උෂාන් සහ ධනුෂ්කගෙන් නැවතත් ඉහළ දස්කම්

472

94th Clyde Littlefield Texas Relays තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික උස පැනීමේ ශූර උෂාන් තිවංක සහ දුර පැනීමේ ක්‍රීඩක ධනුෂ්ක සඳරුවන් එහි දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්ව තිබෙනවා.

ඇමරිකාවේ ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ මෙම තරගාවලියේ උස පැනීම ඉසව්ව සඳහා A කාණ්ඩයෙන් තරග වැදුණු උෂාන් එහි දී මීටර් 2.27ක දස්කමක් දැක්වීමට සමත්ව තිබෙනවා.

එම දස්කම සමඟින් උෂාන් ඉසව්වේ දෙවැනි තැන දිනා ගැනීමට සමත් වූ අතර එහි පළමු ස්ථානය හිමි වුනේ මීටර් 2.30ක දස්කමක් දැක්වූ ඇමරිකානු ක්‍රීඩක Vernon Turner හටයි.

උෂාන් එහි දී දැක්වූ දස්කම මෙවර තරග වාරයේ දී ඔහු මෙතෙක් දැක්වූ හොඳම දස්කම සහ 2022 තරග වාරයේ ලොව මෙතෙක් වාර්තා වූ දෙවැනි හොඳම දස්කම ලෙස සටහන් වීම කැපී පෙනුණා.

උෂාන්ට අමතරව එම තරගාවලියේ A කාණ්ඩයේ දුර පැනීමේ අවසන් තරගයට සහභාගී වූ ධනුෂ්ක සඳරුවන් මීටර් 8.10ක කැපී පෙනෙන දස්කමක් දක්වමින් තරගයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුනා.

තරගය පැවති අවස්ථාවේ වාර්තා වූ සුළඟේ වේගය +3.4ක් ලෙස දිස්වීම නිසාවෙන් එය වාර්තාවක් ලෙස සැලකීමට නොහැකි වූවත්, ආසියානු ක්‍රීඩා උළෙල සඳහා අවශ්‍ය පරිසාධන සුදුසුකම් සපුරාලීමට ධනුෂ්කට හැකි වීම විශේෂත්වයක්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<