ශ්‍රී ලංකා පාපන්දුවට නැවුම් ආරම්භයක්!

FIFA Series 2024

175
FIFA Series 2024

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් පළමු වරට පවත්වනු ලබන FIFA Series 2024 තරගාවලියේ ශ්‍රී ලංකා අදියරේ තරග ඊයේ (22) ආරම්භ වුනා.

මෙහි දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අදියර සඳහා ශ්‍රී ලංකාවට අමතරව භූතානය, මධ්‍යම අප්‍රිකානු ජනරජය සහ පැපුවා නිව් ගිනියාව සහභාගී වනවා.

ඒ අනුව ශ්‍රී ලංකා අදියර ආරම්භ කරමින් ඊයේ සවස කොළඹ තුරඟ තරග පිටියේ දී මධ්‍යම අප්‍රිකාව සහ භූතානය තරග වැදුණා. මෙම තරගයේ දී භූතානයට එරෙහිව ගෝල 6 – 0ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට මධ්‍යම අප්‍රිකාව විසින් සමත් වූ අතර ඒ වෙනුවෙන් Vénuste Baboula සහ Karl Maxence Namnganda විසින් ගෝල දෙක බැගින් වාර්තා කළා.

මෙම තරගයෙන් අනතුරුව බොහෝ ශ්‍රී ලාංකිකයින් බලාපොරොත්තු තබා සිටි ශ්‍රී ලංකාව සහ පැපුවා නිව් ගිනියාව අතර තරගය තුරඟ තරග පිටියේ දී ම ඊයේ රාත්‍රියේ ආරම්භ වුනා.

කලකට පසුව ශ්‍රී ලංකා පාපන්දුව නවමු මුහුණුවරක් ගනිමින් මෙවර තරගාවලියට සහභාගී වන අතර, මේ නිසාම ශ්‍රී ලංකා පාපන්දු රසිකයින්ගෙන් ද මේ තරගය වෙනුවෙන් විශාල අවධානයක් යොමු වුනා.

ඒ නිසාම තුරඟ තරග පිටිය පිරී ඉතිරී යන ජනකායක් ද සහිතව තරගය ආරම්භ වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සුජාන් පෙරේරා හට හිමි වුනා.

මෙම තරගයේ දී දෙපිළ ම කරට කර තරග වැදුණු නමුත් ශ්‍රී ලංකාව අවස්ථා කිහිපයක දී ම ගෝල සීමාව ආසන්නයේ සිටිමින් දැරූ ගෝල ප්‍රයත්න කිහිපයක් ම අවාසනාවන්ත ලෙස අසාර්ථක වුනා.

තරගයේ පළමු අර්ධය මෙන්ම, සම්පුර්ණ තරගයම ගෝල වාර්තා වීමෙන් තොරව අවසන් වූ නමුත් මෙය අනාගත ශ්‍රී ලංකා පාපන්දුවට නැවුම් ආරම්භයක් ලබා දුන් බව නම් සැකයකින් තොරව සඳහන් කළ හැකි.

එමෙන්ම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් මට්ටමින් බැලූ කල පවා ශ්‍රී ලංකාව 204 වැනි ස්ථානයේ පසු වන නමුත්, පැපුවා නිව් ගිනියාව 165 වැනි ස්ථානයේයි පසු වන්නේ. එම නිසා ඊයේ තරගය ජය පැරදුමෙන් තොරව නිමා වූ නමුත්, එය ශ්‍රී ලංකාව පාර්ශවයෙන් ඉතා සතුටුදායක නිමාවක් ලෙස සැලකිය හැකි.

තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දීමට නියමිත මීළඟ තරගය එළඹෙන 25 වැනි දා රාත්‍රියේ භූතානය සමඟ පැවැත්වීමට නියමිතයි. එමෙන්ම එදින ම දහවල් මධ්‍යම අප්‍රිකාව සහ පැපුවා නිව් ගිනියා කණ්ඩායම් ද තරග වැදෙනු ඇති.

එම තරග විස්තර ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<