ආබාධ ගොන්නක් මැද Euro තරග බිමට එන නෙදර්ලන්තය

Euro 2020

195

කණ්ඩායමට වැදගත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට ම සිදුවූ ආබාධ හමුවේ තරමක් පසුබැසීමකට ලක්ව සිටින නෙදර්ලන්තය අත්දැකීම් බහුල සහ තරුණ ක්‍රීඩකයින්ගේ සුසංයෝගයෙන් Euro 2020 තරගාවලියේ දී ඉදිරියට යාමට බලාපොරොත්තුවෙන් පසුවනු ඇත. 

යුරෝපා පාපන්දු ශූරතාවලි ඉතිහාසය 

නෙදර්ලන්තය යුරෝපා පාපන්දු ශූරතාවලියක ලබා ගත් ඉහළ ම ජයග්‍රහණය 1988 වසරේ පැවති Euro තරගාවලියේ දී වාර්තා වූයේ ඔවුන් එහි අවසන් මහා තරගයේ දී ප්‍රබල සෝවියට් සංගම් කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජයට පත්කරමින් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමත් සමඟයි. 

UEFA EURO 2020 via Twitter

Rinus Michels එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරද්දී Ruud Gullit ඊට නායකත්වය ලබා දුන් අතර තවදුරටත් Ronald Koeman, Marco van Basten සහ Frank Rijkaard වැනි ප්‍රබල ක්‍රීඩකයින්ගෙන් එම කණ්ඩායම සමන්විත විය. 

එමෙන්ම ඔවුන් 1976 Euro තරගාවලියේ 3 වැනි ස්ථානය දිනාගනිද්දී 1992, 2000 සහ 2004 වසරවල දී එහි අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලබාගන්නට ද සමත් විය. 

මේ දක්වා ගමන්මග 

2010 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාවය සහ පසුව පැවති 2014 ලෝක කුසලානයේ 3 වැනි ස්ථානය දිනා ගැනීමෙන් අනතුරුව Guus Hiddink, Danny Blind සහ Dick Advocaat පුහුණුකරුවන් යටතේ නෙදර්ලන්තය ඉතා පසුගාමී කාලසීමාවක් ගතකරන්නට විය. ඒ අනුව ඔවුන් එහි දී 2016 Euro සහ 2018 ලෝක කුසලාන තරගාවලි ද්විත්වයට සුදුසුකම් හෝ ලබා ගන්නට සමත් වූයේ නැත. 

කෙසේ නමුත් අනතුරුව එම ධූරය සඳහා පත්කෙරුණු Ronald Koeman නෙදර්ලන්ත කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාශය සම්පූර්ණයෙන් ම කණපිට පෙරළමින් කරමින් ඔවුන්ව නැවතත් යුරෝපයේ ප්‍රබල කණ්ඩායමක් දක්වා ඔසවා තබන්නට සමත් විය. 

ඒ අනුව ඔවුන් මෙවර Euro තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට මුහුණ දුන්නේ ඔහු යටතේ ය. එහි දී පැවති තරග 8න් 6ක් ම ජයග්‍රහණය කරමින්, එක් තරගයක් පමණක් පරාජයට පත්වූ ඔවුන් ජර්මනියට පසුපසින් ‘C’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගනිමින් තරගාවලියට සිය සුදුසුකම තහවුරු කරගනු ලැබීය. එහි දී ඔවුන් ලැබූ එකම පරාජය ජර්මනිය හමුවේ වාර්තා වූයේ ගෝල 2-3ක් ලෙසයි. 

www.barcauniversal.com

ඒ අතරතුර නෙදර්ලන්තය පළමු වරට පැවති 2018-19 UEFA ජාතීන්ගේ ලීග් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට ද සුදුසුකම් ලබා ගන්නට සමත් වූ නමුත් එහි දී ඉතා තියුණු තරගයකින් අනතුරුව පෘතුගාලය හමුවේ ගෝල 0-1ක පරාජයක් අත්විඳීමත් සමඟ ඔවුන්ට අනුශූරතාවයෙන් සෑහීමකට පත්වන්නට සිදුවිය. 

කෙසේ නමුත් අනතුරුව Koeman ස්පාඤ්ඤයේ FC Barcelona කණ්ඩායමේ කළමණාකරු ලෙස පත්වීම බාර ගැනීමත් සමඟ හිස්වූ නෙදර්ලන්ත ප්‍රධාන පුහුණුකරු ධූරයට පසුව Frank de Boer පත්කෙරිණ. ඒ අනුව ඔවුන් එළඹෙන Euro තරගාවලියට පිවිසෙන්නේ de Boer ගේ පුහුණුකාරීත්වය යටතේ ය. 

මෑතක දී නෙදර්ලන්තය සහභාගී වූ ජාත්‍යන්තර සුහද තරගවල දී ස්කොට්ලන්තය සමඟ පැවති තරගය ගෝල 2-2ක් ලෙස ජය-පරාජයෙන් තොරව අවසන් වන්නට වුවත් ජෝර්ජියාවට එරෙහිව පැවති තරගය ගෝල 3-0ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කරන්නට ඔවුන් සමත් විය. 

පුහුණුකරු සහ ක්‍රීඩා ශෛලිය

නෙදර්ලන්තයේ ම ප්‍රබල Ajax ක්‍රීඩා සමාජය සමඟ සිය පුහුණුකාර දිවිය ඇරඹු de Boer එහි දී ඉතා සාර්ථක ආරම්භයක් සනිටුහන් කරගන්නට සමත් වූයේ ඔවුන්ව අඛණ්ඩව සිව් වතාවක් ලීග් ශූරතාවය කරා රැගෙන යමිනි. කෙසේ නමුත් අනතුරුව Inter Milan සහ Crystal Palace කණ්ඩායම් වල පුහුණුකරු ලෙස ඔහු පත්කෙරුණත් එහි දී එම කණ්ඩායම් සමඟ සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නට ඔහු සමත් වූයේ නැත. ඒ අනුව එම ධූර වල වගකීම් බාරගෙන ඉතා කෙටි කාල සීමාවක් තුළ ඔහුව ඒවායෙන් ඉවත් කෙරෙන්නට කටයුතු කෙරිණි. 

Reuters

එම අසාර්ථකත්වය හමුවේ නෙදර්ලන්තයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහුව පත්කිරීම බොහෝ දෙනා හට පුදුමයට කරුණක් වන්නට විය. 

De Boer යටතේ නෙදර්ලන්ත කණ්ඩායම කැපී පෙනෙන දක්‍ෂතාවයන් ප්‍රදර්ශනය කර ඇත්තේ වරින් වර අවස්ථාවන් කිහිපයක දී පමණක් වන අතර ඒ අනුව ඔවුන්ව අඛණ්ඩව ඉහළ දක්‍ෂතා අතර රඳවන්නට ඔහු තවමත් සමත් වී නොමැත. 

සමස්තයක් ලෙස පන්දුව තම කණ්ඩායම සතුව වැඩි වේලාවක් තබා ගනිමින් ක්‍රීඩා කරන ක්‍රීඩා ශෛලියක් අනුගමනය කරන ඔහු එහි දී ඒ සඳහා 4-3-3 පද්ධතිය වෙනුවට 4-2-3-1 පද්ධතියක් යොදාගැනීම විශේෂත්වයකි. 

De Boer මේ දක්වා නෙදර්ලන්තය සමඟ තරග 12ක පුහුණුකාරීත්වය දරා ඇති අතර ඉන් ඔහු ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත්තේ තරග 6ක් පමණි. ඒ අනුව එළඹෙන තරගාවලියේ දී නෙදර්ලන්තය හැකිතරම් තරගාවලියේ ඉදිරියට රැගෙන යාමට නම් ඔහුට සිය උපායශීලීත්වය සහ සැලසුම් මීට වඩා ඵලදායී ලෙස යොදාගැනීමට සිදුවනු ඇති බව නොඅනුමාන ය. 

ප්‍රබලතාවයන් සහ දුර්වලතාවයන්

කණ්ඩායමක් ලෙස නෙදර්ලන්තයේ ශක්තිමත් ම පැතිකඩ ලෙස හඳුනාගත හැක්කේ ඔවුන්ගේ ප්‍රබල මැදපෙළ යි. ඒ අනුව නායක Georginio Wijnaldum සහ ඉතා දක්‍ෂ මැදපෙළ ක්‍රීඩකයෙකු ලෙස නම් දරා සිටින Frenkie de Jong මෙන්ම අනෙක් පසින් Marten de Roon වැනි විශ්වාසදායී ක්‍රීඩකයෙකු ගෙන් ඔවුන්ගේ මැදපෙළ සවිමත්ව ඇත.

ඕනෑම ප්‍රබල කණ්ඩායමක් හමුවේ වුවද තරගයේ ගලායෑම පාලනය කිරීම මෙන්ම ඉදිරිපෙළට ගෝල වාර්තා කරගැනීමට අවශ්‍ය අවස්ථාවන් නිර්මාණය කිරීමේ හැකියාවෙන් ඔවුන් තිදෙනා පරිපූර්ණ වේ. කෙසේ නමුත් අබාධයක් හේතුවෙන් තරගාවලියට එක්නොවන මැදපෙළ ප්‍රබල ක්‍රීඩක Donny van de Beek දායකත්වය නොමැත වීම ඔවුන්ට මෙහි දී විශාල පාඩුවක් වනු ඇති බව නොඅනුමාන ය. 

තවදුරටත් Memphis Depay ඉහළ දක්‍ෂතා අතර සිටීම සහ Wout Weghorst, Luuk de Jong සහ Donyell Malen වැනි සැලකිය යුතු ප්‍රමිතියකින් යුතු ක්‍රීඩකයින් ගෙන් ඔවුන්ගේ ඉදිරිපෙළ සවිමත් ව තිබීම නිසා එම අංශය ද ඔවුන්ගේ ශක්තිමත් පැතිකඩක් ලෙස පෙන්වා දිය හැක. 

www.goal.com

කෙසේ නමුත් මේ වන විට ලෝක පාපන්දු පිටිය තුළ සිටින ප්‍රබලත ම centre-back ක්‍රීඩකයෙකු වන නෙදර්ලන්තයේ නිත්‍ය නායක Virgil van Dijk ආබාධයකට ලක්ව සිටීමත් සමඟ ඔවුන්ගේ පසුපෙළ ඉතා විශාල ලෙස දුර්වල වී ඇත. තවදුරටත් ඔවුන්ගේ ප්‍රධාන ගෝල රකින ක්‍රීඩක Jasper Cillessen, COVID-19 වෛරසයට ගොදුරු වීමත් සමඟ සංචිතයෙන් ඉවත් වීම හරහා එම වගකීම් Maarten Stekelenburg වෙත පැවරෙන නමුත් ඔහු පසුගිය තරග වාර 5ක කාලය පුරාවට ම ප්‍රධාන ගෝල රකින ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කර නොමැත. 

එමෙන්ම Euro වැනි ප්‍රධාන පෙළේ තරගාවලියක දී නෙදර්ලන්තයේ පුහුණුකාරීත්වය දැරීමට තරම් de Boer සුදුස්සෙක් යැයි ද යන ගැටලුව ද මෙහි දී අනිවාර්යයෙන් ම සැලකිල්ලට ගත යුතු කරුණකි. කෙසේ නමුත් තරමක් පහසු කාණ්ඩයක ක්‍රීඩා කිරීමත් සමඟ ඔවුන් ගැටලුවකින් තොරව ඉදිරි වටය සඳහා සුදුසුකම් ලබනු ඇතැයි අපේක්‍ෂා කළ හැකිය.

තවත් කියවන්න;

වැදගත් ම සහ නැඟීඑන ක්‍රීඩකයින්

FC Barcelona කණ්ඩායම සමඟ කැපී පෙනෙන දක්‍ෂතා දැක්වූ තරග වාරයකින් අනතුරුව මෙම තරගාවලියට පිවිසෙන de Jong එහි දී ඔවුන්ගේ වැදගත් ම ක්‍රීඩකයා වනු ඇති බවට කිසිඳු සැකයක් නොමැත. ඒ අනුව ඔවුන්ගේ මැදපෙළ හැසිරවීමේ දී තරගාවලිය පුරාවට ඔහුගේ ක්‍රීඩා විලාශය නෙදර්ලන්තයට අතිශය වැදගත් වේ. තවදුරටත් Wijnaldumගේ නායකත්වය, අත්දැකීම් සහ ගෝල වාර්තා කරගැනීමේ හැකියාව ද ඇතුළුව ඔහුගේ සමස්ත දායකත්වය ම කණ්ඩායමට මෙහිදී බෙහෙවින් තීරණාත්මක වනු ඇත. 

www.barcauniversal.com

පසුගිය තරග වාරය තුළ Lyon වෙනුවෙන් ප්‍රංශ Ligue 1 තරගාවලියේ දී ගෝල 20ක් සහ පන්දු පිරිනැමීම් 12ක් තම නම ඉදිරියේ සටහන් කරගනිමින් විශිෂ්ට දක්‍ෂතා දැක්වූ Depayගේ ක්‍රීඩා විලාශය පිටියේ ඉදිරිපෙළ ඔවුන්ගේ සාර්ථකත්වය තීරණය කරනු ඇති අතර අනෙක් පසින් van Dijk කණ්ඩායම තුළ නොසිටීමත් සමඟ කණ්ඩායමේ පසුපෙළට නායකත්වය ලබාදීමේ දී Matthijs de Ligtගේ දායකත්වය තීරණාත්මක වේ. 

නෙදර්ලන්තයේ ම PSV Eindhoven කණ්ඩායම වෙනුවෙන් පසුගිය තරග වාරයේ දී ගෝල 27ක් රැස්කර ගනිමින් දක්‍ෂතා දැක්වූ 22 හැවිරිදි Malen එළඹෙන Euro තරගාවලියේ දී ඔවුන්ගේ නැඟී එන ක්‍රීඩකයා ලෙස දක්‍ෂතා දක්වනු ඇතැයි අපේක්‍ෂා කළ හැක. 

සංචිතය

ගෝල රකින්නන්: Jasper Cillessen (Valencia), Tim Krul (Norwich City), Maarten Stekelenburg (Ajax Amsterdam).

පසුපෙළ ක්‍රීඩකයින්: Nathan Ake (Manchester City), Daley Blind (Ajax Amsterdam), Matthijs de Ligt (Juventus), Stefan de Vrij (Inter Milan), Denzel Dumfries (PSV Eindhoven), Jurriem Timber (Ajax Amsterdam), Patrick van Aanholt (Crystal Palace), Joel Veltman (Brighton & Hove Albion), Owen Wijndal (AZ Alkmaar)

මැදපෙළ ක්‍රීඩකයින්: Frenkie de Jong (Barcelona), Marten de Roon (Atalanta), Ryan Gravenberch, Davy Klaassen (both Ajax Amsterdam), Teun Koopmeiners (AZ Alkmaar), Donny van de Beek (Manchester United), Georginio Wijnaldum (Liverpool)

ඉදිරිපෙළ ක්‍රීඩකයින්: Steven Berghuis (Feyenoord), Luuk de Jong (Sevilla), Memphis Depay (Olympique Lyonnais), Cody Gakpo, Donyell Malen (both PSV Eindhoven), Quincy Promes (Spartak Moscow), Wout Weghorst (Wolfsburg)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<