සචින්ගේ ඉල්ලීමට පළමු පන්දුවෙන් මාවන් දවාගත් නිලේෂ් කුල්කර්නි

204

1997 වසරේ අගෝස්තු මාසයේ දී ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක නිලේෂ් කුල්කර්නි ඉතිහාසයට එකතු වුනේ සිය මංගල ටෙස්ට් තරගයේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවාගත් පළමු ඉන්දියානුවා ලෙසයි. ඔහු ඒ දක්ෂතාවය දැක්වූයේ ශ්‍රී ලංකාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දීයි. ඔහුගේ වාර්තාගත පන්දුවට බිලිවුනේ සුපිරි ක්‍රීඩක මාවන් අතපත්තු. 

එම තරගය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට ද අමතක නොවන මතකයන් රැසක් එකතු කළ තරගයක් වුනා. ලොව ඉහළම ටෙස්ට් ඉනිම ලෙස ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 6කට වාර්තාගත ලකුණු 952ක් රැස්කළේ මේ තරගයේ දීයි. සනත් ජයසූරිය සහ රොෂාන් මහානාම ඔවුන්ගේ ක්‍රිකට් දිවියේ ඉහළම ලකුණු රැස්කළ අතර කුල්කර්නිට සිදුවුනේ සිය මංගල තරගයේම ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් පහර කෑමටයි. 

එම තරගය සහ සිය මංගල කඩුල්ල ගැන සිහි කැඳවමින් කුල්කර්නි පවසා සිටියේ එක් ක්ෂණයකින් එම කඩුල්ල දැවී ගිය බවත් එය වාර්තාවක් බව තමන් දැනගත්තේ දිනය අවසන් වීමෙන් පසුව බවත්ය. 

“දෙවන දිනයේ අවසන් භාගයේ සචින් පන්දුවට පහර දීම අතහැර ශ්‍රී ලංකාවට පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දුන්නා. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හොඳින් ඉනිම ආරම්භ කළා. මම ඒ දිනයේ පන්දු යවන්නවත් නියමිතව තිබුනේ නැහැ. සාමාන්‍යයෙන් නායකයා කලින් ඇවිල්ලා ඔබට කියනවා දැන් පන්දු යවන්න සූදානම් වෙන්න කියලා. මොකද පන්දු යවන්නන් ඇඟ උණුසුම් කරගෙන පන්දු යවන්න සූදානම් වෙන්න ඕනේ නිසා. නමුත් මට එහෙම කිසිම ඉඟියක් ලැබුනේ නැහැ. මම බොහොම සැහැල්ලුවෙන් මගේ පන්දු රකින ස්ථානයට යමින් සිටියේ. සචින් එකපාරට මා ගාවට ඇවිල්ලා කිව්වා ‘නිලේෂ් ඇවිල්ලා පන්දු යවන්න’ කියලා. ඒ මාවන් පන්දුවට පහර දුන්න හින්දා වෙන්න ඇති. මම විනිසුරු ළඟට යනකොට ඔහු  කිව්වා ඉක්මණින් පන්දු යවන්න නැත්නම් දිනය අවසන් කරනවා කියලා.” යයි කුල්කර්නි පවසා සිටියා.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න 

“ඉන්පසුව මම ඉක්මණින් පන්දු යවන්න සුදානම් වුනා. මට ලෑස්ති වෙන්න ගොඩක් වෙලා තිබුනේ නැහැ. මගේ එකම අවධානය වුනේ පන්දුව හරි තැන පතිත කරන්න. නැත්තම් මගේ මංගල පන්දුවෙන්ම මම මෝඩයෙක් වගේ පෙනෙන්නට ඉඩ තිබුනා. වාසනාවට එය හරියට වුනා. මාවන්ගේ පිත්තේ පන්දුව වැදුනා, නායන් මොන්ගියා විශිෂ්ට උඩ පන්දුවක් ලබා ගත්තා. අවංකවම කියනවා නම් මම වාර්තාවක් ගැන දැනන් හිටියේ නැහැ. මට සතුටු හිතිලා තිබුනේ කඩුල්ලක් දවාගත් එකට. දිනය ක්‍රීඩා කරලා අවසන් වුනාම, මම පිට්ටනියේ ඊළඟ දවසට පුහුණු වෙමින් සිටියා. පසුව ඉන්දියානු මාධ්‍යවේදීන් ඇවිල්ලා මට සුබ පතන්න පටන් ගත්තා. ඔවුන් කිව්වා මම වාර්තාවක් තිබ්බා කියලා. එතකොට තමයි මාත් දැනගත්තේ. ඒ මොහොත මට අමතක නොවන මොහොතක්.”

කුල්කර්නි තවත් ටෙස්ට් තරග දෙකක් ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කළා. ඔහුගේ දෙවන තරගය ඒ වසරේම අග භාගයේ නාග්පූර්හි දී පැවැත්වුනු තරගයක් වූ අතර ඔහුගේ අවසන් තරගය වුනේ 2001 බෝඩර් – ගවස්කාර් කුසලාන තරගාවලියේ අවසන් ටෙස්ට් තරගය. ඔහු ආරම්භක පිතිකරු මැතිව් හේඩ්න්ගේ කඩුල්ල දවා ගන්නටත් සමත් වුනා.

එම ටෙස්ට් තරගයේ අවසන් භාගයේ ඉන්දියාව කඩුලු අටක් දැවී සිටිය දී කුල්කර්නි පිතිකරණයට සූදානම් වුනා. කෙසේ වෙතත් ඔහු පවසන අන්දමට ඔහුගේ වාසනාවට ඔහුට පන්දුවට පහර දෙන්න සිදුවුනේ නැහැ. 

“මම පීඩන උඳුනක හිටියා වගෙයි මට දැනුනේ. හැම ජ්‍යෙෂ්ට ක්‍රීඩකයෙක්ම මගේ ළඟට ඇවිල්ලා කිව්වා මම පළමු ඉනිමේ කඩුල්ලේ හිටියා වගේම දෙවන ඉනිමේත් ඉන්න කියලා. ඒ මොහොත වෙද්දී මගේ බර කිලෝග්‍රෑම් 80ක්, නමුත් එය මට දැනුනේ කිලෝ 240ක් වගේ. ඒ දවස්වල චෙන්නායි ක්‍රීඩාගාරයයි ප්‍රේක්ෂකාගාරයයි අතර හිස් අවකාශයක් තිබුනේ.” 

“ප්‍රේක්ෂකයින් දෙදෙනෙක් කෑගැහුවා 1986 දී වගේ ජය පරාජය සමව අවසන් වූ තරගයක් නම් එපා කියලා. ඔවුන් කිව්වා නිලේෂ් ඔයාට මේක කරන්න වෙනවා කියලා. ඒ සියල්ල මගේ මනසේ තිබුනා. නමුත් සමීර් දිගේ හා හර්බජාන් සිංගේ පිතිකරණය නිසා මට පන්දුවට පහර දෙන්න යන්න වුනේ නැහැ.”

HindustanTimes ඇසුරිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<