ප්‍රබල සටනකට පසු සෝන්ඩර්ස් අවසන් 4 දෙනා අතරට

572

2018 FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය යටතේ බන්ධනාගාර ක්‍රීඩා සමාජය සහ සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය අතර අද (18) කොළඹ සුගතදාස පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ගෝල 1-2ක ජයග්‍රහණයක් හිමිකරගත් ප්‍රබල සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.

යුධ හමුදා ප්‍රහාරයෙන් SLTB බලය බිඳ වැටේ

ගෝල 2-0 ක් ලෙස SLTB ක්‍රීඩා සමාජය පරාජය කරමින් Vantage FA Cup පාපන්දු කුසලානයේ වත්මන් ශූරයින් වන යුධ හමුදා ක්‍රීඩා සමාජය 2018…

තරගයට ප්‍රබල ආරම්භයක් ලබා ගත් බන්ධනාගාර ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් පළමු අර්ධය ආරම්භයේ සිටම දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් අනුගමනය කරමින් ප්‍රතිවාදීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට විය. කෙසේ නමුත් තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ ගෝලයක් වාර්තා කර ගැනීමට පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කරගන්නට ඔවුන් සමත් වූයේ නැත. නමුත් තරගයේ 8 වන මිනිත්තුවේ දී ඔවුන් පන්දුව හොඳින් හුවමාරු කරමින් ඉදිරියට ගෙනගොස් අවසානයේ පිටියේ වම් අන්තයේ සිට පන්දුව ගෝල රාමු කලාපයට යොමු කළ අතර ක්‍රිෂාන්ත අබේසේකර එහි දී පන්දුවට වේගවත් පහරක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කර ගැනීමට උත්සාහ දැරුවත් සෝන්ඩර්ස් ගෝල රකින ක්‍රීඩක ආර්. පී. ජයසිරි විශිෂ්ට අන්දමින් එය වළකා ගන්නට සමත් විය.

අනතුරුව සෝන්ඩර්ස් ක්‍රීඩකයින් ද තරගයට අවතීර්ණ වූ අතර තරගයේ 10 වන මිනිත්තුවේ දී ඔවුන් ඉදිරියට යොමු කළ පන්දුවක් ලබා ගන්නට බන්ධනාගාර ක්‍රීඩා සමාජ ගෝල රකින ක්‍රීඩක අසංක විරාජ් ඉදිරියට පැමිණියත් එහි දී එය ඔහුට නිසි පරිදි ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් පන්දුව ලබාගත් සෝන්ඩර්ස් ඉදිරිපෙළ ක්‍රීඩක කසුන් ජයසූරිය එය ගෝල රාමුව තුළට යොමුකිරීමට පහරක් එල්ල කළ නමුත් බන්ධනාගාර ක්‍රීඩා සමාජ පසුපෙළ ක්‍රීඩකයින් එය සාර්ථකව ගෝල රාමුවෙන් ඉවතට යොමුකිරීමට සමත් වීම නිසා එම අවස්ථාව ඔවුන්ට ගිලිහී ගියේය.

බන්ධනාගාර ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් තවදුරටත් පන්දුව රැගෙන ඉදිරියට රැගෙන යමින් ගෝලයක් වාර්තා කරගැනීමට උත්සාහ දැරූ අතර ඔවුන්ගේ එම උත්සාහය තරගයේ 23 වන මිනිත්තුවේ දී සාර්ථක විය. එහි දී හොඳින් පන්දුව හුවමාරු කරමින් ඉදිරියට රැගෙන ගිය ඔවුන් අවසානයේ එය ගෝල රාමු කලාපය ඉතා ආසන්නයේ සිටි ටී. කජකෝපන් වෙත බාර කළ අතර ඔහු ප්‍රතිවාදී කණ්ඩායමේ ආරක්‍ෂක ක්‍රීඩකයින් දෙදෙනෙක් පසුකරමින් විශිෂ්ට පහරක් එල්ල කරමින් සිය කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන එන්නට සමත් විය.

දඬුවම් පහර වටයෙන් කොළඹ ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට

2018 FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය යටතේ කොළඹ පාපන්දු සමාජය සහ නිව් යංග්ස් පාපන්දු සමාජය…

ඉන් අනතුරුව ගෝලයක් වාර්තා කරගැනීමේ අරමුණින් වහාම ක්‍රියාත්මක වූ සෝන්ඩර්ස් ක්‍රීඩකයින් දැඩි ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශයක් අනුගමනය කරමින් ප්‍රතිවාදීන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරන්නට විය. ඒ අනුව තරගයේ 23 වන මිනිත්තුවේ දී සෝන්ඩර්ස් ක්‍රීඩක සුන්තරාජ් නිරේෂ් වේගවත් පහරක් ගෝල රාමුව තුළට එල්ල කළත් එහි දී ක්‍රියාත්මක වූ අසංක ඉතා දක්‍ෂ ලෙස පන්දුව ගෝල රාමුවෙන් ඉවතට යොමුකරන්නට සමත් විය.

කෙසේ නමුත් ගෝලයක් හඹා යාමේ ඔවුන්ගේ උත්සාහය තරගයේ 29 වන මිනිත්තුවේ දී සාර්ථක වූයේ කසුන් විසින් ඔවුන්ගේ පළමු ගෝලය වාර්තා කරගැනීමත් සමඟයි. ඒ අනුව ගෝල රාමුව ඉතා ආසන්නයේ සිටි ඔහුට ලැබුණු පන්දුව ඉතා පහසුවෙන් ගෝල රාමුව තුළට යොමු කළ ඔහු තරගයේ ලකුණු තත්වය නැවතත් සම තත්වයකට ගෙන එන්නට සමත් විය.

අනතුරුව කණ්ඩායම් දෙකම තරගයේ පෙරමුණ ගැනීම සඳහා ගෝලයක් වාර්තා කරගැනීමට දැඩි උත්සාහයක නිරත වුවත් ඒ සඳහා පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කරගන්නට දෙපිළේම ක්‍රීඩකයින් සමත් වූයේ නැත. කෙසේ නමුත් සෝන්ඩර්ස් ක්‍රීඩක නිරේෂ් තරගයේ 43 වන මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරගැනීමට සමත් වුවත් එය වාර්තා කරගැනීමේ දී ඔවුන් ‘off-side’ නීතිය උල්ලංඝනය කළ බවට විනිසුරුවරයා සංඥා කිරීම නිසා ඔවුන්ට එම ගෝලය පිරිනැමුණේ නැත.

පළමු අර්ධය: බන්ධනාගාර ක්‍රීඩා සමාජය 01 – 01 සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය

ඉතා උද්වේගකර අයුරින් තරගයේ දෙවන අර්ධයට පිවිසි සෝන්ඩර්ස් ක්‍රීඩකයින් තරගයේ 50 වන මිනිත්තුවේ දී සිය දෙවැනි ගෝලය වාර්තා කරගනිමින් තරගයේ පෙරමුණ ගන්නට සමත් විය. ඒ අනුව එහි දී ඉක්මන් අවස්ථාවක් හරහා ක්‍රියාත්මක වෙමින් පන්දුව ඉදිරියට රැගෙන ගිය ඔවුන් අවසානයේ එය කසුන් වෙත බාර කළ අතර ඔහු ප්‍රබල පහරක් එල්ල කරමින් පන්දුව ගෝල රාමුව තුළට යොමු කළේ තරගයේ සිය දෙවැනි ගෝලයට හිමිකම් කියමිනි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ඊට ප්‍රතිචාර ලෙස බන්ධනාගාර ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් නැවතත් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් අනුගමනය කරන්නට වූ අතර ඒ අනුව ගෝලයක් වාර්තා කරගැනීමට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කරගන්නට ද ඔවුන් සමත් විය. කෙසේ නමුත් ඒවා සාර්ථකව අවසන් කරගැනීමට ඔවුන් අපොහොසත් වීම හේතුවෙන් එම අවස්ථාවන් ඔවුන්ගෙන් ගිලිහී ගියේය.

අනෙක් අන්තයේ සෝන්ඩර්ස් ක්‍රීඩකයින් ද දිගින් දිගටම ගෝලයක් රැස්කර ගැනීමට පහසු අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කරගනිමින් ගෝලයක් වාර්තා කරගැනීමට ඉතා ආසන්නයට පැමිණියත් අවසානයේ ගෝල රාමුව තුළට පන්දුව යොමුකිරීමට ඔවුන් දැක්වූ දුර්වලතාවය හේතුවෙන් එම අවස්ථාවන් ඔවුන්ට අහිමිව ගියේය.

තරගයේ 78 වන මිනිත්තුවේ දී බන්ධනාගාර ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් හට ලැබුණු කෝනර් පහරකින් ඔවුන් ගෝල රාමු කලාපය තුළට යොමු කළ පන්දුව නිසි පරිදි ඉවතට යොමුකරන්නට සෝන්ඩර්ස් පසුපෙළ ක්‍රීඩකයින් අසමත් වීම හේතුවෙන් එහි දී පන්දුව ගෝල රාමුව ඉතා ආසන්නයේ සිටි සෝන්ඩර්ස් ක්‍රීඩක සම්පත් වෙත යොමු වූ අතර එහි දී ඔහු එල්ල කළ පහර ගෝල රාමුවෙන් ඉවතට ඇදී යාම නිසා ගෝලයක් රැස්කර ගැනීමට තිබූ පහසු අවස්ථාවක් ඔවුන්ට එහි දී ගිලිහී ගියේය.

FA කුසලානය සොරා ගන්නට සැරසෙන කණ්ඩායම් 8

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දැවැන්තම පිළිමළුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලිය වන FA කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග එළඹෙන…

අනතුරුව තරගයේ 79 වන මිනිත්තුවේ දී සෝන්ඩර්ස් ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කර ගනු ලැබුවත් එම අවස්ථාවේ දී ඔවුන් ‘off-side’ නීතිය උල්ලංඝණය කළ බවට විනිසුරුවරයා සංඥා කිරීම නිසා එම ගෝලය ඔවුන්ට පිරිනැමුණේ නැත.

තරගයේ 89 වන මිනිත්තුවේ දී බන්ධනාගාර ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් හට ගෝල රාමු කලාපය ඉතා ආසන්නයේ දී නිදහස් පහර අවස්ථාවක් හිමි වූ අතර එය ලබාගත් ප්‍රබෝද් ඉතා දක්‍ෂ ලෙස පන්දුව ගෝල රාමුවේ දකුණු ඉහළ කෙළවර වෙත යොමුකිරීමට උත්සාහ දැරුවත් එහි දී ක්‍රියාත්මක වූ ජයසිරි ඉතා විශිෂ්ට අන්දමින් එය රැකගන්නට සමත් විය.

තරගයේ අවසාන මිනිත්තු කිහිපය තුළ ගෝලයක් වාර්තා කරගනිමින් තරගයේ ලකුණු තත්වය සම කිරීමට බන්ධනාගාර ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් දැඩි උත්සාහයක් දැරුවත් ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක වූයේ නැත. ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය හිමිකරගත් සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය.

සම්පූර්ණ කාලය: බන්ධනාගාර ක්‍රීඩා සමාජය 01 – 02 සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – කසුන් ජයසූරිය (සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය)

ගෝල ලාභීන්

  • බන්ධනාගාර ක්‍රීඩා සමාජය – ටී. කජකෝපන් 23’
  • සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය – කසුන් ජයසූරිය – 29’, 50’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<