පරාජිත කාන්තා ක්‍රිකට් ගමන හරි එංගලන්ත තරගාවලියෙදිවත් තිත තබයි ද?

171

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් 2021 වසරේ දී නවසීලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග මාලාව යටතේ ශ්‍රී ලංකාව සමඟ තරග කිරීමට මෙරටට පැමිණ සිටින එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය මෙම මස 16 වැනිදා සිට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.

පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නිසා තවත් දරුණු පරාජයක් ශ්‍රී ලංකාවට!

සීමිත පන්දුවාර තරග වලදී ශ්‍රී ලංකා පිළ දක්වන ……

තරගාවලියේ ප්‍රධානම අංශය වන්නේ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පවත්වනු ලබන එක්දින තරග 3 වන අතර ඊට අමතරව විස්සයි විස්ස තරග 3ක් ද මෙම සංචාරයට ඇතුළත්ව තිබේ.

ඒ අනුව පළමු එක්දින තරග 2 හෙවත් 16 වැනිදා සහ 18 වැනිදා පැවැත්වීමට නියමිත තරග සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද, අවසන් එක්දින තරගය මෙම මස 21 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රීඩා පිටියේ දී ද පැවැත්වෙනු ඇත. තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය මේ මස 24, 26 සහ 28 යන තෙදින කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ තරගාවලි හතරකට හෙවත් එක්දින තරග 12කට සහභාගි වී තිබෙන නමුත් ජය ගැනීමට සමත්ව ඇත්තේ එක් තරගයක් පමණි. ඒ අනුව ප්‍රසාද ලකුණු දෙකක් හිමි ශ්‍රී ලංකාව අදාළ සටහනේ අවසන් ස්ථානයේ පසුවෙයි.

මේ පිළිබඳව කොළඹ දී පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු, දක්ෂතාවයන් තවදුරටත් වැඩි දියුණු කර ගනිමින් ලෝක කුසලාන තරගාවලිය සඳහා වැඩි ඉඩ කඩක් නිර්මාණය කර ගැනීමට මෙම තරගාවලිය හොඳ අවස්ථාවක් වන බව සඳහන් කර සිටියාය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වා සිටි මෙරට ක්‍රිකට් නායිකාව, තමන් ඇතුළු කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට දක්ෂතා අතරට පැමිණීමට මෙම තරගාවලිය ඉතාමත් වැදගත් වන බව ද පවසා සිටියාය.

එංගලන්ත ක්‍රීඩිකාවෝ වසර දෙකහමාරකට පසුව මෙරටට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා එංගලන්ත ….

කාන්තා ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතුරින් ප්‍රබල රටක් ලෙසින් සැලකෙන එංගලන්ත කණ්ඩායම තරග 12කට සහභාගි වෙමින් ජයග්‍රහණ 6ක් සහ පරාජයන් 6ක් ලබා එම සටහනේ 5 වැනි ස්ථානයේ පසුවෙයි. ප්‍රසාද ලකුණු 12ක් හිමි කරගෙන තිබෙන එංගලන්ත කණ්ඩායම මෙම තරගාවලියේ දී වැඩි දක්ෂතා දක්වමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීම  සිය අපේක්ෂාව බව මෙම මාධ්‍ය හමුවේ දී අනාවරණය විය.

මේ පිළිබඳව එම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වා සිටි එංගලන්ත කාන්තා කණ්ඩායම් නායිකා හෙදර් නයිට්, රටින් පිට තරග වැදීමට සිදු වුනා ද ලෝක කුසලාන සහභාගිත්වය වෙනුවෙන් තරගාවලිය ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට තම කණ්ඩායමට හොඳ අවස්ථාවක් හිමිව ඇති බව සඳහන් කර සිටියාය. කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකාව, තමන්ට එරෙහි සටනේ දී හොඳ තරගයක් දෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව පවසා සිටි නයිට්, ඒ සඳහා තමන් ඇතුළු කණ්ඩායම සූදානමින් පසුවන බව ද වැඩිදුරටත් සඳහන් කර සිටියාය.

Photos: Sri Lanka Women Emerging XI vs England Women | Practice Match

එංගලන්ත කාන්තා කණ්ඩායම – හෙදර් නයිට් (නායිකා) , ටැමී බියුමෝට්, කේට් ක්‍රොස්, කැතරීන්  බ්‍රන්ට්, ඇලෙක්ස් හාට්ලී ,ෆෙයා ඩේවිස්, සෝෆියා ඩන්ක්ලී, නැට් ස්කීව, ඒමී ජෝන්ස්, ලොරා මාෂ්, ලින්සේ ස්මිත්, ඇන්යා සෘස්සෝල්, ෆැන් විල්සන්, ලොරන් විනිෆීල්ඩ් හා ඩැනී වයට්.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – චමරී අතපත්තු (නායිකා), ප්‍රසාදනී වීරකොඩි, අනුෂ්කා සංජිවනී, හංසිමා කරුණාරත්න, හසනී පෙරේරා, සුගන්දීකා කුමාරී, හර්ෂිතා සමරවික්‍රම, ශෂිකලා සිරිවර්ධන, නිලක්ෂි ද සිල්වා, ඉනෝෂි ප්‍රනාන්දු, කවිෂා දිල්හාරී, අචිනි කුලසූරිය, උදේෂිකා ප්‍රභාදිනී, ඉනෝකා රණවීර හා ඕෂධී රණසිංහ.

සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන

ස්ථානය රට තරග ජය පරාජ විසඳුමින් තොර ප්‍රසාද ලකුණු
1 ඕස්ට්‍රේලියාව 12 11 1 22
2 ඉන්දියාව 15 8 7 16
3 නවසීලන්තය 15 7 8 14
4 දකුණු අප්‍රිකාව 12 6 5 1 13
5 එංගලන්තය 12 6 6 12
6 පාකිස්තානය 12 6 6 12
7 බ. ඉ. කොදෙව් 12 5 6 1 11
8 ශ්‍රී ලංකාව 12 1 11 2

තරග කාලසටහන

  • මාර්තු 16 – පළමු එක්දින තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • මාර්තු 18 – දෙවැනි එක්දින තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • මාර්තු 21 – තෙවැනි එක්දින තරගය කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රීඩාංගණය
  • මාර්තු 24 – පළමු විස්සයි විස්ස තරගය පී. සරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • මාර්තු 26 – දෙවැනි විස්සයි විස්ස තරගය පී. සරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • මාර්තු 28 – තෙවැනි විස්සයි විස්ස තරගය පී. සරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණය

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<