එක්දින තණතීරු ගැන Warnerගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

15006

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (21) සමත් වුනා.

ශ්‍රී ලංකාව මෙම තරගය සඳහා දඟපන්දු යවන්නන් වැඩි දෙනෙකු යොදාගෙන තිබීම විශේෂත්වයක්. කෙසේ වෙතත් ශ්‍රී ලංකා තරගාවලිය ක්‍රීඩා කළ තණතීරු දඟපන්දු යවන්නන්ට සහය දෙන තණතීරු වන බවත්, එය ඉදිරියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමටම තර්ජනයක් විය හැකි බව ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු David Warner පවසා තිබෙනවා.

David Warner එහි දී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ඔවුන්ගේ එක්දින ජාත්‍යන්තර තරගාවලිය අතරතුර සූදානම් කර ඇති තණතීරු ශ්‍රී ලංකා කණ්ඩායමටම ඉදිරියේ දී පසුබෑමකට ලක්විය හැකි හේතුවක් බවයි. එම තණතීරු ඕස්ට්‍රේලියාවට ඉදිරි ටෙස්ට් තරගාවලිය සඳහා කදිම සූදානමක් ලබා දී ඇති බව ද ඔහු පවසා සිටිනවා.

සිව්වැනි එක්දින තරගයේ දී David Warner සිය 19 වැනි එක්දින ශතකයට එක් ලකුණක් අඩුව තිබිය දී දැවී ගියා. ඕස්ට්‍රේලියා කණ්ඩායම අවසන් පන්දුවාරය දක්වා තරගය රැගෙන යාමට සමත් වුනා. ඊයේ (21) දින පරාජයෙන් පසු ශ්‍රී ලංකාව තරගාවලිය 3-1ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වුනා.

සිව්වැනි තරගය සඳහා යොදාගෙන තිබුණේ තුන්වැනි තරගය සඳහා භාවිතා කළ තණතීරුවම වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම තම සංචිතය දඟපන්දු යවන්නන් 6ක් යොදාගෙන තිබුණා. ඕස්ට්‍රේලියාව එක්දින තරගයක දී පන්දුවාර 40කට වැඩි සංඛ්‍යාවක් දඟපන්දු යවන්නන්ට මුහුණ දී තිබුණේ ඔවුන්ගේ වසර 51ක එක්දින ඉතිහාසයේ පස්වැනි වතාවට වීම ද විශේෂත්වයක්.

ගාල්ලේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක සඳහා ද වැඩි දඟ කැවීමක් සහිත තණතීරුවක් තම කණ්ඩායම බලාපොරොත්තු වන නිසා ශ්‍රී ලංකාවේ උපක්‍රම ඔවුන්ට සැලසුම් කිරීමට පහසුවක් වූ බව David Warner පවසනවා.

අපි හැම විටම දඟ කැවීමක් සහිත කඩුල්ලක් බලාපොරොත්තු වෙනවා. එය අපට අපූරු සූදානමක් වගේම ටෙස්ට් තරගාවලියට පිවිසීම විශිෂ්ට පුහුණුවක්.

ඇත්තටම අපි කැමතියි ඔවුන් එකම තණතීරුව මත ක්‍රීඩා කරනවාට. අපට අවශ්‍ය වන්නේ එයයි. අපට ඒ වගේ පුහුණුවීම් වෙන තැනකින් ලබා ගන්න බැහැ. අපිට ගාල්ලේ ටෙස්ට් තරගවලට මේ පුහුණුව උද්යෝගිමත් වේවි. මොකද අපි එතනට යන්නෙ තණතීරු මොනවද කියලා අපි දැනගෙන නිසා.”

ඊයේ තරගයට ක්‍රීඩා කළ Warner, Marnus Labuschagne, Travis Head සහ Cameron Green ටෙස්ට් තරගාවලියට සහභාගි වීමට නියමිත අතර ආබාධයකට ලක්වූ Steve Smith ද ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත වනවා.

මීට වසර හයකට පෙර ශ්‍රී ලංකාවේ පැවැත්වූ ඕස්ට්‍රේලියා ටෙස්ට් තරග පිළිබඳව අදහස් දක්වමින් Warner එම තරගාවලියේ තණතීරු ඉතා දරුණු ඒවා ලෙස නම් කර තිබෙනවා.

එම තරගාවලියේ දී සාමාන්‍ය 12.75ක් ලෙස රඳවා ගෙන කඩුලු 28ක් දවා ගනිමින් සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම විමතියට පත්කිරීමට 38 හැවිරිදි රංගන හේරත් සමත් වුනා. ඔහුගේ විශිෂ්ට වමත් දඟපන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකාව එම තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට සමත් වුනා.

Warner බංග්ලාදේශ සංචාරයේ දී ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පිතිකරුවා වූ අතර, මන්දගාමී පන්දු යවන්නන්ට වාසිදායක තත්ත්වයන් සහිත ඩකා හි පැවති තරගාවලියේ ආරම්භක තරගය ද ඇතුළත්ව ටෙස්ට් තරග දෙකක දී ම ශතක රැස් කර තිබුණා.

මෙය ආන්තික දඟපන්දු තණතීරුවක්. අපි සාමාන්‍යයෙන් මෙවැනි කඩුලු දකින්නේ නැහැ. ඒවා දකින්නේ මෙහෙදී පමණයි. ඉන්දියාව සම්පූර්ණයෙන්ම වෙනස්. ඔවුන්ගේ තණතීරු ඇත්තටම හොඳ තණතීරු. ඒවා දඟ කැවෙන්නේ තුන්වැනි සහ හතරවැනි දිනයේ දී. මට මතකයි ඩකා හි ක්‍රීඩා කරපු ආකාරය. එය මම මෙතෙක් ක්‍රීඩා කර ඇති නරකම තණතීරුවලින් එකක්. ඒකෙදී මම ශතකයක් ලබා ගත්තා.

මේ තණතීරුවල සාර්ථක වෙන්න නම් කැපවීම, අවධානය සහ දිගු කාලයක් පන්දුවට පහර දෙන්න ඕනේ. ආසියානු තණතීරුවල දී එක් කුඩා අත්වැරදීමකින් ඔබට පාඩුවක් සිදු වෙනවා. අපි සැම විටම තරගයේ ඉන්න ඕනේ. ටෙස්ට් තරගාවලිය දුෂ්කර වේවි. විශේෂයෙන් රස්නය එක්ක. නමුත් අපි ඒක බලාපොරොත්තුවෙන් සිටින්නේ.”

Warner අඟහරුවාදා සවස පැය තුනකට ආසන්න කාලයක් දැඩි උණුසුම් තත්ව යටතේ පන්දුවට පහර දුන් අතර ඔහු ලකුණු 99ක් ලබා සිටිය දී අවාසනාවන්ත ලෙස ස්ටම්ප් කිරීමකට හසුවී දැවී ගියා.

එක්දින තරගාවලියේ අවසන් තරගය එළඹෙන සිකුරාදා (24) පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Criceket.com.au ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<