ක්‍රිකට් ක්‍රීඩාව මූලික වශයෙන් ඉරියව් තුනක එකතුවකි. පන්දු යැවීම, පිතිකරණය සහ පන්දු රැකීම ඒ තුනයි. එහෙත් පිතිකරණය හැර, ක්‍රිකට් ක්‍රීඩාවෙන්ම ඉපිද ක්‍රිකට් ක්‍රීඩාව ආක්‍රමණය කරන මට්ටමට පැමිණ ඇති වෙනත් ඉරියව්වක් නොමැත. වර්තමානය වන විට සෑම ක්‍රිකට් රටාවක්ම, තරගාවලියක්ම පාහේ නිර්මාණය වන්නේ පිතිකරණය ප්‍රමුඛ ස්ථානයෙහි තබා ය.
1990 දශකයට පෙර පිතිකරණය සහ පන්දු යැවීම යන ඉරියව් දෙකටම සම තැන් ලැබී තිබූ අතර පන්දු රැකීම එතරම් වැදගත් යැයි සැලකුණේ නැත. එහෙත් 1995 බෙන්සන් & හෙජස් තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ සනත් ජයසූරියත් රොමේෂ් කළුවිතාරණත් එක්ව පෑ ගිනිකෙළි සංදර්ශනවලින් පසුව එක්දින පිතිකරණය ගැන වෙනත්ම කෝණයකින් බැලීමේ අවස්ථාව ක්‍රිකට් ලෝකයාට ලැබිණි. එය 1996 ලෝක කුසලාන තරගාවලියේ දී තවත් ඉදිරියට ගෙන ගියේ සනත් ජයසූරිය විසිනි. ඒ කෙසේ වෙතත් පිතිකරණයේ අලංකාරීත්වය සහ තාක්ෂණයට ලැබී තිබෙන තැන පහතට නොවැටුනේය.
FROM – 48.06 – – – – සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ විසින් කළ විප්ලවය.
2000 වසරෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් හිදී පිතිකරණයට ප්‍රමුඛ ස්ථානය ලැබුණු අතර පන්දු රැකීම ද ශීඝ්‍රයෙන් ඉහළට පැමිණුනේය. වර්තමානය වන විට ඔබට පොරොවෙන් දර පලන්නා සේ හෝ කෙක්කකින් පේර කඩන්නා සේ හෝ පන්දුවට පහර දිය හැකිය. දැන් අලංකාරීත්වයට වඩා වැදගත් වන්නේ ලකුණු ය. එහෙත් පිතිකරණයේ මූලිකාංග අමතක කළ නොහැකි අතරම අලංකාර ඉරියව්වලින් පරිපූර්ණ පිතිකරුවන්ගේ තැන කිසිවෙකුට සොරාගත නොහැකිය.
මේ, තෝරාගත් ක්‍රිකට් පහරවල් 10ක් අතිශය මනරම්ව එල්ල කළ ශ්‍රී ලංකා පිතිකරුවන් දසදෙනෙකි. එසේ නොමැතිනම්, මවිසින් දැක ඇති පිතිකරුවන් අතුරින් ඒ එක් එක් පහර සඳහා වඩාත්ම විශේෂීකරණය වූ පිතිකරුවන්ය. මහදේවන් සතාසිවම් හෝ F.C. ද සේරම් වැනි පිතිකරුවන් දෑසින් දකින්නට පින් නොලද මා ඒ පිළිබඳව ඔබෙන් සමාව අයදිමි.
ෆෝවර්ඩ් ඩිෆෙන්ස් (Forward Defense – ඉදිරි පාදයේ ආරක්ෂාකාරී පහර)
ඔබ කුමන මට්ටමේ පිතිකරුවෙකු වුවත් ඔබට හොඳ ආරක්ෂාවක් නැතිනම් ඔබ දුර්වලය. ක්‍රිකට් ක්‍රීඩාවේ වැදගත්ම පහරක් ලෙස ඉදිරි පාදයේ ආරක්ෂාකාරී පහර නොහොත් “ෆෝවර්ඩ් ඩිෆෙන්සිව් ෂොට්” සැලකෙන්නේ එම නිසයි. මෙය ඇත්තෙන්ම පහරකට වඩා පන්දුව නවත්වා ගැනීමකි. එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ අධික ලකුණු පිපාසාව නිසා මේ වන විට මෙම පහර ද ආරක්ෂාකාරී පහරකට වඩා එක් ලකුණක් බලාපොරොත්තුවෙන් එල්ල කෙරෙන පහරකි. එහෙත් පන්දු යවන්නා විසින් එල්ල කෙරෙන අභියෝගය බලවත් වන තරමට මෙහි තාක්ෂණික පරිපූර්ණත්වයේ වැදගත්කම ඔබට පැහැදිලි වනු ඇත. රාහුල් ද්‍රාවිඩ් වැනි පිතිකරුවන්ගේ ප්‍රධාන ආරක්ෂණ අවියක් වූ මෙම පහර වැඩිපුර අවධානයට ලක් නොවන වැදගත් පහරකි.
මා දුටු ලාංකික පිතිකරුවන් අතුරින් හොඳින්ම ඉදිරිපාදයේ ආරක්ෂාකාරී පහර එල්ල කරන්නාව සොයා යන ගමනේ දී මම එහි තාක්ෂණික කරුණු සැලකිල්ලට ගනිමි. පන්දුවට පිටුපසින් ශරීරය පවත්වා ගැනීම, පිත්ත පා ආවරණයට ඉදිරියෙන් තබා ගැනීම, ඒ මැද හිඩැස් නොමැති වීම, හිස, පන්දුව එන මාවතෙහි තබා ගැනීම, පන්දුව තණතිල්ල මතටම එල්ල කිරීම වැනි කරුණු කිහිපයක් සලකා බැලීමේ දී මගේ මතකයෙහි හොඳින්ම රැඳී ඇති පිතිකරු මහේල ජයවර්ධනයි.
ඊට අමතරව හෂාන් තිලකරත්න, තිලාන් සමරවීර, මාවන් අතපත්තු වැනි පිතිකරුවන් ද මතකයට නැගේ. මේ සියලු දෙනාම ආරක්ෂාකාරී පිතිකරණයේ ලාංකික සලකුණු ය. අසංක ගුරුසිංහ ද මෙම පහරේ නම තැබුවෙකි. එවකට වේගපන්දු යවන්නන්ට එරෙහිව හොඳින්ම පහර දෙන පිතිකරුවෙකු ලෙස ඔහුව හැඳින්වුණේ ඔහුගේ ආරක්ෂාකාරී පහර ඉතාම ස්ථාවර වීම සහ ඇතැම් විට ඉන් හතරේ සීමාව දක්වා පන්දුව හරවා යැවීමේ හැකියාවක් ඔහුට තිබූ බැවිනි.
ස්ට්‍රේට් ඩ්‍රයිව් (Straight Drive – ඍජු එලවුම් පහර)
පිට ඉන්න පෙදෙසින් පන්දු යවන්නා පසුකර බිම දිගේ කෙළින් පන්දුව එල්ල කිරීම ඕනෑම පිතිකරුවෙකු සතු විය යුතු පහරකි. මෙහි සැබෑ අලංකාරීත්වය දිස්වන්නේ කල් මැනීම කෙතරම් සාර්ථක ද, පිත්ත කොපමණ කෙළින් පන්දුව වෙතට එන්නේ ද සහ ඉදිරි පාදය කෙතරම් හොඳින් ස්ථානගත වන්නේ ද, ශරීරයේ බර, පහර වෙත කෙතරම් හොඳින් සම්ප්‍රේෂණය වන්නේ ද යන්න මතයි.
ශ්‍රේෂ්ඨ පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්ගේ ස්ට්‍රේට් ඩ්‍රයිව් පහර නෙත් සිත් එවෙතට අලවන්නකි. එවැනිම ස්ට්‍රේට් ඩ්‍රයිව් හැඩකාරයන් වන ශ්‍රී ලංකා පිතිකරුවන් රැසක් ද මතකයට නැගේ. සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, හෂාන් තිලකරත්න වැන්නවුන් අතර කුමාර් සංගක්කාර මෙම පහර සාර්ථකවම එල්ල කළ පිතිකරුවා බව මගේ හැඟීමයි. ඔබේ මතය කුමක්ද?
ඕන් ඩ්‍රයිව් (On Drive – පා ඉන්න දෙසින් එලවුම් පහර)
මෙම පහර පිතිකරුගේ පා ඉන්න දෙසින් වන V හැඩයේ රේඛාව ඔස්සේ එල්ල කෙරෙන පහරකි. ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරට බොහෝ දුරට සමාන මූලිකාංග ඇති මේ පහරේ එකම වෙනස එය පා ඉන්න වෙත එල්ල කිරීමයි. රිකී පොන්ටින්, හෂීම් අම්ලා, විරාත් කෝලි වැනි පිතිකරුවන්ගේ මූලික ප්‍රහාරක අවියකි. මෙම පහර ආසියානුවන් විසින් තම මැණික් කටු යොදාගෙන පිටියේ හිඩැස් අතරින් යොමු කරන ආකාරය මනරම් ය. රාහුල් ද්‍රාවිඩ්, යුනිස් ඛාන් වැනි පිතිකරුවන් ඒ ආසියානු වාසිය මෙම පහරට එක් කළේය.
මා දුටු ශ්‍රී ලංකා පිතිකරුවන් අතුරින් මෙම පහර වඩාත් මනරම්ව එල්ල කළේ කුමාර් සංගක්කාර විසින් යැයි සඳහන් කිරීමට කැමැත්තෙමි. අරවින්ද ද සිල්වා ද මෙම පහරේ උපන් හපනෙකි. හෂාන් තිලකරත්න විසින් ඕන් ඩ්‍රයිව් පහර එල්ල කළේ පසු පාදය ඔසවා ය. එය මෙම පහරට වෙනස්ම අලංකාරීත්වයක් එක්කළ නමුත් මගේ වැඩිපුරම මතකයේ රැඳී ඇත්තේ කුමාර් සංගක්කාරගේ ඕන් ඩ්‍රයිව් පහර ය.
කවර් ඩ්‍රයිව් පහර (Cover Drive – “කවර්” දෙසින් එලවුම් පහර)
ක්‍රිකට් ක්‍රීඩාවේ පහරවල් අතුරින් වැඩිම නේත්‍රාකර්ෂණයක් දිනා ගත් පහර මෙය දැයි මම සිතමි. නොසෙල්වෙන හිස, දණහිසෙන් නැමුණු ඉදිරි පාදය, වැළමිටින් නැමුණු උඩු අත (Top Hand), නිසි කල් මැනීම ඇති කවර් ඩ්‍රයිව් පහරක අලංකාරය පරයා වැජඹිය හැකි වෙනත් පහරක් නැති තරම් ය.
මෙම පහර දකුණත් පිතිකරුවන්ට වඩා වමත් පිතිකරුවන් විසින් එල්ල කරද්දී ඇසෙන “වාව්” හඬ වැඩිය. වමත් පිතිකරුවන්ට උපතින්ම හිමිවූ කලාත්මකභාවයක් තිබීම ඊට හේතුවයි. දැනටමත් ඔබේ මනස බ්‍රයන් ලාරා හෝ යුවරාජ් සිං වැන්නන් විසින් සොරාගෙන තිබෙන්නට පුළුවන.
මවිසින් දැක ඇති කවර් ඩ්‍රයිව් පහර අලංකාරවත්ව එල්ල කළ ශ්‍රී ලංකා පිතිකරුවන් අතුරින් කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ඉදිරියෙන්ම සිටිනා බව ඔබ සිතන්නට පුළුවන. එහෙත් සංගක්කාරට ඉහළින් තැබිය හැකි දෙදෙනෙකු සිහිවේ. ඒ මාවන් අතපත්තු සහ රෝයි ඩයස් ය. වමත් පිතිකරුවන් නොවූවත් ඔවුන් අතිශය කලාත්මක අයුරින් කවර් ඩ්‍රයිව් පහර එල්ල කරන ආකාරය මගේ මතකයේ ඇත. එයිනුත් වැඩිපුර මගේ මතකයේ රැඳී ඇත්තේ මාවන් අතපත්තුගේ කවර් ඩ්‍රයිව් පහර ය.
පුල් සහ හුක් පහර (Pull & Hook)
මෙම පහරවල් දෙකින් පුල් පහර එල්ල කෙරෙන්නේ පන්දු යවන්නාගේ වරදකට දඬුවම් දීමකට මෙන් ය. මැද කෙටී එන පන්දුව ස්ක්වෙයාර් ලෙග් සහ මිඩ් විකට් අතරින් එලවා දැමීම මෙහි දී සිදුවේ. විශේෂයෙන්ම දඟ පන්දු යවන්නන් මෙල්ල කරගැනීමට අත්‍යාවශ්‍ය පහරක් ලෙස මෙය හැඳින්විය හැකිය. රිකී පොන්ටින් සහ රාහුල් ද්‍රාවිඩ් වැනි පිතිකරුවන් මෙහිලා සිහිවේ.
හුක් පහර එල්ල කෙරෙන්නේ වේගපන්දු යවන්නන්ට එරෙහිවය. පිතිකරුවන්ව මෙල්ල කිරීමට ඔවුන් විසින් බවුන්සර් පන්දු යවන අතර, පිතිකරුගේ පපුව සහ හිස මට්ටමින් පන්දුව පැමිණෙද්දී හුක් පහර එල්ල කෙරේ. පන්දුවේ වේගයත් සමඟ හයේ පහරවල් එල්ල කළ හැකි පහරක් ලෙස මෙය හැඳින්විය හැකිය. එහෙත් පිතිකරුගේ දෑස් ඉතා තීව්‍ර නොවන්නේ නම් එය පිතිකරුට අවදානමක් විය හැකිය.
ශ්‍රී ලංකා පිතිකරුවන් අතුරින් හොඳම පිතිකරු ලෙස බොහෝ විචාරකයන් අතර ගෞරවයට පාත්‍ර වූ අරවින්ද ද සිල්වා, පුල් සහ හුක් යන පහර දෙකෙ හිදීම විශිෂ්ටයෙකි. ආරක්‍ෂිත හිස් වැසුම් වල මුව ආවරණය නැති කාලයේ දී කිසිදු බියක් සැකක් නොමැතිව පන්දුව එලවා දැමීමට අරවින්දට තිබුණේ පුදුමාකාර හැකියාවකි. එය ඔහුගේ දෑස්වල තීව්‍රතාවය ගැන කදිම උදාහරණයකි. කොටින්ම අරවින්දට එරෙහිව පන්දුව තණතිල්ලේ මැද කෙටීම පන්දු යවන්නා විසින් ඔහුගේම වල කපාගැනීමකි. ශ්‍රී ලංකා පිතිකරුවන් අතුරින් පුල් සහ හුක් පහරේ ප්‍රමුඛයා අරවින්ද බව දෙවරක් නොසිතාම කිව හැකිය.
ස්වීප් පහර (Sweep – අතුගා දැමීම)
දඟ පන්දු යවන්නන් ඔබට තර්ජනය කරන විට ඊට පිළිතුරු ලබා දීමට අවශ්‍ය පහරකි ස්වීප් පහර. පන්දුව දඟ කැවෙන ප්‍රමාණය සහ දිසාව හඳුනා ගත නොහැකි අවස්ථාවල දී ද මෙය සාර්ථකව යොදාගත හැක. විශේෂයෙන්ම එක්දින තරගවල දී දඟපන්දු යවන්නන් කරළියට පැමිණෙන පන්දුවාර වලදී, එනම් පන්දුවාර 15 – 40 දක්වා තරගයේ රැඳී සිටිමින් ප්‍රතිවාදීන් දමනය කරගන්නට මෙම පහර අතිශයින්ම වැදගත් වේ.
තරග අවසන් කරන්නන්ගේ ප්‍රධානතම අවියක් වන මෙය තරගයක අවසානය දක්වා තරගයේ රැඳී සිටීමට වැදගත් ය. මයිකල් බෙවන්, බ්‍රයන් ලාරා, මරේ ගුඩ්වින් වැනි ප්‍රබල පිතිකරුවන් මෙම පහරේ විශිෂ්ටයන් ය. ශ්‍රී ලංකාවේ ද මෙම පහරට විශේෂ වූ පිතිකරුවන් රැසක් සිටියේය. හෂාන් තිලකරත්න, චාමර සිල්වා, මහේල ජයවර්ධන, අර්ජුන රණතුංග නිතැතින්ම මෙහිලා සිහිවේ. වත්මන් ශ්‍රී ලංකා පිතිකරුවන් අතුරින් කුසල් මෙන්ඩිස්ට ස්වීප් පහරේ හැකියාව ඇති බව පෙනෙන්නට තිබේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකවම සහ අලංකාරවම මෙම පහර එල්ල කළේ රසල් ආනල්ඩ්දැයි සැකයක් මට ඇත. එහෙත් නිවැරදිව, බිම දිගේ ස්වීප් පහර එල්ල කරමින් තරග අවසානය කරා රැගෙන ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් ගැන සැලකීමේ දී ඔහු ඉදිරියෙන්ම සිටින බව මගේ මතයයි.
බැක් ෆුට් කවර් ඩ්‍රයිව් (Back Foot Cover Drive – “කවර්” දෙසින් පසුපාදයේ එලවුම් පහර)
නූතන ක්‍රිකට් ක්‍රීඩාව තුළ දකින්නට විරල පහරකි. වත්මන් පිතිකරුවන් ඉදිරි පාදයේ ක්‍රීඩා කිරීමට ඇති කැමැත්ත සහ තර්ජනාත්මක පන්දු යවන්නන්ගේ අඩුව නිසා මෙම පහර කෙමෙන් අපට අමතකව ගොස් ඇත් දැයි සිතේ. නොසෙල්වෙන හිස, වැළමිටින් එසවුණු උඩු අත සහ එක ළඟ ඇති පාද දෙක නිසා මෙය ද දකින්නට ප්‍රිය පහරකි.
නූතන පිතිකරුවන් අතුරින් හෂීම් අම්ලා මෙම පහර සාර්ථකව යොදාගනු දැක ඇත්තෙමි. මයිකල් වෝන්, V.V.S. ලක්ෂ්මන් වැනි පිතිකරුවන්ද ජාත්‍යන්තරය තුළ දී බැක් ෆුට් කවර ඩ්‍රයිව් පහර සාර්ථකව යොදා ගත් පිතිකරුවන් ය.
කවර් ඩ්‍රයිව් පහරට මෙන්ම බැක් ෆුට් කවර් ඩ්‍රයිව් පහරටද, මා දුටු ශ්‍රී ලංකා පිතිකරුවන් අතුරින් අලංකාරයක් එක්කළේ මාවන් අතපත්තු ය. පන්දුවට ඉහළින් පා ඇඟිලි මත රැඳී සිටිමින් උස් වූ උඩු අත් වැළමිට සමඟ ඔහු විසින් එම පහර එල්ල කළ ආකාරය නෙත බැන්දූ දසුනකි.
ස්ක්වෙයාර් කට් පහර (Square Cut – පිට ඉන්නෙන් පිටතට කපන පහර)
බොහෝ විට පිතිකරුගේ සිට තිරස්ව එල්ල කෙරෙන මෙම පහර පන්දු යවන්නාගේ ධෛර්යය හීන කරන පහරකි. පන්දුව තරමක් කෙටිව සහ පිට ඉන්නෙන් පිටත පතිත වන අවස්ථාවල දී වැරෙන් එල්ල කළ හැකි මෙම පහර නිසා තමන් වැරදි පන්දුවක් යැවූ බවට හැඟීමක් පන්දු යවන්නා තුළ ජනිත වේ. ඒ බොහෝ අවස්ථාවල තර්ඩ් මෑන් සහ එක්ස්ට්‍රා කවර් කලාප අතරින් හතරේ හෝ හයේ පහරක් වාර්තා කිරීමේ හැකියාව ද පිතිකරුට ලැබෙන අතරතුරය.
’90 දශකය වන විට ස්ක්වෙයාර් කට් පහර බිම දිගේ එල්ල කෙරෙන පහරක් වුවත් සනත් ජයසූරිය විසින් එය තරමක් ඉහළින් එල්ල කෙරෙන්නට විය. මුල් කාලයේ දී උඩ පන්දු ලබා දීමේ ප්‍රවණතාවයක් තිබුනත් ’90 දශකයේ මැද භාගය වන විට පන්දුව බැක්වර්ඩ් පොයින්ට් සහ පොයින්ට් ක්‍රීඩකයින්ට ඉහළින් එල්ල කිරීමට සනත්ට හැකි වූ අතර එතැනින්ද ඔබ්බට ගොස් හයේ පහරවල් වාර්තා කරන්නට තරම් ඔහුගේ බාහු බලය සවිමත් විය. පසුව විරේන්දර් ෂෙවාග් විසින් “අපර් කට්” නම් පහරක් එල්ල කළ බව ඉන්දියානු මාධ්‍ය වලින් ප්‍රසිද්ධ කෙරෙන්නට වුවත්, ඉන් පෙර ක්‍රිකට් නැරඹූ ප්‍රේක්ෂකයින්ට එය සනත් විසින් කළ වෙනසක් බව හොඳ හැටි මතක ය.
ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් ස්ක්වෙයාර් කට් පහර වඩාත් මනරම්ව එල්ල කළේ සනත් ජයසූරියයි. ඔහුට අමතරව මාවන් අතපත්තු විසින් පිත්ත තම හිස වටා දෙවරක්ම කරකවා එල්ල කළ කට් පහරත් මාගේ මතකයේ ඇත. උපුල් තරංග, චාමර සිල්වා, අරවින්ද ද සිල්වා වැනි පිතිකරුවන් ද මෙම පහරේ ප්‍රමුඛයන් ය.
ලේට් කට් පහර (Late Cut – ප්‍රමාද වී පිට ඉන්නෙන් පිටතට කපන පහර)
පන්දුව තමන් වෙතට එන්නට ඉඩ දී, පන්දුව තමන් පසුකළ පසු එල්ල කෙරෙන කට් පහර මෙයයි. තීක්ෂණ දෑසක් මෙන්ම පහසුවෙන් චලනය වන දෑතක් ද මෙයට අත්‍යාවශ්‍යය. එබැවින් ආසියානුවන් මෙම පහරේ දක්ෂයන් වේ. මන්ද යත් ඔවුනට උපතින්ම හිමිවන දෑත් සහ ඇඟිලිවල සුචල්‍ය බව නිසා ය.
නැවතත් බ්‍රයන් ලාරා සහ V.V.S. ලක්ෂ්මන් වැනි පිතිකරුවන් මෙම පහරේ ජාත්‍යන්තර විශිෂ්ටයින් බව ඔබට සිහි කරමි. විශේෂයෙන්ම දඟපන්දු යවන්නන් හමුවේ ලකුණු රැස්කළ හැකි වැදගත් පහරක් වන මෙය පන්දුවේ වේගය යොදාගෙන ලකුණු රැස්කිරීමේ අවස්ථාව පිතිකරුට ලබා දෙයි.
මෙම පහර අලංකාරවත්ව එල්ල කළ කලාත්මක ශ්‍රී ලංකා පිතිකරුවන් රැසකි. රොෂාන් මහානාම, තිලාන් සමරවීර, අර්ජුන රණතුංග, චාමර සිල්වා වැනි නම් රැසක් ඒ සමඟ මතකයට නැගේ. එහෙත් මේ සියලු දෙනා අතුරින් මහේල ජයවර්ධන තරම් මනරම්ව මෙම පහර එල්ල කළ පිතිකරුවෙකු ගැන මට සිතාගත නොහැක. රොෂාන් මහානාම ද මහේලට ළඟින්ම සිටියත්, මහේල කෙස් ගසක තරමින් ඉදිරියක් ගෙන ඇතැයි මම සිතමි. නසාර් හුසේන් වැනි ක්‍රිකට් විචාරකයන් මහේලව ඇමතුවේ “Silky Hands” නැතහොත් “සේද දෑත් ඇත්තා” ලෙසයි.
ලෙග් ග්ලාන්ස් (Leg Glance – පා ඉන්න දෙසින් හරවා යැවීම)
පා ඉන්න වෙත එල්ල කෙරෙන සෑම පහරක්ම ලෙග් ග්ලාන්ස් එකක් වන්නේ නැත. නිවැරදිම ලෙග් ග්ලාන්ස් කිරීමක දී පන්දුව ඇදී යන්නේ කඩුලු රකින්නා සහ ස්ක්වෙයාර් ලෙග්/ෆයින් ලෙග් පන්දු රකින්නන් අතරිනි. වේගයෙන් ඇදී එන පන්දුවක් එතරම් පසුපසට තල්ලු කර හැරීමට දෑස් වල තීව්‍රභාවය මෙන්ම දෑත් වල සුහුරු බව ද අත්‍යාවශ්‍ය ය.
“දෑස් වල තීව්‍රභාවය” කියන විට මා හට මුලින්ම මතක් වන ශ්‍රී ලංකා පිතිකරු අරවින්ද ද සිල්වා ය. ඕනෑම දිනෙක අවදි වී පිටිය මැදට ගොස් ලකුණු රැස් කිරීමේ හැකියාව ඔහු සතුවිය. එහෙත් ක්‍රිකට් දිවියේ මුල් කාලයේදී ඉක්මණින් ලකුණු 30-35ක් රැස්කොට දැවී යන පුරුද්දක් ඔහුට තිබූ බැවින් “Mad Max” යන අන්වර්ථ නාමය ද ඔහුට පටබැඳුණි.
කෙසේ වෙතත් වඩාත් මනරම්ව සහ නිවැරදිව ලෙග් ග්ලාන්ස් පහර එල්ල කළ ශ්‍රී ලංකා පිතිකරුවා අරවින්ද ද සිල්වා ය. මහේල ජයවර්ධන, අර්ජුන රණතුංග මෙන්ම ඇතැම් අවස්ථාවල දී චාමර කපුගෙදර වැනි පිතිකරුවන් ද මෙම පහර අලංකාරව එල්ල කරනු මම දැක ඇත්තෙමි.
අවසානය
මෙම ලිපිය තුළින් සිහිකරන්නට උත්සාහ කළේ ක්‍රිකට් පොතේ නිශ්චිත පහරවල් 10කට වඩාත්ම අලංකාරයක් එක්කළ ශ්‍රී ලංකා පිතිකරුවන් දසදෙනාව හඳුනාගන්නට ය. ඒ සඳහා දෑසින් නුදුටු පිතිකරුවන් සැලකිල්ලට නොගත්තෙමි. ඇතැම් විට දේශීය මට්ටමේ දී විශිෂ්ට දස්කම් පෑවත් ජාත්‍යන්තරය තරණය කිරීමේ වාසනාව නොලද පිතිකරුවන් මෙම ලිපියට ඇතුළත් නොවී සිටිය හැකිය. ඒ පිළිබඳව සමාව අයදින අතරම, උදහස් නොවී ඔබේ අදහස් පළකිරීමේ නිදහසද ඔබට ලබාදෙමි. එබැවින් කවුද හොඳම?
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<