ඉන්දුමතී, මධුරංග සහ ගාමිණී ශ්‍රී ලංකාව රිදියෙන් සරසයි

Fazza Grand Prix 2021 පැරා මලල ක්‍රීඩා තරගාවලිය

171

පසුගිය 10 වැනිදා සිට ඩුබායි හීදී පැවති Fazza Grand Prix 2021 පැරා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එහි දී රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් තුනක් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනා ගත් මුල්ම පදක්කම වූයේ, දුර පැනීම ඉසව්වේ මීටර් 4.89ක දස්කමක් දැක්වූ කුමුදු ප්‍රියංකා ජයග්‍රහණය කළ ලෝකඩ පදක්කමයි. එම ඉසව්ව නියෝජනය කළ මෙරට ක්‍රීඩිකා අමරා ඉන්දුමතීට හිමි වූයේ සිව්වැනි ස්ථානයයි (මීටර් 4.76).

විසිකිරීම් ඉසව් සඳහා සහභාගී වූ පැරා ක්‍රීඩක චමින්ද හෙට්ටිආරච්චි F38/42/44/63/64 කාණ්ඩයේ මීටර් 56.34ක දක්ෂතාවයක් දක්වමින් තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබුණා.

එමෙන්ම F46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීම් ඉසව්ව සඳහා සහභාගි වූ ගාමිණී ඒකනායක මීටර් 58.55ක දස්කමක් දක්වමින් දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර එය ඔහුගේ හොඳම පෞද්ගලික කාලය ලෙස ද සටහන් වුනා.

තරගාවලියේ F42/63 කාණ්ඩයේ කවපෙත්ත විසිකිරීම ඉසව්වේ මීටර් 13.42ක දක්ෂතාවයක් දැක්වූ පාලිත බණ්ඩාර ඔහුගේ හොඳම පෞද්ගලික දක්ෂතාවය ද වාර්තා කරමින් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

ඊයේ දිනයේ (13) පැවති T46/47 කාණ්ඩයේ මීටර් 400 කාන්තා අවසන් තරගය සඳහා සහභාගී වූ ප්‍රවීණ ක්‍රීඩිකා අමරා ඉන්දුමතී මිනිත්තු 01:05.63ක කාලයක් තුල ඉසව්ව අවසන් කිරීමින් රිදී පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වුනා. 

තවත් මලල ක්‍රීඩා පුවත්:

එම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත් Amanda Cerna විසින් වාර්තා කළ කාලය මිනිත්තු 01:01.96ක්. ඇය චිලි රාජ්‍ය නියෝජනය කරමින් තරග කළ ක්‍රීඩිකාවකි. ඉසව්වේ තෙවැනි ස්ථානය දිනා ගත්තේ කෙන්යානු ක්‍රීඩිකාවක් වන Irene Cherono (මිනිත්තු 01:07.28) විසිනි. 

එම පදක්කම් ද්විත්වයෙන් පසු පිටියේ ඉසව්වලින් මෙරට ක්‍රීඩකයෙකු දිනා ගත් මුල්ම රිදී පදක්කම දිනා ගැනීමට මධුරංග සුබසිංහ සමත් වුනා.

T47 කාණ්ඩයේ පිරිමි මීටර් 400 අවසන් තරගය තත්පර 50.54ක කාලයකින් අවසන් කරමින් ඔහු එම දස්කම දැක්වීමට සමත් වූ අතර එහි රන් පදක්කම තත්පර 48.83ක කාලයකින් ඉසව්ව අවසන් කළ මොරොක්කෝ ක්‍රීඩක Sadni Ayoub සතු වුනා.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 6 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් පිටත්ව ගිය අතර ඊට ක්‍රීඩිකාවන් දෙදෙනෙක් සහ ක්‍රීඩකයින් සිව්දෙනෙක් ඇතුළත් වුනා.

මෙම තරගාවලිය මේ වසරේ පැවැත්වීමට නියමිත පැරා ඔලිම්පික් තරගාවලිය සඳහා වන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් ලෙස ද සැලකෙන අතර කොරෝනා වසංගතය නිසාවෙන් පසුගිය වසරේ පැවැත්වීමට තිබූ මෙම තරගාවලිය ද අනෙකුත් Grand Prix තරගාවලි මෙන්ම අවලංගු කිරීමට සිදු වුනා.

ශ්‍රී ලංකා සංචිතය: දිනේෂ් ප්‍රියන්ත (හෙල්ල විසිකිරීම – පැරාලිම්පික් සුදුසුකම් ලබා අවසන්), අමරා ඉන්දුමතී (400m, දුර පැනීම), කුමුදු ප්‍රියන්කා (දුර පැනීම, 100m), ගාමිණී ඒකනායක (හෙල්ල විසිකිරීම), සමන් සුබසිංහ (400m), පාලිත බණ්ඩාර (යගුලිය විසි කිරීම), සම්පත් හෙට්ටිආරච්චි (හෙල්ල විසිකිරීම), නුවන් ඉන්දික (දුර පැනීම), සමිත දුලාන් (හෙල්ල විසිකිරීම – පැරාලිම්පික් සුදුසුකම් ලබා අවසන්), බුද්ධික ඉන්ද්‍රපාල (දුර පැනීම).  

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<