FA කුසලානයට මාන බලමින් කණ්ඩායම් 8ක් සටනට

892

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දැවැන්තම පිළිමළුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලිය වන FA කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග එළඹෙන සති අන්තයේ දී (නොවැම්බර් 17 සහ 18) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන FA කුසලානය සඳහා මෙවර අනුග්‍රාහක දායකත්වය ලබා දෙන්නේ Vantage ආයතනයයි.

මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයින් අර්ධ අවසන් පූර්ව වටයට

2018 ThePapare පාපන්දු ශූරතාවලියේ දී අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා මීගමුව මාරිස් ස්ටෙල්ලා…

56 වැනි වරට පවත්වනු ලබන FA කුසලානය සඳහා දිවයිනම ආවරණය වන පරිදි කණ්ඩායම් 715ක් සහභාගී විය. මෙම වසරේ අප්‍රේල් 22 වැනිදා ආරම්භ වූ මෙම තරගාවලියේ අවසාන 16 දෙනාගේ වටයේ තරග පසුගිය ඔක්තෝබර් 24 වැනි දින සිට පැවැත්විය.

අර්ධ අවසන් පූර්ව වටයේ තරග පැවැත්වෙන්නේ පහත ආකාරයට වන අතර එම එක් එක් කණ්ඩායම් අවසාන 16 දෙනාගේ වටයෙන් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත් ආකාරය පිළිබඳව සැකවින් මෙසේයි.

යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ක්‍රීඩා සමාජය

පළමු අර්ධ අවසන් පූර්ව වටයේ තරගය වන මෙම තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් 17 වැනි සෙනසුරාදා සවස 3.30ටයි. පසුගිය වසරේ ශූරයන් වන යුධ හමුදා ක්‍රීඩා සමාජය අවසාන 16 දෙනාගේ වටයේ දී නිව් ස්ටාර් කණ්ඩායම ගෝල 3-0ක් ලෙසින් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ක්‍රීඩා සමාජය, උරුතිරපුරම් ක්‍රීඩා සමාජය සමඟ පැවති උණුසුම් තරගයකින් අනතුරුව අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි. නියමිත කාලයේ දී ගෝල 1-1ක් ලෙස සමව නිමා වූ එම තරගය දඬුවම් පහර දක්වාම ඇදී ගිය අතර එහි දී දඬුවම් පහර 4-1ක් වශයෙන් ජය ලබන්නට ගමනාගමන මණ්ඩල ක්‍රීඩා සමාජයට හැකි විය.

>> තරගවල ඡායාරූප ඇල්මය සඳහා පිවිසෙන්න <<


කොළඹ පාපන්දු සමාජය සහ නිව් යංග්ස් පාපන්දු සමාජය

“බුද්ධික පෙරේරා ගෝලය වාර්තා කිරීමෙන් අනතුරුව”

17 වැනි සෙනසුරාදා සවස 6ට දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය ලෙස මෙම තරගය පැවැත්වෙයි. ඒ කොළඹ පාපන්දු සමාජය සහ නිව් යංග්ස් පාපන්දු සමාජය අතරයි. කොළඹ පාපන්දු සමාජය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ලැබුවේ ජාවාලේන් කණ්ඩායම ගෝල 3-1ක් ලෙසින් පරාජය කරමිනි.

එම තරගයේ 90 වැනි මිනිත්තුව වන තෙක්ම දෙපිලම ගෝල එක බැගින් ලබා සම තත්වයේ සිටිය ද දෙවැනි භාගයේ අතිරේක මිනිත්තු කිහිපය තුළ දී බුද්ධික පෙරේරා සහ මොහොමඩ් ෆසාල් විසින් ලබා ගත් ගෝල ද්විත්වය හේතුවෙන් තරගය ජය ගැනීමට කොළඹ පාපන්දු සමාජයට හැකි විය.

අවසාන 16 දෙනාගේ වටයේ දී රෙඩ් සන් කණ්ඩායම ගෝල 4-0ක් ලෙසින් පරාජය කරමින් නිව් යංග්ස් පාපන්දු කණ්ඩායම 17 වැනි සෙනසුරාදා දිනයේ දී ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිකර ගන්නා ලදි.

>> තරගවල ඡායාරූප ඇල්මය සඳහා පිවිසෙන්න <<


බන්ධනාගාර ක්‍රීඩා සමාජය සහ සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය

18 වැනි ඉරිදා පැවැත්වෙන තරගාවලියේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය මෙයයි. සවස 3.30ට තරගය ආරම්භ වීමට නියමිත මෙම තරගයට සාන්ත නිකලස් ක්‍රීඩා සමාජය ගෝල 2-1ක් වශයෙන් පරාජය කළ බන්ධනාගාර ක්‍රීඩා සමාජය අර්ධ අවසන් පූර්ව වටයේ ඉඩක් වෙන් කරගන්නට සමත් විය.

කසුන් ජයසූරියගේ විශිෂ්ට ගෝල ත්‍රිත්වයේ උපකාරයෙන් එවරෙඩි ක්‍රීඩා සමාජය ගෝල 6-2ක් ලෙස පරාජය කළ ප්‍රබල සෝන්ඩර්ස් කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය. මේ වන විට FA කුසලාන 15ක් ජයග්‍රහණය කර තිබෙන සෝන්ඩර්ස් කණ්ඩායම ඔවුන්ගේ 16 වැනි FA කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා තවත් අඩියක් ඉදිරියට තැබීමට සියලුම උත්සාහ දරනු ඇත.

>> තරගවල ඡායාරූප ඇල්මය සඳහා පිවිසෙන්න <<


රිනවුන් ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය

“රිනවුන් සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර පැවති තරගයේ අවස්ථාවක්”

හතරවැනි සහ අවසාන අර්ධ අවසන් පූර්ව වටයේ තරගය මෙයයි. 16 දෙනාගේ වටයේ දී ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව පැවති තරගය ගෝල 4-0ක් ලෙස රිනවුන් කණ්ඩායම ජය ගත්ත ද ගුවන් හමුදා කණ්ඩායම ද ඉතා හොඳින් ක්‍රීඩා කරන ලදි.

රිනවුන් කණ්ඩායමේ නියමුවා වූ දිලීප් පීරිස් 2, 44 සහ 79 වැනි මිනිත්තුවල දී ගෝල වාර්තා කරමින් රිනවුන් කණ්ඩායම ජයග්‍රහණය වෙත කැඳවා ගෙන ගියේය.

මීගමුව යූත් කණ්ඩායමට එරෙහිව ගෝල 3-1ක් ලෙස පහසු ජයක් ලබමින් පොලිස් ක්‍රීඩා සමාජය රිනවුන් කණ්ඩායම සමඟින් අර්ධ අවසන් පූර්ව තරගයට සිය ස්ථානය වෙන් කර ගැනීමට සමත් විය. තරගය ආරම්භ වෙන්නේ 18 වැනි ඉරිදා සවස 6.30ටයි.

අර්ධ අවසන් වටයේ සියලු තරග සජීව ලෙස ඔබ වෙත සමීප කිරීමට ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්. තරගාවලියේ තරග වාර්තා, ඡායාරූප ඇල්බම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<