ත්‍රස්ත ප්‍රහාරය ආශීර්වාදයක් කර ගත් බංග්ලාදේශය මෙන්…

478

දිනය 2019 මාර්තු 15 වැනි සිකුරාදා ය. නවසීලන්තයේ ක්‍රයිස්ට් චර්ච් නුවර මුස්ලිම් බැතිමතුන් තම දේව මෙහෙයන් සඳහා පල්ලි දෙකක් තුළ ය. නාඳුනන තුවක්කුකරුවෙකු පැමිණ වෙඩි වරුසාවක් තබමින් ඉන් 51දෙනෙකු ඝාතනය කරන්නේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ද ඉන් එක් පල්ලියක් වෙත සිය නිල බස් රථයෙන් පැමිණෙමින් සිටිය දී ය.

ප්‍රහාරයෙන් පසුව ක්‍රයිස්ට් චර්ච් නුවර ආරක්ෂාව තරකර තිබූ අයුරු

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට සීරීමක්වත් සිදු නොවීය. එහෙත් අදාළ පල්ලියට එන අතරමඟ බස් රථය තුළ සිටි ඔවුන් බිරන්තට්ටු වූයේය. ඔවුන්ව වහ වහා ඔවුන්ගේ හෝටලය තුළට නැවත යොමුකෙරුණු අතර නවසීලන්තයට එරෙහි බංග්ලාදේශ එක්දින තරගාවලිය එතැනින්ම නතර විය. එහෙත්, “එකමුතුකම ශක්තිමත් විය යුත්තේ අර්බුදය තුළය” යන්න නැවත පසක් කරමින් බංග්ලාදේශ ක්‍රීඩකයන් තම කණ්ඩායම් සගයන් අතර ඇති විශ්වාසය තවත් තර කරගත්තේය. සහෝදර බැම්මක් බැඳගත්තේය.

මෙය හෙළිදරව් කරන්නේ බංග්ලාදේශ පුහුණුකරු ස්ටීව් රෝඩ්ස් ය.

පිළිකුල් සහගත ක්‍රයිස්ට් චර්ච් වෙඩි තැබීම් වලින් පස්සේ, ඔවුන් දැන් සහෝදරකමක් ගොඩනගාගෙන තිබෙනවා. ඒ බස් රථය තුළ ඔවුන්ට මුහුණ දෙන්න වුණු අත්දැකීම නිසා මං හිතන්නේ යම් විදියකට ඔවුන් බැඳුණා. ඔවුන් ගැන මට ලොකු ගෞරවයක් තිබෙනවා. ඔවුන් එම සිද්ධියෙන් පසුව තමන්ව හසුරුවා ගත් ආකාරය ගැන” රෝඩ්ස්, රොයිටර් හමුවේ කියා තිබුණි.

Video – දල ලකුණු වේගයට කලාව එක්කළ Youhana – Mohammad Yousuf

මොහොමඩ් යූසුෆ් නම් කලාත්මක පිතිකරුවා ගැන…

මේ ගෞරවය කුමක් සඳහා ද? ලෝක කුසලාන තරගාවලියට මාස දෙකකට පමණ පෙර සිදු වූ එම සිද්ධියෙන් පසුව ඔවුන් කෙතරම්  හොඳින් කණ්ඩායමක් ලෙස සූදානම්ව ඇත්දැයි අපට කියාපෑවේ දකුණු අප්‍රිකාවට එරෙහිව ඔවුන් ක්‍රීඩා කළ ආකාරයයි. පිතිකරණයේ යෙදෙමින් කඩුලු 6කට ලකුණු 330ක් වාර්තා කළ බංග්ලාදේශ ක්‍රීඩකයෝ පන්දු යවමින් ලකුණු 21ක ජයක් වෙත තම මාවත සකසාගත්හ.

මං හිතන්නෙ ඔවුන් එකිනෙකාව සනසා ගත්තා. එකිනෙකාට උදව් කරගන්න උත්සාහ කළා. ඔවුන් එතනින් ගොඩ ඒම මම අගය කොට සලකනවා.” පුහුණුකරු තවදුරටත් කියයි.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය ද මීට මඳක් සමානය. අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා දින දේවමෙහෙයන් වලට සහභාගී වෙමින් සිටි කතෝලික බැතිමතුන් වෙත සහ සැප හෝටල් තුළ තම උදෑසන ආහාර රසවිඳිමින් සිටි සංචාරකයන් වෙත අන්තවාදී බෝම්බ ප්‍රහාර එල්ල විය. එසැණින්ම මහජනයා බියට පත්වූ අතර එය එකමුතුකමට පාර හෙළිවීමක් ලෙස හඳුනා ගන්නට බොහෝ දෙනා සමත් විය. පසුව එම මතය අයාලේ යන්නට පාර කැපුවේ කවුරුන්දැයි අප හොඳින් සිතා බැලිය යුතුය.

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තරකර තිබූ අයුරු

එදා සිදු වූ සිද්ධියෙන් කම්පනයට පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් නොයෙක් පණිවුඩ නිකුත් කළ අතර ඔවුන්ගේ පුහුණුවීම් වලට ද ආරක්ෂාව සැපයීමට තරම් සැක සහිත වටපිටාවක් ගොඩනැගිණි. ශ්‍රී ලංකා කණ්ඩායම ද සිදුකරගත යුතුව ඇත්තේ අර්බුදය තුළ එක්වීමට අවශ්‍ය මඟ සකසා ගැනීමයි. පුහුණු තරගවල දී ඔවුන් ක්‍රීඩා කළ ආකාරය සැබවින්ම ධනාත්මක වූ අතර පසුගිය දා අවසන් වූ ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයේ දී අඩු ලකුණු සංඛ්‍යාවක් රැකගනිමින් ජය ගැනීමට ක්‍රීඩා කළ ආකාරය ද ප්‍රශංසනීය ය. මේ අතර මහජනයා නැවත පිල් බෙදී විකල් මනසින් හැසිරීම ඔවුන් සිතට ගත යුතු නැත.

කෙසේ වෙතත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ අතේ දුරින් තිබූ අනතුර නිසා ඔවුන් මෙතරම් එකමුතු වූ ආකාරය ගැන රෝඩ්ස් තවදුරටත් පැහැදිලි කළේය.

මම හිතුවා කොහොමද මේ කණ්ඩායම නැවත එකතු කරගන්නේ කියලා. නමුත් ඔවුන් ඒක කරලා තියෙනවා. ඒක මගෙන් වුණු විශේෂ දෙයක් නම් නෙවෙයි.” රෝඩ්ස් නිහතමානී වී තිබේ.

නමුත් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයන් කෙතරම් නිහතමානී ද නැති ද යන්න ගැන අපට වෙනමම කතා කළ හැකිය. එය එතරම් වැදගත් නොවේ. වැදගත් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙරට පවතින අර්බුදයෙන් පන්නරය ලබා කනස්සල්ලෙන් සිටින ජනතාවට තම උපරිම දස්කම් ප්‍රදර්ශනය කරන්නේ නම් එයයි.

ජොෆ්රා ආචර් එංගලන්තයට ගිය හැටි

​​බාබෙඩෝස් නම් කුඩා දූපතේ උපන් ජෝෆ්රා ආචර් එංගලන්තය……

දිමුත් කරුණාරත්න යටතේ කණ්ඩායමේ ක්‍රීඩකයන් එකමුතුව ක්‍රීඩා කරනු පෙනේ. පරාජය වූවාට කම් නැත. අවශ්‍ය වන්නේ තරගකාරීව ක්‍රීඩා කිරීමයි. එවිට එක් මොහොතක ජයග්‍රහණය අප සොයා එනු ඇත. තවත් නිවැරදි කරගැනීමට ඇත්තේ අංශ කිහිපයක වැරදි පමණි. ඒවා ද ඉක්මනින් නිවැරදි කරගත හැකි නම්, බංග්ලාදේශය හිස ඔසවාගන්නට අර්බුදය යොදාගත් සේම ශ්‍රී ලංකාවට ද අර්බුදයෙන්ම සවිය ගෙන නැගිටිය හැකිය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<