අළුබඳුනට ගිය 8ක් එංගලන්ත සංචිතයෙන් ඉවතට

එංගලන්ත කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය 2022

4909
England Drop James Anderson And Stuart Broad

ලෝක ටෙස්ට් ශූරතාවලියට (2021–2023 ICC World Test Championship) අදාලව සංවිධානය කරන “බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත ටෙස්ට් තරගාවලිය” සඳහා සහභාගී වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

Joe Rootගේ සුපුරුදු නායකත්වයෙන් යුත් මේ සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්. කෙසේ නමුත් ඔවුන් සතුව සිටින ජ්‍යෙෂ්ඨ සහ අත්දැකීම් බහුල වේගපන්දු යවන ක්‍රීඩකයින් දෙදෙනෙකු වන James Anderson හා Stuart Broad මේ සංචිතයෙන් ඉවත් කර තිබීම විශේෂත්වයක්.

ඊට අමතරව නිමා වූ අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට එක් වූ Dom Bess, Sam Billings, Rory Burns, Jos Buttler, Haseeb Hameed සහ Dawid Malan යන ක්‍රීඩකයින් 6 දෙනාට ද මෙම එංගලන්ත ටෙස්ට් සංචිතයේ සිය ස්ථාන අහිමි වී තිබෙනවා.

තරග 5කින් සමන්විත වුනු අළුබඳුන ටෙස්ට් තරගාවලිය 4-0ක් ලෙස ජයග්‍රහණය කරන්නට සමත් වුනේ ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායමයි.

ආරම්භක පිතිකරුවෙකු වන 28 හැවිරිදි Alex Lees හා 24 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක Matthew Fisher පළමු වරට එංගලන්ත ටෙස්ට් සංචිතයකට කැඳවීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

එංගලන්ත කණ්ඩායමේ වැඩබලන කළමනාකාර අධ්‍යක්ෂ Andrew Strauss හා වැඩබලන ප්‍රධාන පුහුණුකරු Paul Collingwood ද මේ තේරීම් කමිටුවේ සාමාජිකයින් වෙනවා.

මෙතෙක් ටෙස්ට් වරම් ලබා නොමැති Saqib Mahmood හා Matthew Parkinson ද මේ ටෙස්ට් සංචිතයට ඇතුළත්. එසේම කඩුලු රකින පිතිකරු Ben Foakes වසරකට පමණ පසුව යළි සංචිතයට පැමිණීමට වරම් දිනාගෙන තිබෙනවා.

තරගාවලිය සඳහා සහභාගී වන එංගලන්ත කණ්ඩායම පෙබරවාරි 24 වැනිදා කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිත අතර ටෙස්ට් තරග 3කින් සමන්විත තරගාවලිය ආරම්භ කිරීමට පෙර සිව්දින පුහුණු තරගයකට ද සහභාගී වීමට ද එංගලන්ත කණ්ඩායම සූදානමින් පසුවෙනවා.

තරගාවලියට එක්වන එංගලන්ත ටෙස්ට් සංචිතය:

Joe Root (C), Jonny Bairstow, Zak Crawley, Matthew Fischer, Ben Foakes, Dan Lawrence, Jack Leach, Alex Lees, Saqib Mahmood, Craig Overton, Matthew Parkinson, Ollie Pope, Ollie Robinson, Ben Stokes, Chris Woakes, Mark Wood

එංගලන්ත කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ කාලසටහන

  • මාර්තු 01 – 4: සිව්දින පුහුණු තරගය – Antigua හි Coolidge ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
  • මාර්තු 08 – 12: පළමු ටෙස්ට් තරගය – Antigua හි Sir Vivian Richards ක්‍රීඩාංගණයේ දී
  • මාර්තු 16 – 20: දෙවැනි ටෙස්ට් තරගය – Barbados හි Kensington Oval ක්‍රීඩාංගණයේ දී
  • මාර්තු 24 – 28 – තෙවැනි ටෙස්ට් තරගය – Grenada හි ජාතික ක්‍රීඩාංගණයේ දී

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<