ජාතික පාපන්දු පුහුණුකරු ශ්‍රී ලංකා පාපන්දුවට සමුදෙයි

266

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ බොස්නියා ජාතික Amir Alagic මහතා සිය ගිවිසුම් කාලය අවසන් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සමඟින් එකඟ වූ බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිවේදනය කර සිටියා.

2020 පෙබරවාරි 15 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ බාර ගත් Amir Alagic මහතා 2022 පෙබරවාරි 15 වැනිදා පාපන්දු කණ්ඩායමේ තාක්ෂණික අධ්‍යක්ෂවරයා ලෙස ද පත්කරනු ලැබුවා.

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියෙන් රාජකාරි ආරම්භ කළ Amir Alagicගේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකාව දකුණු ආසියානු පාපන්දු ශූරතාවයට සහභාගී වූ අතර ඔවුන් එහි දී ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමඟ පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් වීම කැපී පෙනුණා.

ඉන්පසුව ශ්‍රී ලංකාවේ පැවති සිව්කොන් තරගාවලියේ දී ශ්‍රී ලංකාව ප්‍රබල බංග්ලාදේශ ක්‍රීඩකයින් පරාජය කිරීමට සමත් වූ අතර වසර 18කට පසුව පාපන්දු අනුශූරතාවයක් දිනා ගැනීමට ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා.

Amir Alagicගේ ධූර කාලය අවසන් කිරීමට ගත් තීරණය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා ප්‍රකාශ කළේ, මේ මොහොතේ රටේ ඇති තත්වය මත විදේශ මුදල්වලින් වැටුප් ලබන උසස් තනතුරු පවත්වා ගෙන යෑම අසීරු හෙයින් Amir Alagic සහ ලෝක පාපන්දු සම්මේලනය සමඟ සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම මෙම තීරණය මේ මොහොතේ රටට ඉතාමත් උචිත බව සහ Amir Alagicගේ ඉදිරි වෘත්තීය කටයුතුවලට ද යහපත් බව උමාර් මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියා.

සිය තනතුරට සමුදීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ Amir Alagic මහතා ප්‍රකාශ කළේ, තමන් රටින් පිටව ගිය ද මුළු හදවතින්ම ශ්‍රී ලංකා පාපන්දුවේ සංවර්ධනයට උදව් කිරීමට බලාපොරොත්තු වන බවයි.

රටේ පාපන්දුව හරි මාර්ගයට අවතීර්ණ වෙලා තියෙන නිසා සියලුම පාර්ශව එක්ව දිගු කාලීන සැලසුමක් ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. ඒ වගේම වත්මන් සභාපති ජස්වර් උමාර්, විධායක නිලධාරීන්, සේවකයින්, ක්‍රීඩකයින් සහ ක්‍රීඩා සමාජවලට මගේ ස්තුතිය පුද කර සිටිනවා.

ඒ වගේම මාධ්‍ය කණ්ඩායම්වලට සහ මෙරට ජනතාවට ද මම ස්තුතිවන්ත වෙනවා. මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා පාපන්දුව ගැන ධනාත්මක සහ සුභවාදී තොරතුරු පල කරන්න කියලා. ඒ තුළින් විශාල පිරිසක් පාපන්දු ක්‍රීඩාවට ආකර්ෂණය කරලා ශ්‍රී ලංකා පාපන්දුව වසර කිහිපයක් තුළ ප්‍රසිද්ධ කළ හැකියි”.

ඒ අනුව සිය තනතුරට සමු දුන් බොස්නියා ජාතික Amir Alagic මහතා මේ මස අවසානයේ දී මෙරටින් පිටත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිකුත් කළ නිවේදනයක් ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<