කෙන්යානු ශූරයාට වසර 4ක තහනමක්

156

තහනම් උත්තේජක නීති උල්ලංඝනය කිරීමේ චෝදනා ලැබ සිටි කෙන්යානු මලල ක්‍රීඩක James Kibet හට වසර හතරක තරග තහනමක් පැනවීමට තීරණය කළ බව මලල ක්‍රීඩා දූෂණ විරෝධී ඒකකය පසුගිය දා නිවේදනය කළා.

2019 වසරේ පැවති මලල ක්‍රීඩා තරගාවලියක් අතරතුර දී ලබා ගත් මුත්‍රා සාම්පලයක nandrolon, anabolic සහ steroids යන තහනම් ද්‍රව්‍ය අඩංගු වීම නිසාවෙන් James Kibet තාවකාලික තරග තහනමක් පැනවීමට කටයුතු කර තිබුණා. 

එම තහනම් උත්තේජක සිය මුත්‍රා සාම්පලයේ ඇති බව තහවුරු වීමෙන් පසුව James Kibet ප්‍රකාශ කර සිටියේ එම තහනම් ද්‍රව්‍ය තමන් ලබා ගත් ඌරු මස් ආහාර මගින් ශරීර ගත වී ඇති බවයි.

එමෙන්ම එම ගොවිපලවල් හී සතුන්ට විවිධ ශක්ති ජනක අතිරේක ලබා දෙමින් පෝෂණය කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ද James Kibet විසින් මලල ක්‍රීඩා දූෂණ විරෝධී ඒකකය වෙත යොමු කිරීමට කටයුතු කර තිබුණා.

තවත් මලල ක්‍රීඩා පුවත්:

නමුත් එම සියල්ලටම පිළිතුරු ලබා දෙමින් මලල ක්‍රීඩා දූෂණ විරෝධී ඒකකයේ නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ කිසිදු තහනම් ද්‍රව්‍යයක් තම ශරීරයට එක් වීමට ඉඩ නොදීම ක්‍රීඩකයන්ගේ පෞද්ගලික වගකීමක් බවයි.

මේ වන විට 32 වැනි වියේ පසුවන James Kibet 2019 වසරේ පැවති Torino අර්ධ මැරතන් තරගය පැය 1:03.15ක කාලයකින් අවසන් කරමින් සිය පෞද්ගලික හොඳම කාලය වාර්තා කිරීමට සමත්ව තිබුණා.

ඔහුගේ මෙම තහනමත් සමඟින් තහනම් උත්තේජක නීති උල්ලංඝනය නිසාවෙන් තහනම ලැබූ කෙන්යානු ක්‍රීඩක ලැයිස්තුව තවත් ඉහළ යන අතර මේ දක්වා කෙන්යානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60කට ආසන්න සංඛ්‍යාවක් තහනම් උත්තේජක චෝදනා නිසාවෙන් ක්‍රීඩා පිටිය තහනම් වී තිබෙනවා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<