Family Run Saturday ඇරඹේ

298

මෙරට ජනතාවගේ ශාරීරික සෞඛ්‍ය නගා සිටුවීමට මෙන්ම මෙරට ක්‍රීඩාවේ දියුණුව උදෙසා ක්‍රීඩා අමාත්‍යාංශය හඳුන්වා දෙන නවතම සතිඅන්ත ක්‍රීඩා වැඩසටහන වන “Family Run Saturday” වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (05) ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුනා.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මාධ්‍ය හමුව සඳහා ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානී වෛද්‍ය ලාල් ඒකනායක, ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

මාධ්‍ය සාකච්ඡාව ආරම්භ කරමින් රැස්ව සිටි පිරිස ඇමතූ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ,

“ඔබ දන්නවා පසුගිය කාල සීමාවේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය විදියට රටේ ක්‍රියාශීලී සමාජයක් ගොඩනගන්න අප සුවිශාල අලුත් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කළා. අපි පටන් ගත්තේ සයිකල් සන්ඩේ වැඩසටහනින්.

ඒ එක්කම අපි පටන් ගත්තා පාපන්දු සිකුරාදා වැඩසටහන. මේ වෙනකොට ඉතාමත් ප්‍රචලිතව එම වැඩසටහන ලංකාව පුරාවට ක්‍රියාත්මක වෙනවා. 

ඒ එක්කම අපි තීරණය කළා අප ධාවන තරග සහ ඇවිදීම සඳහාත් යම් කිසි වැඩසටහනක් සංවිධානය කරන්න ඕනේ කියන කාරණය. ඉතින් ඒ නිසා අපි LSR ආයතනය සමඟත් සාකච්ඡා කරලා අපි තීන්දු කළා සෙනසුරාදා දිනයේ උදේ වරුවේ මෙම Family Run Saturday සංකල්පය ක්‍රියාත්මක කරන්න. 

එය අපි ආරම්භ කරන්නේ කොළඹ තුරඟ තරග පිටියෙන් වුනත් ලංකාවේ හැම ප්‍රදේශයකම අයට අවස්ථාව ලැබෙනවා තමන්ගේ ප්‍රදේශයේ මෙය සංවිධානය කරන්න.”

මෙම වැඩසටහන අප්‍රේල් 10 වැනිදා (සෙනසුරාදා) උදෑසන 06 සිට 08 දක්වා පැවැත්වීමට සූදානම් කර ඇති අතර ඒ සඳහා කිලෝමීටර් 5ක දුරක් ඇතුළත් වන සේ ධාවන සැලැස්මක් සකස් කර ඇත.

තවත් ක්‍රීඩා පුවත්:

එම වැඩසටහනට සහභාගී වන්නන් හට පෙර ලියාපදිංචි වීමක් සිදු කිරීමට අවශ්‍ය නොවන අතර ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව වගකීම ශ්‍රී ලංකා පොලිසිය විසින් දරණ අතර ගමන් මාර්ගය තුළ වෛද්‍ය ස්ථාන සහ පෝෂණ ස්ථාන කිහිපයක් ස්ථාපිත කිරීමට ද සැලසුම් සකස් කර තිබේ.

අප්‍රේල් 10 වැනිදා ආරම්භ වන මෙම වැඩසටහන එදින සිට සතියේ සෑම සෙනසුරාදා දිනකම පැවැත්වීමට සූදානම් කර ඇති අතර වැඩසටහන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය අසලින් ආරම්භ වීමට නියමිත වේ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<