මත්පැන් තහනම් මැදපෙරදිග රටේ සැර බීර බොන්න අවසර

2022 කටාර් පාපන්දු ලෝක කුසලානය

422

ප්‍රසිද්ධියේ මත්පැන් භාවිතය දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සැලකෙන රටක මත්පැන් පානය කිරීම සඳහා නීත්‍යානුකූල අයිතියක් ලබා දීමට ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සමත්ව තිබෙනවා.

මේ වසර අගභාගයේ පැවැත්වෙන ‘කටාර් 2022’ ඉසව්ව මද්‍යසාර සම්බන්ධයෙන් දැඩි පාලනයක් පවතින මැදපෙරදිග රටක පවත්වනු ලබන පළමු ලෝක කුසලාන පාපන්දු තරගාවලියයි.

මේ හේතුවෙන් ලොව ප්‍රධානතම බීර ලාංඡනයක් විසින් අනුග්‍රහය දක්වන සහ සැමවිටම බීර පානය කරන්නන්ගේ ආශ්‍රය තිබෙන තරගාවලියක සංවිධායකයින්ට මුහුණ දීමට සිදු වූයේ මහත් අභියෝගයකටයි.

එහෙත් ජගත් පාපන්දු සම්මේලනයේ මැදිහත් වීමෙන් කටාර් සංවිධායකයින් සමඟ පැවති සාකච්ඡාවලින් පසුව තරග නැරඹීම සඳහා ප්‍රවේශ පත් ලබා ගත් ක්‍රීඩාලෝලීන්ට තරගය ආරම්භ වීමට පැය තුනකට පෙර සිට සහ තරගය අවසන් වී පැයක කාලයක් යනතුරු මද්‍යසාර අඩංගු බීර ක්‍රීඩාංගණයේ දී මිල දී ගෙන පානය කිරීමට අවසර ලැබී තිබෙනවා.

ලෝක කුසලාන පාපන්දු තරග පැවැත්වෙන කටාරයේ ක්‍රීඩාංගණ 8 ම නරඹන්නන්ට සැර බීර බීමේ මේ අවස්ථාව හිමි වෙනවා. මේ අනුව තමන්ගේ ආදරණීය කණ්ඩායම ගෝලයක් ලබා ගන්නා සෑම අවස්ථාවක දීමත්, ඔවුන්ගේ ජයග්‍රහණයේ දීත් තමන්‍ගේ බීර වීදුරුව ඉහළට ඔසවා සතුටු වීමට පාපන්දු ලෝලීන්ට පුළුවන්.

කෙසේ වෙතත්, තරගය පැවැත්වෙන කාලය තුල මද්‍යසාර සහිත බීර පානය කිරීමට ක්‍රීඩාලෝලී නරඹන්නන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ මනාපයක් ඇත්නම් මද්‍යසාර රහිත බීර මිල දී ගෙන ඒවා තම ආසනයට රැගෙන විත් පානය කරමින් තරගය නැරඹීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

මේ අනුව, තරගාවලියේ  බීර අලෙවි කිරීමේ සුවිශේෂ අයිතියක් හිමිකර ගෙන සිටින ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයෙකු වන Budweiser ඒ ඒ ක්‍රීඩාංගණ වටප්‍රමාණය තුල ඇති, ටිකට් මිල දී ගත් අය සඳහා වන කලාපවල බීර අලෙවි කරනු ඇත. එහෙත් ක්‍රීඩාංගණය ඇතුළත හෝ ක්‍රීඩාංගණ ගොඩනැගිල්ල ඉදිරිපස බිමේ බීර අලෙවියක් සිදු කෙරෙන්නේ නැහැ.

තරගය ආරම්භ වීමට පැය තුනකට පෙර ක්‍රීඩාංගණයේ දොරටු විවෘත වූ විට බීර මිල දී ගෙන පානය කළ හැකි වන අතර සෑම තරගයක් ම ආරම්භ වීමට මිනිත්තු 30කට පෙර බීර අලෙවි හල් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඉන්පසුව තරගයේ අවසාන නලා හඬ නිකුත් වී නරඹන්නන් ක්‍රීඩාංගණයෙන් පිටව යද්දීත් පැයක කාලයක් ඔවුන්ට බීර මිල දී ගෙන පානය කළ හැකි වෙනවා.

මීට අමතරව දෝහා අගනුවර මැද තිබෙන ජගත් පාපන්දු සම්මේලනයේ ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රධාන කලාපයේ එක් කොටසක ද බීර අලෙවි කිරීමට Budweiserට අයිතිය ලැබී තිබෙනවා.

නොවැම්බර් 20 වැනි දින ආරම්භ වන දින 29 තරගාවලියේ දිනපතා පස්වරු 6.30 සිට අලුයම 1.00 දක්වා මේ ස්ථානයේ බීර පානය කිරීමට ලැබෙන අවස්ථාව ප්‍රසිද්ධියේ කා බී විනෝද වීමේ දැඩි තහංචිවලට යටත්ව සිටින කටාර් වැසියන්ට නවමු අත්දැකීමක් වනු නොඅනුමානයි.

මීට පෙර පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලිවල දී ක්‍රීඩාලෝලීන්ගේ කලාපවල දවස පුරා ම බීර අලෙවි කර තිබෙනවා. එය සාම්ප්‍රදායිකව පැවත එන දෙයක්.

කටාරයේ බීර අලෙවි කරන්නේ කුමන ස්ථානවල ද සහ කුමන වේලාවට ද කියා දැන් තීරණය කර හමාර වුව ද බීර සඳහා අය කරනු ලබන මුදල කුමක් ද කියා තීරණය කිරීම තවමත් පවතින්නේ සාකච්ඡා මට්ටමේ.

තරගාවලියේ මූලික අදියරේ දී බොහෝ දිනවල තරග හතරක් පැවැත්වීමට නියමිත අතර කලින් ම පැවැත්වෙන තරගය ආරම්භ වන්නේ පස්වරු 1.00ට ය.

නොවැම්බර් 25 වැනි සිකුරාදා පස්වරු 1.00ට පැවැත්වෙන වේල්ස් හා ඉරානය අතර තරගය අරබයා කටාරය මේ බීර අලෙවිය මෙහෙයවන්නේ කෙසේ ද කියා දැනට පැහැදිලි නැත්තේ එරට ජීවත් වන මුස්ලිම්වරුන් බොහෝ දෙනෙක් සතිපතා එක්රැස්වන යාච්ඤාවන් සඳහා එම වේලාවට පල්ලිවලට රොක්වන බැවින්.

වර්තමානයේ කටාර් දේශයේ බොහෝ සාප්පු හා අවන්හල් සිකුරාදා යාච්ඤාව අතරතුර වසා දැමෙනවා.

මේ වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දී මද්‍යසාර බීමවල කාර්යභාරය කුමක් වේවි ද සහ මත්පැන් පානය කිරීමට උවමනා ක්‍රීඩාලෝලීන්ට කටාරය සලකන ආකාරය කුමක් වේවි ද යන ප්‍රශ්නකාරී කතිකාව ආරම්භ වූයේ කටාරය මේ තරගාවලියේ සත්කාරක අයිතිය දිනා ගත් 2010 වසරේ සිට ම ය. අසල්වැසි සෞදි අරාබිය තරම් ම මත්පැන් තහනමක් නැතත් කටාරයේ ප්‍රසිද්ධ ස්ථානවල මත්පැන් භාවිතය නීති විරෝධී ක්‍රියාවකි.

ගුවන් තොටුපලේ තීරු බදු රහිත සාප්පුවෙන් හෝ මත්පැන් කටාර් දේශයට ගෙන ඒමට ආගන්තුකයන්ට අවසර නැහැ. ඊටත්, දෝහා අගනුවරට බැහැරව තිබෙන රටේ එක ම මත්පැන් සාප්පුවෙන් පවා ඔවුන්ට මත්පැන් මිල දී ගන්න බැහැ. නිවසේ පාවිච්චිය සඳහා පමණක් මේ සාප්පුවෙන් මත්පැන් මිල දී ගත හැක්කේත් බලපත්‍ර සහිත නේවාසික විදේශිකයන්ට පමණයි.

බලපත් ලබා දී තිබෙන හෝටල සහ සමාජ ශාලා කිහිපයක දී සංචාරකයන්ට මත්පැන් පානය කළ හැකි වන අතර එහි දී ඔවුන්ට බීර පයින්ටයක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 18ක මුදලක් වැය වීමට ඉඩ තිබෙනවා.

කෙසේ වෙතත් Budweiser ඔවුන්ගේ මද්‍යසාර රහිත Budweiser Zero නමැති බීර වර්ගය තරග පැවැත්වෙන කාලවේලාව තුල ක්‍රීඩාංගණය ඉදිරිපස භූමියේ සහ ක්‍රීඩා මණ්ඩපවල සහ අනෙකුත් ක්‍රීඩාලෝලීන්ගේ කලාපවල අලෙවි කිරීමට සැලසුම් කර තිබෙනවා.

‘2022 කටාර් ලෝක කුසලානය’ යනු වසර 92ක ලෝක කුසලාන පාපන්දු තරගාවලි ඉතිහාසයේ මත්පැන් සම්බන්ධයෙන් මෙතරම් දැඩි සමාජමය තහංචි තිබෙන මැදපෙරදිග රටක පවත්වන පළමු තරගාවලියයි.

මත්පැන් භාවිතය සම්බන්ධයෙන් සිය ආකල්පය ලිහිල් කළ ප්‍රථම ලෝක කුසලාන පාපන්දු සත්කාරකරු කටාරය නෙවෙයි. බ්‍රසීලයේ පැවති 2014 ලෝක කුසලාන තරගාවලියට පෙර ජගත් පාපන්දු සම්මේලනයේ බලපෑම මත ක්‍රීඩාංගණ තුල මත්පැන් අලෙවි කිරීමේ තහනමෙන් එම තරගාවලිය නිදහස් කිරීම සඳහා විශේෂ පනතක් සම්මත කර ගැනීමට බ්‍රසීල ව්‍යවස්ථාදායකයන්ට සිදු වුනා.

ලොව පුරා තිබෙන ක්‍රීඩාංගණවල මත්පැන් යනු සංවේදී මාතෘකාවකි. එංගලන්තයේ දී ප්‍රිමියර් ලීග් පාපන්දු සමාජ බොහොමයක් ක්‍රීඩාංගණ ඇතුළත බියර් විකිණීමට අවසර ලබා දී තිබුනත් ක්‍රීඩාලෝලීන්ට තරග බිම පෙනෙන තෙක් මානයේ සිට ඒවා පානය කිරීම තහනම්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<