchi (Gateway College)

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<