බ්‍රිතාන්‍ය ඔලිම්පික් සුදුස්සන් තෝරන තරගාවලියට කොරෝනා හරස් වෙයි

65

ලෝකයටම හිසරදයක් වෙමින් පවතින කොරෝනා වයිරසය නිසාවෙන් මෙම වසරේ දී පැවැත්වීමට නියමිතව තිබූ බොහොමයක් මලල ක්‍රීඩා තරගාවලීන් කල් දැමීමට සංවිධායකයින් කටයුතු කළ අතර වයිරසයේ නවතම ගොදුර වී ඇත්තේ බ්‍රිතාන්‍ය මලල ක්‍රීඩා ශූරතාවලියයි.

ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ කාලසීමාව පස්සට යයි

මේ දිනවල පැතිර යන කොරෝනා වයිරසය නිසාවෙන් ජපානයේ ටෝකියෝ නුවර දී ……

මෙම වසරේ ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ බ්‍රිතාන්‍ය මලල ක්‍රීඩා ශූරතාවලිය අගෝස්තු මාසය දක්වා කල් දැමීමට බ්‍රිතාන්‍ය මලල ක්‍රීඩා සංගමය විසින් තීරණය කර ඇති අතර එරට පවතින වත්මන් තත්වය සැලකිල්ලට ගනිමින් සියලුම මලල ක්‍රීඩා තරග මැයි මස අග වනතුරු තහනම් කිරීමට ද බලධාරීන් මින් පෙර තීරණය කර තිබුණි. 

බ්‍රිතාන්‍ය ඔලිම්පික් සුදුස්සන් තෝරා ගැනීමේ තරගාවලිය ලෙස ද මෙම තරගාවලිය හැඳින්වෙන අතර මෙම වසරේ පැවැත්වීමට නියමිත යුරෝපානු මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ද ක්‍රීඩකයන් තෝරාගැනීම ද මෙම තරගමාලාව තුලින් සිදු වේ. 

කෙසේ නමුත් ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබා ගැනීමේ කාලසීමාව දෙසැම්බර් දක්වා නවතා දැමීමට අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය පසුගිය දා තීරණය කරන ලදි.

ඒ අනුව මෙවර බ්‍රිතාන්‍ය මලල ක්‍රීඩා ශූරතාවලිය අගෝස්තු මස 8 හා 9 යන දිනවල දී පැවැත්වීමට නියමිත අතර එමගින් එම මස 25 සිට 30 දක්වා ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත්වීමට නියමිත යුරෝපානු මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ද ක්‍රීඩකයින් තෝරාගැනීම සිදු වනු ඇත.

යුරෝපානු මලල ක්‍රීඩා තරගාවලිය තවමත් කල්දැමීමට හෝ අත්හිටුවීමට තීරණය කර නොමැති වුවත් මැයි මස පැවැත්වීමට නියමිත සාකච්ඡාවලින් අනතුරුව එම තරගාවලිය පිළිබඳව තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් තරගාවලිය ද වසරකින් කල් දැමීමට සංවිධායකයින් තීරණය කළ අතර ලොව පුරා පැවැත්වීමට සූදානම් කර තිබූ මැරතන් ධාවන තරගාවලි රැසක් ද කල් දැමීමට තරගාවලි සංවිධායකයින්ට සිදු වූයේ ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය හට මුල් තැන ලබා දෙමිනි.

දිනෙන් දින ලෝකයම අගාධයට ඇද දමමින් පැතිර යන කොරෝනා වයිරසය නිසාවෙන් මේ වන විට ලොව පුරා පුද්ගලයන් 87,000කට අධික පිරිසක් මියගොස් තවත් පුද්ගලයින් 1,491,000කට අධික පිරිසක් රෝගී තත්වයට පත්ව ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<