ලංකා ප්‍රිමියර් ලීගයට එන්න හිටපු ක්‍රීඩකයින් තුනක් හැලෙයි?

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

281
Faf, Miller, Malan

ලබන මස 21 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (LPL) සඳහා සහභාගී වීමට අපේක්ෂාවෙන් සිටි Faf du Plessis, David Miller සහ Dawid Malan යන ක්‍රීඩකයින් හට LPL තරගාවලිය සඳහා සහභාගී වීම දැඩි අවිනිශ්චිත මට්ටමකට පැමිණ තිබේ.

මේ සඳහා හේතු වී තිබෙන්නේ දකුණු අප්‍රිකානු දේශීය ක්‍රිකට් තරගාවලිය සහ ලබන මස අවසානයේ දී ආරම්භ වන දකුණු අප්‍රිකා – එංගලන්ත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලි නිසාවෙනි.

එහි දී Faf du Plessis, David Miller සහ Dawid Malan යන ක්‍රීඩකයින් මේ තරගාවලි නියෝජනය කරන සංචිත සඳහා තේරීමට වැඩි ඉඩක් තිබෙන නමුත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය හෝ එංගලන්ත ක්‍රිකට් ආයතනය මේ තරගාවලිය සඳහා සහභාගී වන සංචිත තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.

තවත් ක්‍රිකට් පුවත්:

දකුණු අප්‍රිකා – එංගලන්ත තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු එක්දින තරගය දෙසැම්බර් 4 වැනිදා Newlands හිදී පැවැත්වෙන අතර අනෙක් තරග දෙක පිළිවෙළින් දෙසැම්බර් 6 සහ 9 වැනිදා පැවැත්වේ. Newlands පැවැත්වෙන පළමු එක්දින තරගය සහ තුන්වැනි එක්දින තරග දෙක දිවා/රාත්‍රි තරග ලෙස පැවැත්වේ. ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම ICC ලෝක කුසලාන සුපර් ලීගය තුල සහභාගී වන පළමු තරගාවලිය මෙය වනු ඇත.

මේ වන විට ඉතාමත් හොඳ රිද්මයක සිටින Plessis කොළඹ Kings කණ්ඩායම විසින් තෝරාගෙන තිබෙන අතර Malan සහ Miller  යන දෙදෙනා මෙවර LPL තරගාවලියේ පිළිවෙළින් යාපනය Stallions සහ දඹුල්ල Hawks යන කණ්ඩායම් නියෝජනය කිරීම වෙනුවෙන් තෝරාගෙන තිබුණි. ඒ අතර සිටින දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් දෙදෙනා මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සමඟ එක්ව සිටියි.

දකුණු අප්‍රිකා – එංගලන්ත ක්‍රිකට් තරගාවලියට අමතරව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නවසීලන්ත තරගාවලිය (නොවැම්බර් 27) සහ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය (නොවැම්බර් මස අවසානයේ දී) ආරම්භ වීමට තිබෙන ඉදිරි ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි වේ. Andre Russel, Carlos Braithwaite සහ Chris Gayle යන ක්‍රීඩකයින් නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලියේ කොදෙව් සංචිතය සඳහා නම් වී නොමැත.

එම නිසා ඒ තරගාවලි නියෝජනය කරන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් LPL තරගාවලියට සහභාගී නොවන නිසාවෙන් ඉන් ගැටලුවක් ඇති වන්නේ නොමැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<