දඟ පන්දුවේ ශක්තිය නිසා ටැමිල් යූනියන් කණ්ඩායමට තවත් ජයක්

399
SLC Premier League 2016/17 Tier A 21st December roundup

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ අද (21) පැවැත්වුනු ටැමිල් යූනියන් සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර තරගය ටැමිල් යූනියන් ක්‍රීඩකයින්ට ජයග්‍රහණය හිමිකර දෙමින් නිමාවට පත්වූ අතර අද පැවැත්වුනු අනෙක් තරග 5ම අද ක්‍රියාත්මක වූයේ ප්‍රථම දිනයටයි.

පසුගිය ලිපි: රඹුක්වැල්ල බදුරලියේ පළමු ඉණිමට තිත තබයි

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර තරගය

වර්තමාන දේශීය ක්‍රිකට් පිටියේ ප්‍රබල ක්‍රීඩා සමාජයක් වන ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයට ලකුණු 38ක ජයග්‍රහණයක් හිමිවුණු මෙම තරගය කොළඹ පී. සරා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ටැමිල් යූනියන් පිතිකරුවන් ලකුණු 252ක් රැස් කළ අතර පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ බදුරලිය ක්‍රීඩා සමාජය ලකුණු 129කට දැවී ගියේය.

ලකුණු 123ක වාසියක් සමඟින් නැවත පන්දුවට පහර දුන් ටැමිල් යූනියන් පිතිකරුවන් ලකුණු 239ක් රැස් කර සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කෙසේ හෝ පූර්ණ තරග ජයග්‍රහණයක් ලබා ගැනීමේ අටියෙනි. නමුත් එය අභියෝගයක් ලෙසින් භාරගත් බදුරලිය පිළේ නිමන්ද මධුශංක ප්‍රමුඛ පිතිකරුවන් ක්‍රම ක්‍රමයෙන් ඉනිම ගොඩ නැගීම ඇරඹූහ.

දකුණත් පිතිකරු නිමන්ද මධුශංක හතරේ පහර 15ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 126ක් රැස් කළ අතර, නායක අලංකාර අසංක ලකුණු 69ක් ලබාගනිමින් තරගය බේරා ගැනීම සඳහා ප්‍රබල සටනක නිරත විය. නමුත් ජාත්‍යන්තර තරග අත්දැකීම් ද සහිත දක්ෂ දඟ පන්දු යවන්නන් දෙපළක් වන ජීවන් මෙන්ඩිස් සහ රමිත් රඹුක්වැල්ල කඩුලු 4 බැගින් බිඳ හෙලමින් ටැමිල් යූනියන් කණ්ඩායමට මෙවර ප්‍රිමියර් ලීග් තුන්දින තරගාවලියේ තවත් ජයග්‍රහණයක් හිමිකර දීමට සමත් විය. ඔවුන් දෙදෙනා විසින් මෙම තරගය අතරතුරදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ප්‍රතිවාදී කඩුලු 20න් 17ක්ම බිඳ හෙලීම කැපී පෙනුණි.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 252 (පන්දුවාර 63.3): චරිත් ජයම්පති 50, චාමික කරුණාරත්න 48, පුලිණ තරංග 39, මනෝජ් සරත්චන්ද්‍ර 37, සාලිය සමන් 4/51, අලංකාර අසංක 3/70.

බදුරලිය ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 129 (පන්දුවාර 52.5): නදීර නාවෙල 60, රමිත් රඹුක්වැල්ල 5/33, ජීවන් මෙන්ඩිස් 4/49.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 239 (පන්දුවාර 58.3): සිතාර ගිම්හාන් 86, දිනුක් වික්‍රමනායක 48, අලංකාර අසංක 7/87.

බදුරලිය ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 324 (පන්දුවාර 84.3): නිමන්ද මධුශංක 126, අලංකාර අසංක 69, ශෙහාන් ප්‍රනාන්දු 39, නදීර නාවෙල 31, රමිත් රඹුක්වැල්ල 4/130, ජීවන් මෙන්ඩිස් 4/90.


මුවර්ස් ක්‍රීඩා සමාජය සහ BRC අතර තරගය

BRC කණ්ඩායම සත්කාරකත්වය දරන මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ද හිමි කරගත් ඔවුන් සියලු දෙනාම දැවී ලකුණු 293ක් රැස් කිරීමට සමත් විය. BRC ඉනිමට පණ පෙවූ ලසිත් ලක්ෂාන්, හශේන් රාමනායක සහ චානක විජේසිංහ අර්ධ ශතක වාර්තා කළහ. මුවර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක යෙදුනු තිලාන් තුෂාර සහ දිලංක සඳකැන් කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි මුවර්ස් පිතිකරුවන් තරගයේ ප්‍රථම දිනය නිමා වන විට කිසිවෙකු නොදැවී ලකුණු 47ක් රැස් කරගෙන සිටිති. ඒ අනුව ඔවුන් පසුවන්නේ BRC ප්‍රථම ඉනිමට වඩා ලකුණු 246ක් පිටුපසිනි.

BRC – සියල්ලන්ම දැවී ලකුණු 293 (පන්දුවාර 74.2): ලසිත් ලක්ෂාන් 63, හශේන් රාමනායක 53, චානක විජේසිංහ 52, තිලාන් තුෂාර 3/54, දිලංක සඳකැන් 3/80.

මුවර්ස් ක්‍රීඩා සමාජය – කිසිවෙකු නොදැවී ලකුණු 47 (පන්දුවාර 11): රුවිඳු ගුණසේකර 34*.


සිංහල ක්‍රීඩා සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය අතර තරගය

අද ආරම්භ වුනු මෙම තරගයට සත්කාරකත්වය දරනු ලබන්නේ SSC කණ්ඩායමයි. කාසියේ වාසිය ජයග්‍රහණය කළ බ්ලූම්ෆීල්ඩ් නායකයාගේ ඇරයුමින් පන්දුවට පහර දීම ඇරඹූ SSC පිතිකරුවන් දිනය නිමාවන විට කඩුලු 8ක් දැවී ලකුණු 382ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් විය. මෙම ඉනිමේදී SSC කණ්ඩායම වෙනුවෙන් ශතක ලාභීන් කිසිවෙකු බිහි නොවූ අතර මිනෝද් භානුක ලකුණු 97කට ද, ධනුෂ්ක ගුණතිලක ලකුණු 94කට දැවී ගියේ අවාසනාවන්ත අයුරිනි.

සිංහල ක්‍රීඩා සමාජය – කඩුලු 8ක් දැවී ලකුණු 382 (පන්දුවාර 90): මිනෝද් භානුක 97, ධනුෂ්ක ගුණතිලක 94, සචිත්‍ර සේනානායක 50*, චරිත් අසලංක 37, කවිඳු කුලසේකර 36, මලිත් ද සිල්වා 3/117.


හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ ගාලු ක්‍රිකට් සමාජය අතර තරගය

තරගයේ ප්‍රථම දිනයේදීම ප්‍රතිවාදී ගාලු ක්‍රිකට් සමාජයට ප්‍රබල තර්ජනයක් එල්ල කරමින් කඩුලු 5කට ලකුණු 397ක් රැස් කරන්නට අද හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සමත් විය. ඒ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමේ ප්‍රතිඵලයක් ලෙසයි. හලාවත ඉනිමේ පෙරගමන්කරුවා බවට පත්වූ වමත් පිතිකරු ශෙහාන් ජයසූරිය ලකුණු 168ක් වාර්තා කළේය. ඔහුගේ විශිෂ්ට ඉනිමට මනරම් හතරේ පහර 17ක් සහ දැවැන්ත හයේ පහර 3ක් ඇතුළත් විය. සචිත්‍ර සේරසිංහ ද නොදැවී ලකුණු 101ක් වාර්තා කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියි.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – කඩුලු 5ක් දැවී ලකුණු 397 (පන්දුවාර 84): ශෙහාන් ජයසූරිය 168, සචිත්‍ර සේරසිංහ 101*, මහේල උඩවත්ත 53.


යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය

පනාගොඩදී අද ආරම්භ වුනු මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිස සිටින යුධ හමුදා පිතිකරුවන් දිනය නිමාවන විට කඩුලු 7කට ලකුණු 256ක් රැස් කිරීමට සමත් විය. යුධ හමුදාවේ ශක්තිය බවට පත්වූ ලියෝ ෆ්‍රැන්සිස්කෝ හතරේ පහර 7ක් සමඟින් ලකුණු 103ක් රැස් කළේය. සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට යාමට ඉඩ ලබා නොදුන් ශ්‍රී ලංකාව මෑත කාලීනව සොයාගත් හොඳම දඟ පන්දු යවන්නෙකු වන අමිල අපොන්සු ලකුණු 63කට කඩුලු 6ක් දවාලීය.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – කඩුලු 7ක් දැවී ලකුණු 256 (පන්දුවාර 90): ලියෝ ෆ්‍රැන්සිස්කෝ 103, දුශාන් විමුක්ති 40, මංජුල ද සොයිසා 28, අමිල අපොන්සු 6/63.


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

කාසියේ වාසිය දිනාගත් සැරසන්ස් නායකයාගේ ඇරයුමට අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අභියෝගය භාරගත් කෝල්ට්ස් ක්‍රිකට් සමාජය දිනය නිමා වෙද්දී කඩුලු 8ක් දැවී ලකුණු 321ක් රැස් කිරීමට සමත් විය. කෝල්ට්ස් පිළ වෙනුවෙන් වැඩි බරක් ඉසිලූ ඇන්ජෙලෝ ජයසිංහ නොදැවී ලකුණු 103ක් වාර්තා කිරීමට සමත් විය. අනෙක් අන්තයේ නොදැවී පන්දුවට පහර දෙන ප්‍රභාත් ජයසූරිය නොදැවී ලකුණු 40ක් රැස් කරගෙන සිටියි. හෙට තරගයේ දෙවැනි දිනයයි.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – කඩුලු 8ක් දැවී ලකුණු 321 (පන්දුවාර 90): ඇන්ජෙලෝ ජයසිංහ 103*, ප්‍රභාත් ජයසූරිය 40*, සදීර සමරවික්‍රම 56, චතුර රන්දුනු 5/78.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට