පබසර සහ සංගීත් ශතක වාර්තා කරයි

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියට 2022

169

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව් දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි සතියේ තෙවැනි දිනයේ දී කැපී පෙනෙන ඉනිම් ක්‍රීඩා කිරීමට ගාලු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ පබසර වඩුගේ සහ සංගීත් කුරේ සමත් වුනා.

ගාල්ල සහ යාපනය

සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ තෙවැනි දිනය අවසන් වන විට තම දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන යාපනය ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 43ක් ලබා සිටියා.

කාසියේ වාසිය දිනා ගත් ගාලු නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 254ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් ගාලු ක්‍රීඩකයෝ අද තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 444කින් සෑහීමකට පත් වෙමින් නැවත පන්දුවට පහර දීමට යාපනය ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දුන්නා.

ගාලු ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ සංගීත් කුරේ සහ පබසර වඩුගේ පෙර දිනයේ අර්ධ ශතක වාර්තා කරමින් නොදැවී පිටියේ රැඳී සිටි අතර අද ඔවුන් එම ඉනිම් ශතක ඉනිම් දක්වා රැගෙන ගියා. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට සබඳතාව ලකුණු 208ක්.

ඉනිමේ පළමු ක්‍රීඩකයා ලෙසින් දැවී ගිය පබසර වඩුගේ පන්දු 165කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 108ක් ලබා ගත්තා. ඔහු මේ රැස් කළේ මෙම තරගාවලියේ දෙවැනි ශතකයයි. ඔහු මීට පෙර මහනුවර කණ්ඩායමට එරෙහිව ලකුණු 128ක් ලබා ගෙන තිබුණා.

සංගීත් කුරේ පන්දු 263කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ලකුණු 160ක් ලබා ගත්තා. ඊට අමතරව හෂාන් දුමිඳු පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 54ක් සහ සුමින්ද ලක්ෂාන් පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 57ක් ද ලබා ගනිමින් ගාලු ඉනිම ශක්තිමත් කළා.

ලකුණු 190ක් පිටුපස සිටිමින් යාපනය ක්‍රීඩකයෝ ආරම්භ කළ දෙවැනි ඉනිමේ දී නිශාන් මධුශ්ක (21*) සහ නවෝද් පරණවිතාන (22*) නොදැවී පිටියේ රැඳී සිටියා.

  • යාපනය කණ්ඩායම; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 77ක දී කඩුලු 9ක් දැවී 218) සියලුම දෙනා දැවී 254 (83.5) නිශාන් මධුශ්ක 29, නවෝද් පරණවිතාන 34, සමින්ද ප්‍රනාන්දු 27, සංතුශ් ගුණතිලක 28, කල්හාර සේනාරත්න 29, නුවන් ප්‍රදීප් නොදැවී 37, ඩිල්ශාන් මධුශංක 3/51, චලන ද සිල්වා 2/72, සුමින්ද ලක්ෂාන් 4/28
  • ගාල්ල කණ්ඩායම; පළමු ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 30.4කදී කිසිවෙක් නොදැවී 113) කඩුලු 9ක් දැවී 444 (114.0) සංගීත් කුරේ 160, පබසර වඩුගේ 108, හෂාන් දුමිඳු 54, සුමින්ද ලක්ෂාන් 57, චානක රුවන්සිරි 29, ජනිත් ලියනගේ 3/53, ශෂික දුල්ශාන් 4/146
  • යාපනය කණ්ඩායම; දෙවැනි ඉනිම (තෙවැනි දිනයට තරගය නතර කරන විට) කිසිවෙක් නොදැවී 43 (12) නිශාන් මධුශ්ක නොදැවී 21, නවෝද් පරණවිතාන නොදැවී 22

මහනුවර සහ දඹුල්ල

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තෙවැනි දිනයට තරගය නතර කරන විට තම දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන මහනුවර ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 134ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් ප්‍රතිවාදීන්ට වඩා මෙතෙක් ලකුණු 364ක් ඉදිරියෙන් සිටිනවා.

කාසියේ වාසිය දිනා ගත් මහනුවර ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 446ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් දඹුලු ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 216ක් පමණයි.

තරගය තෙවැනි දිනයට ආරම්භ වූයේ දඹුලු කණ්ඩායමේ පළමු ඉනිමේ කඩුලු 3ක් දැවී ලකුණු 77ක් ලබා සිටිය දී. ඒ වෙද්දී අශාන් ප්‍රියංජන් (19*) සහ නායක මිනෝද් භානුක (37*) නොදැවී පිටියේ රැඳී සිටියා.

අද ඔවුන් එම ඉනිම් අර්ධ ශතක ඉනිම් දක්වා රැගෙන යෑමට සමත් වුනා. මිනෝද් භානුක පන්දු 116කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 71ක් ලබා දැවී යද්දී සිව්වැනි කඩුල්ලට ලකුණු 125ක් වාර්තා වී තිබුණා.

අශාන් ප්‍රියංජන් පන්දු 143කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 73ක් ලබා ගත්තා. ලහිරු සමරකෝන් ද පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව යාපනය ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 8ක් තුළ දවා ගැනීමට මහනුවර ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙනුණා. ඒ සඳහා ඔවුන් වැය කළේ පන්දු 18ක් පමණයි.

කඩුලු ලබා ගැනීමේ දී අශේන් ඩැනියෙල් ලකුණු 75කට කඩුලු 5ක් ලබා ගනිමින් තම පළමු පෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වුනා. ඊට අමතරව ආරම්භක වේගපන්දු යැවූ අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් දවා ගත් අතර කමිල් මිෂාරට ද එක කඩුල්ලක් හිමි වුනා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ මංගල කඩුල්ලයි.

ලකුණු 230ක් ඉදිරියෙන් සිටි මහනුවර ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි අතර එම ඉනිම වෙනුවෙන් පළමු ඉනිමේ ද අර්ධ ශතකයක් වාර්තා කළ ඕෂද ප්‍රනාන්දු මෙම ඉනිමේ ද අර්ධ ශතකයක් වාර්තා කළා.

තෙවැනි කඩුල්ල ලෙසින් ඔහු දැවී යද්දී පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 63ක් ලබා සිටියා. ඔහු සහ නායක කමිඳු මෙන්ඩිස් එම කඩුල්ලට ලකුණු 67ක සබඳතාවක් එක් කළා.

අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය තෙවැනි දිනයට නතර කරන විට මහනුවර කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 36ක් සහ ලහිරු උදාර නොදැවී ලකුණු 16ක් ලබා පිටියේ රැඳී සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී ලහිරු සමරකෝන්, පවන්ත වීරසිංහ සහ මාලින්ද පුෂ්පකුමාර කඩුල්ල බැගින් ලබා සිටියා.

මහනුවර කණ්ඩායම; පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට පන්දුවාර 77ක් අවසානයේ කඩුලු 3ක් දැවී 297) සියලුම දෙනා දැවී 446 (128.5) කමිල් මිෂාර 74, ලසිත් කෘaස්පුල්ලේ 43, ඕෂද ප්‍රනාන්දු 97, කමිඳු මෙන්ඩිස් 94, ලහිරු උදාර 83, මාලින්ද පුෂ්පකුමාර 7/120

දඹුල්ල කණ්ඩායම; පළමු ඉනිම (දෙවැනි දිනයට නතර කරන විට පන්දුවාර 23.3ක් අවසානයේ කඩුලු 3ක් දැවී 77) සියලුම දෙනා දැවී 216 (60) අශාන් ප්‍රියංජන් 73, මිනෝද් භානුක 71, ලහිරු සමරකෝන් 42, අසිත ප්‍රනාන්දු 4/39, අශේන් ඩැනියෙල් 5/75

මහනුවර කණ්ඩායම; දෙවැනි දිනය (තරගය තෙවැනි දිනයට නතර කරන විට) කඩුලු 3ක් දැවී 134 (34) ඕෂද ප්‍රනාන්දු 63, කමිඳු මෙන්ඩිස් නොදැවී 36

මෙම තරග දෙකම හෙට (20) සිව්වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සමඟ ක්‍රිකට් ලොව තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<