ජපානය අවසන් 16ට; ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි

පාපන්දු ලෝක කුසලානය 2022

616

2022 පාපන්දු ලෝක කුසලානයේ මූලික වටයේ අද (01) පැවති තරගවලින් මොරොක්කෝව, ජපානය සහ ජර්මනිය ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුනා.

එමෙන්ම අද (01) පැවති ක්‍රොඒශියාව සහ බෙල්ජියම අතර තරගය අවසන් වුනේ ජය පැරදුමෙන් තොරවයි.

ජපානය සහ ස්පාඤ්ඤය

ප්‍රබල ස්පාඤ්ඤය ගෝල 2-1ක් ලෙස පරාජය කරමින් තරගාවලියේ අවසන් කණ්ඩායම් 16ට පිවිසීමට ජපානයට හැකි වුනා.

තීරණාත්මක වූ මෙම තරගයේ 11 වැනි මිනිත්තුවේ දී ලැබුණු පන්දුවක් හිසින් ගෝලයට එල්ල කරමින් පළමු ගෝලය වාර්තා කිරීමට ස්පාඤ්ඤය ක්‍රීඩක Alvaro Morataට හැකි වුනේ ජපානයට ප්‍රබල පීඩනයක් එල්ල කරමිනුයි.

එම අර්ධය තුළ ජපානයට ගෝල වාර්තා කිරීමට නොහැකි වූ නිසා තරගාවලියේ ඉදිරිය ප්‍රශ්නාර්ථයක් කරමින් පළමු අර්ධය අවසන් කිරීමට ජපානයට සිදු වුනා.

පළමු අර්ධයේ සිදු වූ අඩුපාඩු නිවැරදි කරගනිමින් දෙවැනි අර්ධයට පිවිසි ජපාන කණ්ඩායම වෙනුවෙන් 48 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින් ගෝල තත්වය සම කිරීමට Ritsu Doanට හැකි වුනා.

එම ගෝලයෙන් මිනිත්තු කිහිපයකට පසු එනම් 51 වැනි මිනිත්තුවේ දී Kaoru Mitoma ලබා දුන් පන්දුවක් හිස් ගෝලය තුළට පහසුවෙන් යොමු කරමින් සිය කණ්ඩායම පෙරමුණට ගෙන ඒමට Ao Tanaka සමත් වුනේ ජපාන ප්‍රේක්ෂකයින්ට විශාල සතුටක් ගෙන දෙමිනුයි.

තරගය අවසන් වීමට මිනිත්තු කිහිපයක් තිබිය දී ස්පාඤ්ඤයට ගෝල තත්වය සම කිරීමට අවස්ථාවක් හිමි වූවත් එය දක්ෂ ලෙස වළකා ලමින් සිය කණ්ඩායමේ ජය තහවුරු කිරීමට ජපාන ගෝල රකින්නාට හැකි වුනා.

ඒ සමඟින් මූලික වටයේ ප්‍රබල ජර්මනිය සහ ස්පාඤ්ඤය යන කණ්ඩායම් ද්විත්වයම පරාජය කරමින් සිය කාණ්ඩයේ පළමුවැන්නා ලෙස අවසන් කණ්ඩායම් 16ට පිවිසීමට ජපානයට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: ජපානය 02 – 01 ස්පාඤ්ඤය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

ජපානය: Ritsu Doan 48’, Ao Tanaka 51’

ස්පාඤ්ඤය: Alvaro Morata 11’

ජර්මනිය සහ කොස්ටාරිකා

ජපානය හමුවේ ලැබූ අනපේක්ෂිත පරාජයෙන් පසුව තරගාවලියේ රැඳී සිටීමට මෙම තරගය ඉතා හොඳින් ජයග්‍රහණය කිරීමට ජර්මනියට වැදගත් වුනා.

තරගයේ පළමු ගෝලය වාර්තා කළේ ජර්මන් ක්‍රීඩක Serge Gnabry විසිනුයි. තරගයේ 10 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් හිසින් ගෝලයට එල්ල කරමින් ඔහු එම ගෝලය වාර්තා කළා.

පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු කිහිපයක් තිබිය දී පන්දුව වේගවත් පහරකින් ගෝලයට එල්ල කිරීමට කොස්ටාරිකා ක්‍රීඩකයින්ට හැකි වූවත් එය දක්ෂ ලෙස නවතමින් තවදුරටත් ජර්මනිය පෙරමුණේ තැබීමට Manuel Neuerට හැකි වුනා.

නමුත් තරගයේ 58 වැනි මිනිත්තුවේ දී Manuel Neuer වැළැක්වූ පන්දුවක් දඬුවම් රාමුව තුළම නැවත ලබා ගනිමින් ගෝලයට එල්ල කිරීමට කොස්ටාරිකා ක්‍රීඩක Yeltsin Tejedaට හැකි වුනා.

ජර්මනියේ ලෝක කුසලාන සිහින තවත් දුරස් කරමින් කොස්ටාරිකා ක්‍රීඩකයින් නිදහස් පහරක් මගින් එල්ල කළ පන්දුවක් Manuel Neuerගේ ඇඟෙහි  වැඳී ගෝලයට යොමු වීම නිසා කොස්ටාරිකා ක්‍රීඩකයින්ට වාසනාවන්ත ගෝලයක් හිමි වුනා.

එම අවාසනාවන්ත සිදු වීමෙන් පසු ක්‍රියාත්මක වූ ජර්මන් ක්‍රීඩක Kai Havertz තරගයේ 73 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් ප්‍රතිවාදී ගෝල රකින්නා පසු කර ගෝලයට එල්ල කරමින් ගෝල තත්වය සම කළා.

ජර්මනියට අවශ්‍යම මොහොතේ නැවතත් ක්‍රියාත්මක වූ Kai Havertz දඬුවම් රාමුව තුල දී ලබා ගත් පන්දුවක් ගෝලයේ දකුණු කෙළවරට එල්ල කිරීමට සමත් වුනේ තරගයේ 85 වැනි මිනිත්තුවේයි.

තරගයේ වැඩි ගෞරව ජර්මනියට ගෙන දෙමින් තරගයේ 89වැනි මිනිත්තුවේ ලැබූ පන්දුවක් ඉතා සාර්ථකව ගෝලය තුළට යොමු කරමින් තරගයේ සිව්වැනි ගෝලය වාර්තා කිරීමට Niclas Fullkrugට හැකි වුනා.

තරගය අවසන් වන තුරුම වෙනත් කිසිදු ගෝලයක් වාර්තා කිරීමට කොස්ටාරිකා ක්‍රීඩකයින්ට නොහැකි වූ නිසා තරගය ජර්මනිය ජය ගත්තා.

නමුත් ජපානයට සිය අවසන් තරගය ජයග්‍රහණය කළ නිසා ජර්මනියට අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: ජර්මනිය 04 – 02 කොස්ටාරිකා

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

ජර්මනිය – Serge Gnabry 10’, Kai Havertz 73’ & 85’, Niclas Fullkrug 89’, Manuel Neuer 70’ (OG)

කොස්ටාරිකා – Yeltsin Tejeda 58’

මොරොක්කෝව සහ කැනඩාව

කැනඩාවට තරගාවලියේ ඉදිරිය අහිමිව තිබුණත් මෙතෙක් ප්‍රබල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ මොරොක්කෝ ක්‍රීඩකයින්ට අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට මෙම තරගයේ ප්‍රතිඵලය ඉතා වැදගත් වුනා.

තීරණාත්මක තරගයේ සිව්වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින් සිය කණ්ඩායමේ ලෝක කුසලාන බලාපොරොත්තු ඉහළ නැංවීමට මොරොක්කෝ ක්‍රීඩක Hakim Ziyechට හැකි වුනා.

තරගයේ 23 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් ගෝලය දකුණු කෙළවරට අලංකාර පහරක් මගින් එල්ල කරමින් සිය කණ්ඩායමේ දෙවැනි ගෝලය වාර්තා කිරීමට මොරොක්කෝ ක්‍රීඩක Youssef En Nesyriට හැකි වුනේ ප්‍රේක්ෂකයින්ගේ සතුට දෙගුණ කරමිනුයි.

නමුත් එම සතුට තරමක් අඩු කරමින් තරගයේ 40 වැනි මිනිත්තුවේ දී මොරොක්කෝ ක්‍රීඩක  Nayef Aguerd යොමු කළ පන්දුවක් සිය ගෝල රකින්නා පසු කරමින් තමන්ගේම ගෝලයට යොමු වීම නිසා කැනඩාවට ගෝලයක් හිමි වුනා.

තරගයේ 72 වැනි මිනිත්තුවේ දී ගෝල තත්වය සම කිරීමට විශාල අවස්ථාවක් කැනඩාවට හිමි වූවත් කැනඩා ක්‍රීඩක Atiba Hutchinson එල්ල කළ පන්දුව ගෝල රාමුවේ වැදී නැවත ක්‍රීඩා පිටියට පැමිණියා.

එලෙස නැවත පැමිණි පන්දුව ගෝලය අසල සිට ලබා ගනිමින් ගෝලයක් එල්ල කිරීමට විශාල අවස්ථාවක් Alistair Johnstonට හිමි වූවත් ඔහු හිසින් එල්ල කළ පන්දුව ගෝලයට ඉහළින් ගමන් කිරීම නිසා එම අවස්ථාව ද සාර්ථක වුනේ නැහැ.

තරගය අවසන් වන තුරුම දෙපිලෙන්ම කිසිදු ගෝලයක් වාර්තා නොවූ නිසා තරගය ගෝල 2-1ක් ලෙස ජයග්‍රහණය කරමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට පෙරළිකාරී මොරොක්කෝ ක්‍රීඩකයින්ට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: මොරොක්කෝව 02 – 01 කැනඩාව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

මොරොක්කෝව: Hakim Ziyech 4’, Youssef En Nesyri 23’, Nayef Aguerd 40’ (OG)

බෙල්ජියම සහ  ක්‍රොඒශියා

ලෝක අනුශූර ක්‍රොඒශියා සහ බෙල්ජියම අතර පැවති මෙම තරගයේ ප්‍රතිඵලය ඉදිරි වටය සඳහා පිවිසීමට කණ්ඩායම් ද්විතවයටම ඉතා වැදගත් වුනා.

තරගයේ 11 වැනි මිනිත්තුවේ දී බෙල්ජියම් ක්‍රීඩක Yannick Carrasco පන්දුව ගෝලයට එල්ල කිරීමට සමත් වූවත් එම පන්දුව ඉතා සාර්ථකව වැළැක්වීමට ප්‍රතිවාදී ගෝල රකින්නාට හැකි වුනා.

15 වැනි මිනිත්තුවේ දී බෙල්ජියම් ක්‍රීඩකයෙකු සිදු කළ වරදක් නිසා ක්‍රොඒශියා කණ්ඩායමට දඬුවම් පහරක් ලබා දීමට විනිසුරුවරයා කටයුතු කළත් එය නැවත නැරඹීමෙන් පසුව අවලංගු කිරීමට ඔහු කටයුතු කළා.

පළමු අර්ධය තුළ දෙපිලම ඉතා තියුණු ලෙස සටන් වැදුනත් ගෝලයක් ලබා ගැනීමට කිසිවකුට හැකි වුනේ නැහැ.

පළමු අර්ධයට වඩා උණුසුම් වූ දෙවැනි අර්ධයේ දී ක්‍රොඒශියා ක්‍රීඩකයින් අලංකාර ක්‍රීඩා රටාවල් පෙන්නුම් කළ අතර ඔවුන් ගෝලයට එල්ල කළ පහරවල් කිහිපයක්ම දක්ෂ ලෙස නවතාලීමට බෙල්ජියම් ගෝල රකින්නාට හැකි වුනා.

තරගයේ 62 මිනිත්තුවේ දී බෙල්ජියමය ගෝලයක් ලබා ගැනීමට ආසන්නතම අවස්ථාවකට පැමිණියාත්  Romelu Lukaku එල්ල කළ පහර ගෝල රාමුවේ වැදී ඉවතට ඇදී ගියේ බෙල්ජියම් ප්‍රේක්ෂකයින්ගේ හදවත මොහොතකට නතර කරමිනුයි.

පසුව ද ගෝල ලබා ගැනීමට Romelu Lukaku හට හිමි වූ අවස්ථා කිහිපයක්ම සාර්ථක කර ගැනීමට ඔහුට හැකි වුනේ නැහ.

එම නිසාවෙන් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වූ අතර ලෝක අනුශූර ක්‍රොඒශියා ක්‍රීඩකයින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගද්දී ප්‍රබල බෙල්ජියමට ලෝක කුසලාන ගමනට මූලික වටයෙන්ම තිත තැබීමට සිදු වුනා.

අවසන් ලකුණු තත්වය: බෙල්ජියම 00 – 00 ක්‍රොඒශියා

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<