අඛණ්ඩ දක්‍ෂතා නොමැතිව අර්බුද මැද Euro එන ජර්මනිය

296

දීර්ඝ කාලයක් පුරාවට ජර්මනියේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ Joachim Low මෙවර Euro 2020 තරගාවලිය අවසානයේ සිය ධූරයට සමුදීමට නියමිතව සිටීමත් සමඟ තරගාවලියේ කිරුළ දිනාගනිමින් ඉතා සාර්ථක සමුදීමක් ඔහුට ලබා දීමට ජර්මනි ක්‍රීඩකයින් බලාපොරොත්තුවෙන් පසුවේ. 

යුරෝපා පාපන්දු ශූරතාවලි ඉතිහාසය 

Euro තරගාවලි ඉතිහාසය තුළ සාර්ථක ම කණ්ඩායම ලෙස ජර්මනිය පෙන්වා දිය හැක්කේ ඔවුන් එය ස්පාඤ්ඤය මෙන්ම තුන් වතාවක් ජයග්‍රහණය කරමින් සම වැඩිම යුරෝපා ශූරතාවලි ප්‍රමාණයකට හිමිකම් කීම සහ තවත් අවස්ථාවන් තුනක දී එහි අනුශූරතාවය දිනා ගැනීමට සමත්ව තිබීමත් සමඟයි. 

ඒ අනුව ඔවුන් සිය පළමු යුරෝපා ශූරතාවය 1972 වසරේ දී ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව 1980 සහ 1996 වසරවල දී නැවතත් එහි ශූරතාවය තහවුරු කරගැනීමට සමත් විය. 

Twitter via FFSFootballShirts

අනෙක් පසින් 1976, 1992 සහ 2008 වසරවල දී ඔවුන් තරගාවලියේ අනුශූරතාවය හිමිකරගනු ලැබූ අතර එහි 2008 වසරේ දී ඔවුන්ව අනුශූරතාවය කරා රැගෙන ගියේ ජර්මනියේ වත්මන් පුහුණුකරු ලෙස කටයුතු කරන Joachim Low වීම විශේෂත්වයකි. 

මේ දක්වා ගමන්මග

මීට වසර කිහිපයකට පෙර ලෝක පාපන්දුවේ ප්‍රබලත ම කණ්ඩායම ලෙස සිය ස්ථානය තහවුරු කරගෙන සිටි ජර්මනිය එහි දී 2014 FIFA පාපන්දු ලෝක කුසලානය ද ජයග්‍රහණය කරන්නට සමත් වූයේ එම තරගාවලිය පුරාවට සිය අණසක පතුරුවා ගනිමිනි. 

කෙසේ නමුත් ඉන් අනතුරුව කිසිවෙකු බලාපොරොත්තු නොවූ පරිදි ඔවුන් දැඩි පසුගාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරන්නට විය. ඒ අනුව අනතුරුව පැවති 2018 ලෝක කුසලාන තරගාවලියේ දී පහසු කාණ්ඩයකින් තරග වැදුනත් ඔවුන්ට එහි පළමු වටයෙන් ම ඉවත්ව යන්නට පවා සිදු විය. 

www.guinnessworldrecords.com

කෙසේ නමුත් අවසන් වරට පැවති 2016 Euro තරගාවලියේ දී ජර්මනිය අවසන් පූර්ව වටය දක්වා ඉදිරියට එන්නට සමත් වුනත් එහි දී ප්‍රබල ප්‍රංශය හමුවේ ගෝල 0-2ක පරාජයක් අත්විඳීමත් සමඟ ඔවුන්ව ඉන් ඉවතට යොමුවන්නට විය. 

සමස්තයක් ලෙස ඔවුන් මෙවර යුරෝපා ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ දී ඉහළ දස්කම් දක්වන්නට සමත් වුනේ එහි පැවති තරග 8න් 7ක් ම ජයග්‍රහණය කරමින් ‘C’ කාණ්ඩයේ පෙරමුණ ගනිමිනි. 

ඒ අනුව ඔවුන් එහි දී පරාජයට පත්වුණේ එක් තරගයක් පමණක් වන අතර එය නෙදර්ලන්තයට එරෙහිව වාර්තා වුණේ ගෝල 2-4ක් ලෙසයි. කෙසේ නමුත් එම තරගාවලිය තුළ ජර්මනිය විසින් එස්ටෝනියාව සහ උතුරු අයර්ලන්තය ගෝල 8-0 සහ 6-1 බැගින් පරාජයට පත්කරමින් දැක්වූ දක්‍ෂතාවයන් කැපී පෙනෙන්නට විය. 

එවන් ඉහළ දක්‍ෂතා හමුවේ වුවද ඔවුන්ට මීට මාස කිහිපයකට පෙර UEFA ජාතීන්ගේ ලීග් තරගාවලියේ දී ස්පාඤ්ඤය හමුවේ ගෝල 0-6ක නින්දා සහගත පරාජයකට මෙන්ම ලෝක කුසලාන තේරීම් තරගාවලියේ දී උතුරු මැසිඩෝනියාව හමුවේ ගෝල 1-2ක නොසිතූ පරාජයකට ද මුහුණ දෙන්නට සිදු විය. 

පුහුණුකරු සහ ක්‍රීඩා ශෛලිය

2006 වසරේ සිට මේ දක්වා ම ජර්මනි පාපන්දු කණ්ඩායමේ පුහුණුකාරීත්වය දරා ඇත්තේ Joachim Low වීම විශේෂත්වයකි. කෙසේ නමුත් ඔහු මීට දින කිහිපයකට පෙර නිවේදනය කර සිටියේ එළඹෙන Euro තරගාවලිය අවසානයේ දී ඔහු එම ධූරයට සමුදීමට තීරණය කර ඇති බවයි. 

ජර්මනිය 2014 ලෝක කුසලාන ශූරතාවය කරා මෙහෙයවන විට Low එකළ පාපන්දු පිටිය තුළ දක්‍ෂත ම පුහුණුකරුවන් අතරින් කෙනෙකු ලෙස නම් දරා සිටින්නට වූ අතර අනතුරුව ඔහු 2017 වසරේ දී කණ්ඩායම FIFA සම්මේලන කුසලාන ශූරතාවය දක්වා පවා රැගෙන යන්නට සමත් විය. 

www.talksport.com

එහි දී ඔහු යටතේ සමස්තයක් ලෙස ජර්මනියේ සුවිශේෂත්වය වූයේ ඔවුන් දිනා ගනු ලැබූ ශූරතාවන් ම පමණක් නොවේ. ඒ අනුව ඔහු සිය ක්‍රීඩකයින් යොදා ගනිමින් කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කරවනු ලැබූ ක්‍රීඩා විලාශය ද ලොව පුරා පාපන්දු ප්‍රජාවගේ අවධානයට ලක්වන්නට විය. 

ආක්‍රමණශීලී ඉක්මන් අවස්ථාවන් හරහා ගෝල වාර්තා කරගැනීම, ස්ථාවර පසුපෙළක් සහිතව ක්‍රීඩා කිරීම සහ ක්‍රීඩකයින් ප්‍රතිවාදී අන්තයේ ඉදිරියට ම යොමුකර පන්දුව ලබාගැනීමට පීඩනයක් එල්ල කිරීම Low ගේ ක්‍රීඩා ශෛලියේ  විශේෂ ලක්‍ෂණ වේ. 2014 ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ දී බ්‍රසීලය හමුවේ ජර්මනිය වාර්තා කර ගත් ගෝල 7-1ක ජයග්‍රහණය ඔහුගේ ක්‍රීඩා ආක්‍රමණශීලී ශෛලියට කදිම නිදසුනකි. 

කණ්ඩායමේ ක්‍රීඩකයින් පිටිය තුළ ස්ථානගත වන ආකාරය ඔහු නිරන්තරයෙන් වෙනස් වීම් වලට භාජනය කළත් බොහෝ අවස්ථාවන් වලදී ඔහු යොදාගනු ලබන්නේ 3-4-2-1 පද්ධතියකි. 

කෙසේ නමුත් පසුගිය වසර 3-4ක කාලය තුළ ජර්මනිය අඛණ්ඩව ඉහළ දක්‍ෂතා අතර රඳවන්නට Low සමත්ව නොමැති අතර ඒ හේතුවෙන් ඔහුගේ උපායශීලීත්වය සහ සැලසුම් මේ වන විට දැඩි ලෙස විවේචනයට ද ලක්ව ඇත. 

ජර්මනියේ පුහුණුකරු ලෙස ජාත්‍යන්තර තලය තුළ ඔහු මේ දක්වා ජයග්‍රහණය කරන්නට සමත්ව නැත්තේ Euro කුසලානය පමණක් වන අතර ඒ අනුව ඔහු සිය උපායශීලීත්වය හැකි උපරිමයෙන් යොදාගනිමින් ඔවුන්ව තරගාවලියේ ශූරතාවය කරා රැගෙන යාමට උත්සාහ දරනු ඇතැයි නොඅනුමාන ය. 

ප්‍රබලතාවයන් සහ දුර්වලතාවයන් 

එළඹෙන තරගාවලියට එක්වන ජර්මනි කණ්ඩායම ඉතා දක්ෂ ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් එකක් බවට කිසිදු සැකයක් නොමැත. මේ හරහා Lowට සිට සංචිතය තෝරාගැනීමට සැලකිය යුතු සංචිත ගැඹුරක් හිමිව තිබීම ඔවුන්ගේ එක් ප්‍රබල පැතිකඩකි. 

තවදුරටත් ජර්මනියේ මැදපෙළ මේ වන විට ලෝක පාපන්දුව තුළ සිටින ප්‍රබලත ම මැදපෙළ ලෙස ද හඳුනාගත හැක. ඒ අනුව Tony Kroos, Thomas Muller, Joshua Kimmich, Ilkay Gundogan, Leon Goretzka සහ Kai Havertz වැනි ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් එය ඕනෑම ප්‍රතිවාදියෙකු සිය පාලනයට නතුකර ගත හැකි මැදපෙළකි. එමෙන්ම Leroy Sane සහ Serge Gnabry හේතුවෙන් ඔවුන්ගේ ඉදිරිපෙළ දෙපස ද ඉතා ශක්තිමත්ව ඇති බව පෙන්වා දිය හැක. 

Getty Images

කෙසේ නමුත් අනෙක් පැතිකඩවලට සාපේක්‍ෂව ඔවුන්ගේ striker ක්‍රීඩකයින් සහ පසුපෙළ තරමක් දුර්වල ස්වභාවයක් පෙන්නුම් කරති. එහි දී Timo Werner මේ වන විට සිය උපරිම දක්‍ෂතා අතර නොමැති අතර Kevin Volland තවමත් ජර්මනිය සමඟ ඉහළ දක්‍ෂතා දක්වා නොමැත. තවදුරටත් Mats Hummels සිටීම හරහා ඔවුන්ගේ පසුපෙළ ශක්තිමත් වුවත් සමස්තයක් ලෙස එය ප්‍රබල ප්‍රතිවාදීන් හමුවේ කෙසේ දස්කම් දක්වයි දැයි යන්න ප්‍රශ්නාර්ථයකි. 

එමෙන්ම පසුගිය කාලය පුරාවට ජර්මනිය අඛණ්ඩව ඉහළ දක්‍ෂතා දැක්වීමට සමත්ව නොමැති අතර එය ද ප්‍රංශය සහ පෘතුගාලය වැනි ප්‍රබල කණ්ඩායම් ද්විත්වයක් සිටින කාණ්ඩයකින් තරග වැදීමට ජර්මනියට සිදුව ඇති නිසා නිසැකව ම ඔවුන්ට විශාල ගැටලුවක් වනු ඇත.  

තවත් කියවන්න;

වැදගත් සහ නැඟී එන ක්‍රීඩකයින්

සමස්තයක් ලෙස කණ්ඩායම තුළ ප්‍රබල ක්‍රීඩකයින් රැසක් සිටීම හේතුවෙන්  තරග ජයග්‍රහණය කිරීම සඳහා ඔවුන්ට එක් තීරණාත්මක ක්‍රීඩකයෙකු මත යැපීමේ අවශ්‍යතාවයක් නොමැත. 

කෙසේ නමුත් ඔවුන්ගේ මැදපෙළ මෙහෙයවීමේ දී Kroosගේ ක්‍රීඩා විලාශය ඔවුන්ට අතිශය වැදගත් වනු ඇති බව නොඅනුමාන ය. එමෙන්ම Kimmichගේ නිර්මාණශීලීත්වය මෙන්ම ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව පන්දුව ගෝල රාමු කලාපය තුළට යොමුකිරීමට ඔහු දක්වන සුවිශේෂී හැකියාව ද ඔවුන්ට තීරණාත්මක වනු ඇත. 

www.marca.com

අනෙක් පසින් Thomas Muller නැවතත් කණ්ඩායමට කැඳවීම හරහා ඔහුගේ සමස්ත දායකත්වය ද තරගාවලිය පුරාවට ජර්මනියට වැදගත් වනු ඇති අතර Gnabry ගේ වේගය සහ ගෝල වාර්තා කරගැනීමේ හැකියාව ද මෙහි දී ඔවුන්ගේ සාර්ථකත්වයට අත්‍යාවශ්‍ය වනු ඇත. 

පාපන්දු ලොව දක්ෂතම ගෝල රකින්නෙකු වන නායක Manuel Neuer ඔවුන්ගේ පසුපෙළ ශක්තිමත් කිරීමට දායක වෙද්දී පසුගිය දා අවසන් වූ UEFA ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ වාර්තා වූ එකම ගෝලය රැස්කරගනිමින් Chelseaට එහි කිරුළ හිමිකරදුන් 21 හැවිරිදි Havertz සහ Bayern Munich වෙනුවෙන් පසුගිය තරග වාරය පුරාවට ඉහළ දස්කම් ප්‍රදර්ශනය කළ 18 හැවිරිදි Jamal Musiala එළඹෙන තරගාවලියේ දී නැඟී එන ක්‍රීඩකයින් ලෙස දක්‍ෂතා දක්වනු ඇතැයි බලාපොරොත්තු විය හැක. 

සංචිතය

ගෝල රකින්නන්: Manuel Neuer (Bayern Munich), Bernd Leno (Arsenal), Kevin Trapp (Eintracht Frankfurt)

පසුපෙළ ක්‍රීඩකයින්: Mats Hummels (Borussia Dortmund), Antonio Rudiger (Chelsea), Matthias Ginter (Borussia Monchengladbach), Emre Can (Borussia Dortmund), Niklas Sule (Bayern Munich), Lukas Klostermann (RB Leipzig), Robin Koch (Leeds), Robin Gosens (Atalanta), Christian Gunter (Freiburg)

මැදපෙළ ක්‍රීඩකයින්: Toni Kroos (Real Madrid), Thomas Muller (Bayern Munich), Joshua Kimmich (Bayern Munich), Ilkay Gundogan (Man City), Leon Goretzka (Bayern Munich), Kai Havertz (Chelsea), Florian Neuhaus (Borussia Monchengladbach), Jonas Hofmann (Borussia Monchengladbach), Jamal Musiala (Bayern Munich)

ඉදිරිපෙළ ක්‍රීඩකයින්: Timo Werner (Chelsea), Leroy Sane (Bayern Munich), Serge Gnabry (Bayern Munich), Kevin Volland (Monaco)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<