කැන්ගරුවන්ට තවත් තරගාවලි ජයක්

122

ඕස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය, තවත් තරග දෙකක් ඉතිරිව තිබිය දී ම ජයග්‍රහණය කරන්නට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ඊයේ (27) සමත් විය. ඒ දෙරට අතර අබුඩාබි හිදී පැවති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 80ක පහසු ජයක් අත්කර ගැනීමත් සමඟිනි.

ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුවේ “වෝනර් – කවාජා හිසරදය”

ඕස්ට්‍රේලියානු…

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ජෙයි රිචඩ්සන් හා නේතන් කෝල්ටර්නයිල් වෙනුවට පැටි කමින්ස් හා ජේසන් බෙහ්රෙන්ඩෝෆ් මෙම තරගයට එක් වූ අතර පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් අබ්බාස් හා ෆහීම් අශ්රෆ් වෙනුවට ජුනයිඩ් කාන් සමඟින් උස්මාන් ශිවාරි මෙම තරගයට එක්විය.

තමාට ලැබුණු අවස්ථාවට සාධාරණයක් ඉටු කරමින් උස්මාන් ශිවාරි ඉනිමේ පළමු පන්දු වාරයේ දී ම උස්මාන් කවාජා ලකුණු නොලබා සිටිය දී දවා ගත්තේ ඕස්ට්‍රේලියාවට පළමු තරග දෙකේ දී මෙන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඉඩ නොතබමිනි.

ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුවට ලකුණු 20ක් එක්වන විට ලකුණු 14ක් ලබා සිටි ෂෝන් මාශ් ද ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ජුනයිඩ් කාන් සමත් විය.

ඉන් අනතුරුව පිටියට එක්වූ පීටර් හෑන්ඩ්ස්කොම්බ් සිය නායකයා හා එක්ව ඕස්ට්‍රේලියානු පිළට යම් ස්ථාවරත්වයක් ලබා දීමට උත්සහ කළේය. ලකුණු 20කට කඩුලු දෙකක් වැටී තිබුණ ද, හෑන්ඩ්ස්කොම්බ් පන්දු 43කින් ලකුණු 47ක් වාර්තා කළේ ඉනිමේ දල ලකුණු වේගය අඩාල වීමට ඉඩ නොතබමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 06ක් අන්තර්ගත විය. දෙදෙනා අතර පැවති ලකුණු 84ක සබඳතාවය බිඳ දැමීමට වමතින් දඟපන්දු යවන හරීස් සොහේල් සමත් වූයේ පීටර් හෑන්ඩ්ස්කොම්බ් දවා ගනිමිනි.

ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 140ක් වන විට ඉමාඩ් වසීමි විසින් මාකස් ස්ටොයිනිස් ලකුණු 10කට දවා ගත්තේ නැවතත් තරගය පාකිස්තානු කණ්ඩායම දෙසට හරවමිනි.

මන්දගාමී වුවත් අවස්ථාවට උචිත ඉනිමක් ක්‍රීඩා කරමින් නායක ඒරන් ෆින්ච් එක් අන්තයක සිට සිය කණ්ඩායමට ලකුණු එක් කරන විට අනෙක් අන්තයේ ක්‍රීඩා කළ ග්ලේන් මැක්ස්වෙල් ඊට අනගි සහයක් ලබා දුන්නේය.

ඕස්ට්‍රේලියාවෙන් බිහි වූ විශිෂ්ට දඟපන්දු යවන්නෙකු දිවියට සමුදෙයි

හිටපු ඕස්ට්‍රේලියානු ……

කෙසේ වෙතත් ඉනිමේ 42 වැනි පන්දුවාරයේ දී යසීර් ෂාගේ පන්දුවක් හමුවේ හරීස් සොහේල් වෙත උඩ පන්දුවක් ලබා දී ඒරන් ෆින්ච් දැවී ගිය අතර ඒ වන විට ඔහු පන්දු 136ක දී ලකුණු 90ක් ලබා සිටියේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 05ක් සහ එක් හයේ පහරක් පමණක් අන්තර්ගත විය. පළමු තරග දෙකේ දී ශතක දෙකක් වාර්තා කර සිටි ඒරන් ෆින්ච් හට පිට පිට ලබා ගත හැකිව තිබූ තෙවැනි ශතකය අහිමි වූයේ එවැනි දස්කමක් කළ පළමු ඕස්ට්‍රේලියානු පිතිකරුවා වීමේ අවස්ථාව ද අහිමි කරමිනි.

ෆින්ච්ගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි ග්ලේන් මැක්ස්වෙල්ගේ ඉනිමේ මුල් භාගය අඩු ලකුණු වේගයකින් ක්‍රීඩා කළ ද අවසාන භාගයේ දී දල ලකුණු වේගය වැඩි කරමින් ක්‍රීඩා කළ මැක්ස්වෙල් 71ක් වාර්තා කළේ පන්දු 55ක දී ය. ඔහුගේ ඉනිම හතරේ පහර 8කින් හා එක් 06 පහරකින් වර්ණවත් විය.

කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරි ද වේගවත් ලකුණු 25ක් වාර්තා කරමින් පන්දුවාර 50 අවසානයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 266ක් කරා රැගෙන යාමට සමත් විය.

පාකිස්තානය වෙනුවෙන් උස්මාන් ශිවාරි සාර්ථක පන්දු යැවීමක නිරත වූ අතර ඔහු පන්දුවාර 9ක් තුල නිලකුණු පන්දුවාර දෙකක් සමඟින් ලකුණු 37කට එක් කඩුල්ලක් දවා ගත්තේය. ළාබාල ක්‍රීඩක මොහොමඩ් හුසේන් හට මෙම තරගයේ දී ද එක් කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකි වූ අතර ඔහු යැවූ පන්දුවාර 5 තුළ දී ලකුණු 50ක් ප්‍රතිවාදීන් හට ලබා දුන්නේය.

ලකුණු 267ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පැමිණි පාකිස්තානු මුල්පෙළ පිතිකරුවන් හට සාර්ථක වීමට පැට් කමින්ස් ඉඩ ලබා නොදුන්නේ පිළිවෙළින් ශාන් මසූඩ් ලකුණු දෙකකට, හරීස් සොහේල් එක් ලකුණකට හා පෙර තරගයේ ශතකයක් වාර්තා කළ කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් ලකුණු නොලබා පිටියෙන් ඉවත් කරමිනි.

ඉන්පසු පිටියට පිවිසි නායක ශොයිබ් මලික් හා ආරම්භක පිතිකරු ඉමාම් උල්හක් අතරේ ලකුණු 59ක සමබ්න්ධතාවයක් ගොඩනැගුනේ පාකිස්තානයේ ජයග්‍රහණය පිළිබඳ යම් බලාපොරොත්තුවක් එක්කරමිනි. නමුත් ග්ලේන් මැක්ස්වෙල්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ඉමාම් උල්හක් දැවී ගියේ පන්දු 72ක දී වාර්තා කළ ලකුණු 46කටය.

පාකිස්තානු ඉනිම ලකුණු 96ක් වන විට නායක ශොයිබ් මලික් ද ලකුණු 32ක් ලබා සිටිය දී   නේතන් ලයන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේ පීටර් හෑන්ඩ්ස්කොම්බ් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

ඉන්පසුව උමාර් අක්මාල් හා ඉමාඩ් වසීමි ලකුණු 53ක සම්බන්ධතාවයක් ගොඩ නැගූ නමුත් බිඳ වැටුණු පාකිස්තානු ඉනිම ගොඩ ගැනීමට එය ප්‍රමාණවත් නොවීය. කලකට පසු කණ්ඩායමට එක් වී සිටින උමාර් අක්මාල් ලකුණු 36කට දැවී ගිය අතර ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ ඕස්ට්‍රේලියානු පා දඟපන්දු යවන ක්‍රීඩක ඇඩමි සැම්පා විසින් ඉමාඩ් වසීම් ලකුණු 43කටත්, අවසන් පිතිකරුවන් සියලු දෙනා අඩු ලකුණු සංඛ්‍යාවලට ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් විය.

අවසානයේ පාකිස්තානු ඉනිම පන්දුවාර 44යි පන්දු 4ක් තුල ලකුණු 186කට සීමා වූයේ ඕස්ට්‍රේලියානු පිළට ලකුණු 80ක ජයක් සමඟින් තරගාවලියේ ජයග්‍රහණය ද තවත් තරග 02ක් ඉතිරිව තිබිය දී ම හිමිකර දෙමිනි.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දුවාර 8ක දී ලකුණු 24කට පාකිස්තානු මුල්පෙළ කඩුලු 03ක් දවා ගත් පැටි කමින්ස් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය.

ඊට අමතරව ඇඩම් සැම්පා කඩුලු 04ක් ලබා ගත් අතර බේරෙන්ඩෝෆ්ල නේතන් ලයන් හා ග්ලේන් මැක්ස්වෙල් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<